මහා වසංගතය නිසා ආහාර අර්බුදයකට සහ ජීවනෝපාය අහිමිවීමේ වැඩිම අවදානමකට මුහුණ පා සිටින්නේ කවුරුන් ද?
මේ අවස්ථාව වන විට ලොව පුරා මිලියන 820කට ආසන්න පිරිසක් අධික කුසගින්නකට මුහුණ පා සිටිනවා — මේ හන්දා ඔවුන්ට සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය කැලරි ප්‍රමාණයවත් ආහාර හරහා ලබාගැනීම අසීරුයි. කුසගින්න(ක්ෂුධාව) හෙවත් කල්පවතින ඌනපෝෂණය සෑම අයෙකුම කෙරෙහි සෘණාත්මකව බලපාන නමුත් වඩාත් හානිකර වෙන්නේ ළමුන්ගේ හැදී වැඩීම කෙරෙහියි. කල්පවතින ඌනපෝෂණයෙහි ප්‍රතිඵල ආපසු හැරවිය නොහැකි අතර අපගේ අනාගතය සහ ධරණීය සංවර්ධනය කෙරෙහි දිගුකාලීන බලපෑම් අතිකරයි.
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය (FAO), අප්‍රියෙල් අග කළ විශ්ලේෂණයකට අනුව, කාලානුරූප සහ ඵලදායී ප්‍රතිපත්ති සම්පාදනයක් නොමැති තත්ත්වය හමුවේ Covid -19 අර්බුදයෙන් බල ගැන්වී තවත් මිලියන ගණන් ජනතාව කුසගින්නෙන් (දැනටමත්) පීඩාවට පත් ජනතාව අතරට එක්විය හැකියි. මෙය සිදු වුවහොත්, ගෝලිය වශයෙන් ක්ෂුධාව දුරු කිරීමේ ප්‍රයත්නයන්ට අත්වන්නේ දිගුකාලීන බල පෑමකි. අපට මුහුනපාන්නට සිදුවන්නේ මාස කිහිපයක් පවතින ආහාර හිඟයකට නොව දිගු කාලයේ දී අනර්ථකාරී ප්‍රතිපල ගෙන එන මහා ආහාර අර්බුදයකටය.
කලින් ද දක්වූ අන්දමට දැනටමත් මිලියන ගණන් පිරිසක් උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ පා සිටින පසුබිමක ඔවුන්ගේ ජීවනෝපාය වගේම ජීවිත පවා අවදානමේ හෙළන මට්ටමේ හාමත් වීමකට ලක් වෙලා පැවැත්ම සඳහා බාහිර ආධාර මත යැපෙන තැනට පත්වී සිටිනවා. මේ අයට COVID 19 වසංගත තත්වය නිසා ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයකට හෝ ජීවනෝපාය අඩාල වීමකට මුහුණ දෙන්න තරම් සවියක් නැහැ.
දැනටමත් ලොව පුරා ව්‍යාප්ත වී තිබෙන COVID 19 වසංගත තත්වය, ආහාර සපයාගැනීම සඳහා දැනටත් බාහිර ආධාර මත යැපෙන රටවල් 44 දක්වාත්, උග්‍ර ආහාර අර්බුදයට මුහුණ පා සිටින මිලියන 113ක පිරිස වාසය කරන රටවල් දක්වා ව්‍යාප්ත වුණොත්, ඒ රටවල් අතරින් බහුතරයක මහජන සෞඛ්‍ය සේවාවන් සහ සමාජ සේවා යාන්ත්‍රණවල ධාරිතාව සීමිත නිසා, එහි ප්‍රතිඵල අතිශයින්ම බිහිසුණු විය හැකියි.
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය වසංගතයේ බලපෑමට නතු වීමට පෙර සිටම (නැගෙනහිර අප්‍රිකාවේ Horn of Africa ප්‍රදේශය (ජිබුටි , එරිත්‍රියාව , ඉතියෝපියාව සහ සෝමාලියාව යන රටවල් අයත් කලාපය) මුහුණ දුන් පළඟැටි උවදුර, යේමනය හෝ සහෙල් දේශය මුහුණ පා සිටින ආහාර අර්බුදය වැනි) සාගතයන්ට හෝ වෙනත් අර්බුදවලට මැදි වුණු ප්‍රජාවන්ට සහ ආනයනික ආහාර මත යැපෙන, දියුණු වෙමින් පවතින කුඩා කොදෙව් රාජ්‍යයන් සහ බොර තෙල් වැනි ද්‍රව්‍ය අපනයනය ප්‍රධාන ආදායම් මාර්ග වන රටවල්වලට මෙම වසංගත තත්ත්වය නිසා ඇතිවිය හැකි බලපෑම් ගැන විශේෂ අවධානයකින් පසුවනවා.
සුළු පරිමාණ ගොවියන්, කිරි පට්ටි කර්මාන්තයේ නිරතවන්නන් සහ ධීවරයන්ට ගොවිතැන, සත්ව පාලනය සහ ධීවර කර්මාන්තය වැනි කටයුතුවල නිරත වීමට ