බැක්ටීරියා නසන්න ඖෂධ ඕනෑ තරම් තිබුණත් වෛරසවලට නැත්තේ ඇයි?
කතාව පටන් ගන්න කලින් අපි මදකට දෙවැනි ලෝක යුද්ධයේ අවසන් කාලයට යමු. යුද්ධය අවසන් වෙන්න ආසන්න වන විට එවකට වැඩිදියුණු කළ තත්ත්වයට පත්කර තිබූ නව පෙනිසිලින් ප්‍රතිජීවක(antibiotic) මහා පරිමාණයෙන් නිපදවන්නට පටන් අරන්. යුද බිමේ දී තුවාල ලත් සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමේදී මේ ප්‍රතිජීවකය සාර්ථකව යොදා ගැනීමට හැකි වීමෙන් දහස් ගණන් ජීවිත බේරා ගැනීමට හැකි වුණා. එතැන් පටන් පෙන්සිලින් වගේම පුළුල් පරාසයක තවත් බොහෝ ප්‍රතිජීවක බැක්ටීරියාවලට එරෙහි ආසාදනයට සාර්ථකව ප්‍රතිකාර කිරීමට සමත් වී තිබෙනවා.
කෙසේ වෙතත් ප්‍රතිජීවක, වෛරස වලට එරෙහිව යොදාගන්න බැහැ. ඒ සඳහා වුවමනා වන්නේ ප්‍රතිවයිරසයි(antivirals). කොරෝන මහා වසංගතය පැතිර යාමත් සමගම පර්යේෂකයන් මෙන්ම ඖෂධ සමාගම් ද Covid-19 හටගන්වන SARS-CoV-2 සඳහා ප්‍රතිවයිරස් සොයාගැනීම පිණිස දැඩි ප්‍රයත්නයක් දරමින් සිටිනවා. ඇත්තටම මෙතැනදී කෙනෙකුට හිතට නැගෙන ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රතිජීවක ඖෂධ මෙච්චර තියෙද්දී ඇයි ප්‍රතිවෛරස මේතරම් විරල?
මේකට උත්තරය සපයගන්න වෙන්නේ ජීව විද්‍යාවෙනුයි. විශේෂයෙන් ම අවධානය යොමු කළ යුතු කාරණය වන්නේ වෛරස ගුණනය වීම සඳහා මානව අපගේම සෛල යොදාගන්නවා කියන කාරණාවටයි. ඒ හන්දා, (වෛරසයන්ට එරෙහි) ක්‍රියාදාමයේදී අපේම සෛල මරන්නේ නැතුව වෛරස මරාදැමීම අසීරු කාරණාවක් වෙනවා. Covid-19 සදහා ප්‍රතිකාර පිණිස පර්යේෂකයන් සොයා බලමින් සිටින ප්‍රතිවෛරසයක් තමයි Remdesivir. එහෙත් සායන පරීක්ෂණවලදී ලැබී ඇත්තේ මිශ්‍ර ප්‍රතිඵලයි.
මානව සෛල සහ බැක්ටීරියා අතර වෙනස
බැක්ටීරියා සහ මානව සෛල අතර වෙනස තමයි ප්‍රතිජීවකවලට මග පාදන්නේ. බැක්ටීරියා යනු ධාරක ජීවියෙකු නොමැතිව ස්වාධීනව ජීවත් විය හැකි ස්වයංපූර්ණ ජීව විශේෂයි. ඒවා මනුශ්‍ය සෛලවලට සමාන වුවත්, මනුශ්යයන් සතුව නොමැති ගතිලක්ෂණ ගණනාවක්ම ඒවාට ඇත. නිදසුනක් දක්වතොත්, (බැක්ටීරියාවට එරෙහිව) පෙන්ශිලින් සාර්ථකවන්නේ එය බැක්ටීරියා සෛල බිත්ති ගොඩනැගීම නිරෝධනය (බාධා) කරන හෙයිනි. සෛල බිත්ති සැදී ඇත්තේ පෙප්ටිඩොග්ලයිකන් (peptidoglycan) නම් බහු අවයවයකින්(polymer). මනුෂ්‍යයන්ගේ සෛලවල, සෛල බිත්තියක් හෝ පෙප්ටිඩොග්ලයිකන් අඩංගු නැහැ. ඉතින්, බැක්ටීරියා මඟින් පෙප්ටිඩොග්ලයිකන් නිපදවීම වලක්වනු ලබන ප්‍රතිජීවක වලට ඒවා ඖෂධයක් ලෙස භාවිතා කරන මිනිසුන්ට හානියක් සිදු කරන්නේ නැතුව බැක්ටීරියා නිෂේධනය කළ හැකියි. මේ සිද්ධාන්තය හඳුන්වනු ලබන්නේ වර්ණීය ධූලකත්වය හෙවත් විෂබව(selective toxicity) යනුවෙනි.
ප්‍රතිවලිතවීම(replicate) සඳහා වෛරස භාවිත කරන්නේ අපගේම සෛලයි
බැක්ටීරියාවලට මෙන් නොව වෛරසවලට ධාරක සෛලයකින් පිටත ස්වාධීනව ප්‍රතිචලිත වීමට නොහැකිය. වෛරස යනු ඇත්තටම සජීවී ජීවින් ද යන්න ගැනත් මතභේද පවතී. ප්‍රතිවලිතවීම සඳහා වෛරස ධාරක සෛලයකට ඇතුළු වී එහි ක්‍රියාකාරී කොටස් ප්‍රාණ ඇපයට ගනී. (ධාරක සෛලය තුළට) ඇතුල්වීමෙන් පසු සමහරක් වෛරස අක්‍රීයව පවතින අතර සමහරක් සෙමින් ප්‍රතිවලිත වෙමින් දිග්ගැසුණු කාලසීමාවක් තිස්සේ සෛලවලින් කාන්දු වෙයි. අනෙක් ඒවා කොපමණ නම් අනුපිටපත් තනයි ද යත් (එම හේතුව නිසා) ධාරක සෛල පුපුරා මියැදෙයි. අලුතෙන් ප්‍රතිචලිත වූ වෛරස අංශු එවිට විසිරි ගොස් නව ධාරක සෛල ආසාදනය කරයි.
මෙම සිදුවීම් අතරවාරයේ දී වෛරස ‘ජීවන‘ චක්‍රය කෙරෙහි බලපාන හෙවත් මැදිගත් වන ප්‍රතිවෛරස ප්‍රතිකාරයක් සාර්ථක වීමට ඉඩ තිබේ. එහෙත් ප්‍රශ්නය වන්නේ, එය ධාරක සෛලයට ද වැදගත් වන ප්‍රතිචලිත ක්‍රියාදාමයක් ඉලක්ක කරන්නේ නම් එය මානව ධාරකයට ද විෂ සහිත වීමට ඉඩ තිබීමයි. වෛරස මරාදැමීම පහසුය. එසේ කිරීමේදී ධාරක සෛල පණපිටින් තබා ගැනීම තමයි අසීරු කාර්යය. සාර්ථක ප්‍රතිවෛරස, වෛරසයටම සුවිශේෂී වූ ක්‍රියාදාමයක් හෝ ව්‍යුහයක් ඉලක්ක කොට අවුල් කරයි. එමගින් වෛරස ප්‍රතිචලිතවීම වළක්වන වන අතරම ආතුරයාට ඇතිවන හානිය අවම කරයි.
වෛරසය ධාරක සෛල මත රදා පැවැත්ම වැඩිවෙත්ම ප්‍රති වෛරසයකින් එල්ල කර පහරදිය හැකි ඉලක්ක තවත් අඩුවෙයි. අවාසනාවකට මෙන් ඉලක්ක කළ හැකි සුවිශේෂී වෙනස්කම් ස්ථාන බොහෝ වෛරස මගින් දක්වනු ලබන්නේ ස්වල්පයකි.
තවත් සංකූලතාවක් වනුයේ විවිධ බැක්ටීරියා එකිනෙකින් වෙනස් වනවාට වඩා විවිධ වෛරස බොහෝ සේ එකිනෙකින් වෙනස් වීමයි. සෑම සියලු බැක්ටීරියාවකට ද්විදාම DNA ජෙනෝම ඇති අතර විශාලවෙමින් වර්ධනය වී ඉන් අනතුරුව දෙකට බෙදීමෙන් ප්‍රතිවලනය සිදුකරයි. හරියටම මිනිස් සෛල සිදු කරන ආකාරයටය.
එහෙත් විවිධ වෛරස් අතර අතිශය විවිධත්වයක් ඇත. සමහරකට DNA ජෙනෝම ඇති අතර අනෙක් ඒවාට ඇත්තේ RNA ජෙනෝමයය. තවද සමහරක් තනිදාම (single-stranded ) වන අතර අනෙක් ඒවා ද්විදාම(double-stranded) වේ. මේ හේතු නිසා විවිධ වෛරස අතර එකසේ (සාර්ථකව) යොදාගතහැකි පුළුල් ආවලියක ප්‍රතිවෛරසය ඖෂධයක් (broad spectrum antiviral drug ) නිර්මාණය කිරීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් තරමටම අසීරුය.
