දේශගුණ විපර්යාසයට එරෙහි සටනේ දී Covid19 අපට උදව් විය හැකිය
Covid19 ගෝලීය වසංගතය මෙතෙක් කිසිදාක අප දැක නැති අන්දමින් ගෝලීය ප්‍රතිචාරයන් ඉස්මතු කරන්නට සමත් වී තිබේ. අර්බුදයට මුහුණ දෙනු වස් රාජ්‍ය සහ ව්‍යාපාර අංශ තමන් වෙත නව භූමිකාවන් පවරා ගැනීමේ සිට අප වැඩ කරන අන්දම, ගමන් බිමන් යන අන්දම සහ සමාජ සම්බන්ධතා පවත්වන අන්දම දක්වා පරිවර්තනාත්මක වෙනසක් අපි දැක්කෙමු. එවැන්නක් සිදුවෙතැයි මෙයට සති කිහිපයකට පෙර අපට සිතා ගැනීමටවත් නොහැකි තරම්ය. මේ මහා ගෝලිය වසංගතය වෙනුවෙන් මිනිස් ජීවිත වලින් ගෙවා දමන වන්දිය බිය උපදවන සුළු ය. එසේ වුව ද ඊට දක්වන ප්‍රතිචාරය සළකුණු වී ඇත්තේ සැලකිල්ල දැක්වීම, කුලුණු බව සහ සම්බන්ධයන් පවත්වා ගැනීම සහ මෙතෙක් නොඇසූ මට්ටමේ විපර්යාසයන් මගිනි.
ඉදිරි මාස වල සිදුවන දේවල් දෙමගකින්, එක මගක් ගත හැකිය.
දැනට පවතින අර්බුදය හීන වී යමින් එහි ආර්ථික ඵල විපාක වඩාත් පැහැදිලිව පෙනෙන්නට පටන් ගනිද්දි අප කෙටිකාලීන, පහසු පිළියම් හඹා යමින් දිගුකාලීන අපේක්ෂාවන් පසෙකලෑමට ක්‍රියා කිරීමේ අවදානමක් පවතී. මෙකී කෙටි කාලීන පිළියම් බොහොමයකින් පරිසරයට හානිකර පලවිපාක ගෙන ඒමට හැකිය. පරිසරාත්මක ප්‍රමිතීන් ආපස්සට හැරවීම, බහුලව පොසිල ඉන්ධන භාවිතයට ගන්නා කර්මාන්ත වෙනුවෙන් සහනාධාර සපයමින් ආර්ථිකය උත්තේජනයට ක්‍රියා කිරීම සහ යම් යම් දේවල් වඩාත් හොඳින් භාවිතයට ගන්නවා වෙනුවට තව තවත් අලුත් දේවල් තැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට මෙම කෙටි කාලීන පිළියම් අතර වේ.
එහෙත් සිදු විය හැකි තවත් දෙයක් ඇත. අප අවට සිදුවන දෙයින් මහත් කම්පාවට පත් ව සිටිමින් අප හමුවේ ඇති නව යථාර්ථය වටහා ගනිමින් සිටින අපට, අපේ සමාජය සහ ආර්ථිකය අපට ඕනෑ ආකාරයකට යළි ගොඩනගා ගැනීමට කදිම අවස්ථාවක් ලෙස මේ මොහොත ග්‍රහණය කරගත හැකිය. දේශගුණ විපර්යාසයන්ගේ වඩාත්ම අනිටු ඵලවිපාක මගහරවා ගැනීම සඳහා අපට තවත් ඇත්තේ වසර දහයක් පමණක් බවට විද්‍යාඥයන් අනතුරු හඟවා ඇති පසුබිමක තවත් කල් නොයවා දේශගුණ අර්බුදය විසඳා ගැනීමට අපට මේ අවස්ථාව යොදා ගත හැකිය.
Covid19 වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන වෙනස්කම් නැතිනම් පිරිමසාගැනීම් අපට අවශ්‍යව ඇති පරිවර්තනයේ පදනම් බවට හරවා ගත හැකිය. මේ සඳහා අප ගත යුතු ක්‍රියාමාර්ග පහක් මෙහි කෙටියෙන් විස්තර කෙරේ.
