සැමට විදු නැන නුවණ – Science Literacy for All

දියවැඩියා රෝගීන්ගේ අස්ථි පහසුවෙන් බිඳෙන්නෙ ඇයි?

දියවැඩියා රෝගීන්ගේ අස්ථි පහසුවෙන් බිඳෙන්නෙ ඇයි?

2  වර්ගයේ දියවැඩියා(Type 2  diabetes) රෝගීන්ගේ අස්ථි බිඳීමට, දියවැඩියාව නොමැති අයට වඩා තුන් ගුණයක අවස්ථාවක් තිබෙන බව නව පර්යේෂණයකින් හෙළිවෙයි. දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින හෙයින් 2  වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් අතර සැකිලි භංගුර බව (අස්ථි පහසුවෙන් බිඳෙන සුළු බව) වර්ධනය වෙමින් පවතින්නාවු,  එහෙත් වැඩි දැනුමක් නැති මහජන සෞඛ්‍ය ගැටලුවකි. වහා බිඳෙනසුළු අස්ථිවලට සාමාන්‍යයෙන් වගකිව යුත්තේ දුර්වල අස්ථි ඝනත්වයයි(born density). එහෙත් 2  වර්ගයේ දියවැඩියා රෝගීන් සම්බන්ධයෙන් එය එසේ නොවේ. ඔවුන් අතර දැකිය හැකි ප්‍රවණතාව වන්නේ සාමාන්‍ය මට්ටමේ සිට ඊට ඉහල මට්ටමක අස්ථි ඝනත්වයකි. එහෙත් පුදුම එලවන සුළු අනුපාතයකින් ඔවුන් අතරේ බිඳුම් ඇති වේ. ඒ ඇයි දැයි කිසිවෙකුත් නොදනී.

අස්ථි සජීවියි

අස්ථි සජීවී අවයවයන්ය. සිරුරට  සංස්ථිතිය සහ ආරක්ෂාව සැපයෙන්නේ ඒවාගෙනි. රුධිර සෛල නිපදවෙන ඇටමිදුළු පැවතීම සඳහා අවකාශයකින් ඒවා සමන්විතවේ.  එමෙන්ම අස්ථි මගින් කැල්සියම් හා පොස්පරස් ඇතුළු ඛනිජ අඛණ්ඩව සැපයේ. අස්ථිවලට තුවාල හානියක් සිදුවුවහොත් ඒවාටම අළුත්වැඩියාව සිදු කර ගැනීමට හෝ වෛද්‍යමය මැදිහත් වීමක් තුලින් සිදුකරගත හකි බව කවදාහෝ අස්ථියක් බිඳුනු අයෙක් අත්දැකිමෙන් දනිති.

එහෙත් එතරම් නොදන්නා කාරණාවක් වන්නේ,  ප්‍රතිනිරූපකරණ(remodeling) ක්‍රියාදාමයක් තුලින් අස්ථි අඛණ්ඩව අලුත්වැඩියා වෙමින් පවතින බවයි. ශාරීරික ක්‍රියාකාරීත්වය හේතුවෙන් අස්ථි දෛනිකව වැහැරීමට හා ගෙවීයාමට ලක්වන්නේය. ඒ ක්ෂුද්‍ර භංග(micro-fractures ඉතා කුඩා බිඳුම්) වශයෙනි. සිරිතක් වශයෙන් ඒවා සිරුර මගින් නිත්‍ය පිළිවෙතකට අලුත්වැඩියා කරනු ලැබේ. ගෙවීගිය ස්ථානවල ඛණිජ සහ ප්‍රෝටීන් බිඳ දමමින් ඒවා සෞඛ්‍ය සම්පන්න ප්‍රෝටීනවලින් ප්‍රතිස්ථාපනය කිරීම සුවපත් වීමේ ක්‍රියාදාමයට ඇතුළත්වේ.

ප්‍රෝටීන හරස් සම්බන්ධනය(Protein crosslinks)

මෙකී නැවුම් ප්‍රෝටීන සෑදී ඇත්තේ ඇමයිනෝ අම්ල වලිනි. ඒවා සිරුරේ සීනි සමග ස්වභාවිකව ප්‍රතිචාර දක්වයි. පෙති කපපු ඇපල් ගෙඩියක් වාතයට නිරාවරණය වූ විට දුඹුරු පැහැ ගැන්වෙන බව ඔබත් දැක ඇති. ඇමයිනෝ අම්ල සහ සිරුරේ සීනි අතර රසායනික ප්‍රතිචාරයද ඒ ආකාරයයි.