සාර්ථක ප්‍රති වෛරස ආගමනය
කෙසේවෙතත් මනුෂ්‍යයන් සහ වෛරස් අතර වෙනස්කම් සම්බන්ධයෙන් අදාල වන කාරණා පවතී. ඉතින් ඒවා උපයෝජනය, (ප්‍රතිවෛරසය ඖෂධයක් නිපදවීමෙ දී) යම් සාර්ථකත්වයකට මග පාදා තිබේ.
එක ඉන්ෆ්ලුවන්සා ස්වරූපයක් වන ඉන්ෆ්ලුවන්සා A එක් නිදසුනකි. එම වෛරස මනුෂ්‍ය සෛලයකට ඇතුළු වීම පිණිස ඒවා ප්‍රයෝගකාරීව හසුකර ගනී. අපගේ සෛලවලට ඇතුළු වූවාට පසුව වෛරසයට ‘නිර්වස්ත්‍ර වීමට’ හෙවත් සළුපිළි ගැලවීමට අවශ්‍ය වේ. ඒවා සිය RNA සෛලයට මුදා හැරීම පිණිස ඒවායේ පිටත කබාය(ආවරණය) ඉවත් කළ යුතුය. මේ ක්‍රියාදාමයේදී කේන්ද්‍රීය වන්නේ මට්‍රික්ස්-2(matrix-2) නම් වෛරස ප්‍රෝටීනයකි. වෛරස් අංශුවලින් වෛරස RNA මුදා හැරීමේ සිද්ධි පෙලකට එමඟින් පහසුව සැලසේ.
ධාරක සෛල ඇතුළත වෛරසRNA මුදා හැරීමෙන් පසුව වෛරස ප්‍රතිචලනය ආරම්භ කරනු වස් එය සෛල න්‍යෂ්ටිය වෙත ප්‍රවාහනය කෙරේ. එහෙත් ඖෂධයක් මඟින් matrix-2 ප්‍රෝටීනය අවහිර කරනු ලැබුවහොත් (ප්‍රතිවලනය සඳහා උවමනාවන) සෛල න්‍යෂ්ටිය වෙත යාම පිණිස වෛරස අංශුවෙන් පිටවීමට වෛරස RNAවලට නොහැකිය. . එවිට ආසාදනය ඇනහිටී.
Amantadine සහ rimantadine මුල් අවධියේ සාර්ථකවූ ප්‍රතිවෛරස දෙකකි. සාර්ථකත්වයක් හිමි කර ගත් තවත් නව ප්‍රතිතිවෛරස දෙකක් වන Zanamivir (Relenza) සහ oseltamivir (Tamiflu) ක්‍රියා කරන්නේ ප්‍රධාන වෛරස එන්සයිමයක් අවහිර කොට සෛලයෙන් වෛරස මුදා හැරීම වළක්වා ශරීරය තුළ ආසාදනය පැතිරීම මන්දගාමී කරමින් සහ ආසාදනයෙන් ඇති කරවන හානිය අවම කරවමිනි.
SARS-CoV-2 සුවිශේෂ වන්නේ මන්දැයි අප සොයා ගත යුතුය
Covid-19 සදහා වැක්සිනයක් නිර්මාණය කිරීම අපහසු කාර්යයක් විය හැකිය. එහෙයින් Covid-19 රෝගයට ප්‍රතිකාර කිරීම පිණිස ඵලදායීව යොදා ගත හැකි වැක්සිනයක් සොයාගැනීම පිණිස ප්‍රතිවෛරස ගැන පරීක්ෂණ පැවැත්වීම තවදුරටත් වැදගත් ඉලක්කයක් ලෙස පවතී. මෙහිදී වැඩිම බරක් පැටවෙන්නෙ SARS-CoV-2 පිළිබඳ දුර්වාබෝධ සහ මනුෂ්‍ය සෛල සමග එහි අන්තර් ක්‍රියාකාරීත්වයන් ගැන දැනකියා ගැනීම මතයි. SARS-CoV-2වෛරසය නොනැසී පැවතීම සහ එය ප්‍රතිවලනය වන අන්දම ගැන වූ සුවිශේෂී අංග හඳුනා ගැනීමට පර්යේෂකයන්ට හැකි වෙතොත් අපට මේ දුර්වලතා ප්‍රයෝජනයට ගනිමින් ඵලදායි ප්‍රතිවයිරස ප්‍රතිකාරයක් නිර්මානය කර ගැනීමට හැකිවනු ඇත..
The Conversation හී පලව ඇති Why are there so many drugs to kill bacteria, but so few to tackle viruses? යන ලිපිය ඇසුරෙනි