අවදානම ගැන නැවත සිතන්න
ගෝලීය වසංගතයක අවදානම ගැන අප දැන සිටියේ වසර ගණනාවක සිටම ය. 2015 ටෙඩ් කතාවකදී (Ted Talk) බිල් ගේට්ස් මෙලෙස අනතුරු දැක්වීය: “ඉදිරි දශක කිහිපය තුලදී යම් වෛරසයක් මිනිසුන් මිලියන දහයකට වැඩියෙන් මරණයට පත් කරයි නම් එය බෙහෙවින් බෝවන සුළු වයිරසයක් විය යුතුය….. ඒත් ඊට මුහුණදීම සඳහා අපට ප්‍රතිචාරාත්මක පද්ධතියක් ගොඩ නගා ගැනීමට හැකිය.” එහෙත් රජයන් ව්‍යාපාරික අංශයන්, සහ පුද්ගලයන්ට අවශ්‍ය පරිමාණයෙන් ක්‍රියාකාරී වීම සඳහා (තවමත්) දික්ගැස්සෙමින් පවතින වසංගතයක් එනතුරුම බලා සිටීමට සිදු විය.
මේ ආකාරයටම දේශගුණ විපර්යාසය ද මිනිස් ජීවිතවලට බලගතු තර්ජනයක් එල්ල කරයි. ඉතා ඉක්මනින් පරිපූර්ණ ප්‍රතිචාරයක් අවශ්‍ය වේ. Lancet වෛද්‍ය සඟරාවෙහි පළ කර ඇති අධ්‍යයනයක් මගින් පුරෝකථනය කරනු ලබන්නේ 2050 වනවිට වැඩිහිටි ජීවිත පන්ලක්ෂයක් විනාශ වනු ඇතැයි යනුවෙනි. මහා වසංගතවලට සහ දේශගුණ ආශ්‍රිත විපත්ති වලට අප කොතරම් නම් අවදානම්ග්‍රාහීද යන්න අවබෝධ කරගත යුතු බව වසංගතයෙන් අපට උගත හැකි නම් එවැනි විපත්වලට මුහුණ දීමට අප හොඳ සූදානමකින් සිටිනු ඇත.
ගෝලීය යථා දර්ශනය ගැන සැලකිලිමත් වන්න
Covid19 අර්බුදයේ සැබෑ ගෝලිය ස්වරූපය අපට බල කර සිටින්නේ අප සියලු දෙනාම මෙම අර්බුදයෙහි එකට එරී සිටින බව වටහා ගැනීමටයි. නිදසුනක් ලෙස චීනය ඉතාලියට ආධාර සැපයීම දක්වන්නේ හුදෙක් භූදේශපාලනයේ වෙනස්වීමක් පමණක් නොව “අනෙකා” පිළිබඳව සැලකිළිමත්වීමේ හැඟිමක් වර්ධනය වීමකි; එමෙන්ම ලෝකයේ එක් ප්‍රදේශයක සිදුවන දෙයකින් අනෙක් ප්‍රදේශවලට ද බලපෑම් එල්ල කළ හැකිය යන්න පිළිගැනීමකි.
ජාතික වශයෙන් හුදකලාවෙනවා ද නැතිනම් ගෝලිය සහයෝගය ගොඩ නංවාගන්නේද යන්න තෝරා ගැනිමට Covid19 ලෝකයා පොළඹවාවි ද යන්න තවම කිව නොහැකි නමුත් බෙහෙවින් විවිධවූ භූගෝලීය ප්‍රදේශ සහ විවිධ අවස්ථාවන්ට මුහුණ දී සිටින ප්‍රජාවන් නෛසර්ගිකව එකේනෙකා හා සම්බන්ධ යයි යන හැඟීම දේශගුණ විපර්යාසයන්ට එරෙහිව බලවත් ලෙස එකමුතුව නැගී සිටීමට උපකාරී වනු ඇත.
ජනතාවට ප්‍රමුඛත්වය දෙන්න
රෝගීන් මෙන්ම වෛද්‍යමය කාර්ය මණ්ඩල සහ අනෙකුත් අවදානම්ග්‍රාහී කණ්ඩායම් මුහුණ පා සිටින තත්ත්වය Covid19 කෙරෙහි දක්වන ප්‍රතිචාර මගින් පුද්ගලයන්ගේ, ව්‍යාපාරික ප්‍රජාවේ සහ රජයන්ගේ න්‍යාය පත්‍රයේ ඉස්මත්තටම වේගයෙන් ගෙනැවිත් ඇත. එලෙසම පුද්ගලයෝ බොහෝ දෙනෙක් සමාජ දුරස්ථවීමෙහි යෙදෙමින් සිය ජීවිත යළි සංවිධානය කර ගනිමින් සිටිති. අසල්වැසියන්ගේ කාර්යයන්ට තම සහාය ලබාදීමට ක්‍රියා කරති. සෞඛ්‍ය හා ආහාරපාන පහසුකම් සැපයීමේදී ස්වේච්ඡාවෙන් වැඩකරති. මේ සියල්ලෙන් දැක්වෙන්නේ යම් පොදු අරමුණක් වටා එක්රොක් වූ විට මුදාහැරෙන බලයයි. නිෂ්පාදකයෝ කරබාගෙන නොසිට තම නිෂ්පාදන වෙනත් මගකට යොමු කරමින් සිය සේවකයන් රැකබලාගැනීමට ක්‍රියාමාර්ග ගනිති. රජයන් යම් ආකාරයක තරගයක යෙදෙමින් මෙන් සිය වැසියන් සඳහා සැලකිය යුතු සහන සහ සහාය සලසයි. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ ගෝලීය අර්බුදයකට මහා පරිමාණයෙන් ප්‍රතිචාර දැක්විය හැකි බවයි. දේශගුණ බලපෑම් වලට වඩාත් නිරාවරණය වී ඇති පිරිස් ඇතුළුව සෑම සන්දර්භයක සිටින අවදානම්ග්‍රාහී පිරිස ආරක්ෂා කිරීම පිණිස මෙම කුලුණුභාවයේ සහ උද්යෝගයේ රැල්ල අප උපයෝගීකරගත යුතුයි.
විශේෂඥයන් කෙරෙහි විශ්වාසය තබන්න
මහා වසංගතයක බරපතලකම අප සිත් තුළ කා වැදෙන්නට පටන් ගනිද්දී දැනුවත්කම අගය එන්න එන්ටම වැඩියෙන් දැනෙන්නට තිබේ. වසංගත වේදීන්ගේ උපදෙස් මුළු සමාජය පුරා පැතිරී ඇත. (වක්‍රය පැතලි කිරීම(flatten the curve) ගැන දැන් නොදන්නා කෙනෙක් නැති තරම්ය) වෛද්‍යවරු වීරවරයන් ලෙස සැලකුම් ලබති. විශේෂඥයන්ගෙන් සමාජය බැහැරව යාමේ ප්‍රවණතාව ආපසු හරවන්නට මෙය ප්‍රයෝජනවත් වේවි. දේශගුණ විපර්යාසයට එරෙහි සටන ජයගැනීමට නම් අපට දේශගුණ විද්‍යාඥයන්ගේ සහ ප්‍රතිපත්ති උපදේශකයන්ගේ බහට සවන් දීම කල යුතුවේ. සෑම වර්ගයකම විශේෂඥයන් කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමෙන් හරි මග යාමට අපට හැකි වේ.
සංස්කෘතියෙහි වෙනස්වීමක් අවශ්‍යයයි
Covid19 අර්බුදය හමුවේ අප තුළ වෙනසක් ඇති කිරීම පිණිස දක්වන ප්‍රතිචාරයන් බොහොමයක් දේශගුණ විපර්යාසයන්ට එරෙහිව අපදැක්විය යුතු ප්‍රතිචාරයන්ට බොහෝ සේ සමාන වේ. නිදසුන් වශයෙන්, පොදු ප්‍රවාහන පහසුකම් භාවිතා කිරීමට වර්තමානයේ අකමැත්ත දක්වන ජනතාව අතර පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම පිණිස, එමෙන්ම ගෝලීය වසංගතය හමුවේ නිවෙසේ සිට වැඩ කිරීම පිණිස අවශ්‍ය වූයේ නව තාක්ෂණය නොව නව චින්තනයයි. එලෙසම දේශගුණ විපර්යාසයන්ට එරෙහිව ක්‍රියා කිරීමේ දී ජයග්‍රහණය කරා මෙහෙයවීමේ මෙවලම් ගණනාවක්ම අප සතුව ඇති බව පැහැදිලිය. අපට දැන් ඕනෑ වන්නේ ඒවා භාවිතා කිරීම සඳහා අවශ්‍ය දේශපාලන කැපවීමයි.
ගෝලීය වසංගතයෙන් පසුව ලෝකය කෙබඳු මුහුණුවරක් ගනී දැයි පැහැදිලි නැත. එහෙත් දැනට එය හමුවේ සමාජයේ සිදුවෙමින් පවතින වෙනස්කම් දේශගුණ ව්‍යසනයන් වළක්වා ගැනීම පිණිස අපට ලැබෙන අන්තිම අවස්ථාව සලසනවා විය හැකිය.
World Economic Forum හි පළ වී ඇති COVID-19_ how it can help the flight against climate change යන ලිපිය ඇසුරෙනි.