එන්සයිමීයනොවන ග්ලයිකොසිලිකරණය(non-enzymatic glycation = සීනි, ප්‍රෝටිනයකට හො ලිපිඩයකට සහසංයුජව බන්ධනයවීම) කියන මේ ක්‍රියාදාමය අස්ථි ඇතුළු ශරීරය පුරා පටකවල සිද්ධ වන්නකි. අර කැපූ ඇපල් දුඹුරු පැහැ ගැන්වන ආකාරයට මේ ක්‍රියාදාමය තුළින් අස්ථි ද දුඹුරු පැහැ ගැන්වේ. ඇපල් දුඹුරු පැහැ ගැන්වන ලෙසම, එන්සයිමීයනොවන ග්ලයිකොසිලිකරණය  ‍ක්‍රියාදාමය ප්‍රෝටීන් මත ද දුඹුරු පැහැගැන්වීමේ බලපෑමක් ඇති කරන්නේ, හරස් බන්ධන(crosslinks) කියන කුඩා රසායනික ඒදඬු නිර්මාණය කරමිනි. අප සෑම දෙනාම තුළ හරස් බන්ධන වර්ධනය වන්නේ අප සෑම දෙනාගේම ශරීරය තුළ යම් සීනි ප්‍රමාණයක් ඇති නිසාවෙනි. එන්සයිමීය නොවන හරස් බන්ධන ස්වභාවිකව සෑදෙන්නක් වුව ද ඒවා ඔබේ සිරුරට හොඳ නැත; හානිකරය. එසේ හානිකර වන්නේ, දිනපතා සිදුකරන ඇවිදීම වගේ සරල ක්‍රියාවකදී වුවත් ප්‍රෝටීන ප්‍රනම්‍ය කිරීමෙන් වළක්වමින් ඒවාට යාවී තිබෙන  ප්‍රෝටීන තැදයුම් කිරීමට හෙවත් තද බවට පත්කිරීමට  හේතු වන නිසයි. මේ අනම්‍ය  බව හොඳ දෙයක් ලෙස හැඟී ගියත් ක්ෂුද්‍ර භංග ((micro-fractures) සෑදීම වැළැක්වීමට නම් අස්ථිවලට මද නම්‍ය ගතියක් අවශ්‍ය වේ. එන්සයිමීය නොවන හරස් බන්ධන ඇත්තටම, (අස්ථි බිඳෙනසුලු බවට පත්කිරීමෙන්)  අස්ථි දුර්වල කරයි.

Protein Cross-linking

ඒවා සාමාන්‍යයෙන් ශරීරය හරස් බන්ධන පහසුවෙන් කළමනාකරණය කරගනු ලබන්නේ ඒවා බිඳ දමමින් ඉවත් කර දැමීමෙනි. එහෙත් 2  වර්ගයේ දියවැඩියාව සහිත පුද්ගලයන්ගේ සම්බන්ධයෙන් සිදුවන්නේ වෙනත් දෙයකි.  ගැහැටකාරී සාධක දෙකක් පර්යේෂණවලින් හෙළිවෙනු ලැබේ.

ඉන් පළමුවැන්න තමයි 2  වර්ගයේ දියවැඩියාව සහිත පුද්ගලයන්ගේ ශරීරවල සීනි ඉහළ මට්ටමක පැවතීම. හරස් බන්ධන ඇතිකරවන  රසායනික ප්‍රතිචාර සඳහා ඉන්ධනය වන්නේ සීනි වන හෙයින්  සාමාන්‍ය සෞඛ්‍යසම්පන්න අස්ථි හා සංසන්දනයේදී  දියවැඩියාව සහිත පුද්ගලයකුගේ අස්ථි තුළ වැඩියෙන් බන්ධන ඇතැයි පර්යේෂකයෝ අදහස් කරති. මෙකී හරස් බන්ධන  ඒකරාශීවීම දියවැඩියා රෝගීන්ට බිඳෙනසුලු අස්ථි වැඩියෙන් තිබීමට හේතු වෙතැයි ඔවුහු අනුමාන කරති.

2  වර්ගයේ දියවැඩියාව සහිත පුද්ගලයන් සතුව පහළ මට්ටමක අස්ථි ප්‍රතිනිරූපකරණයක් ඇත යන්න දෙවැනි සාධකයයි. එයින් ගම්‍යවෙන්නේ හරස් බන්ධනය (ශරීරයෙන්) ඉවත්කර දැමීමට ඔවුන්ට ඇති හැකියාව අඩුවන බවයි. දියවැඩියාව රෝගීන් ගේ අස්ථි වල සාමාන්‍යයෙන් ද පවතින ඉහළ හරස් බන්ධන සංඛ්‍යාවට මෙමගින් තවත් එකතු වන බවද පර්යේෂකයන්ගේ අදහසයි.

අස්ථිවල හරස් බන්ධන ගැන අධ්‍යයනය, පොදුවේ ගත් කල සාපේක්ෂව නව ක්ෂේත්‍රයකි — දියවැඩියා අයගේ අස්ථි සළකතොත් තවත් අලුත් ය. රෝගීන් අතර ක්ෂුද්‍ර-අස්ථි භංගය සිදු වන්නේ කෙලෙසදැයි පුරෝකථනය කිරීමට එවැනි අධ්‍යනයන් මගින් හැකිවෙතැයි පර්යේෂකයන් අපේක්ෂා කරන අතර හරස් බන්ධන බිඳ දමනු ලබන හෝ ඒවා සෑදීම වළක්වනු ලබන්නට හැකි වෙතැයි සැළකෙන සංයෝග පරික්ෂා කිරීමට ද පර්යේෂකයෝ අදහස් කරති.

 

The Conversation(11th May)  හී පළවන  Diabetics break bones easily – new research is figuring out why their bones are so fragile යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: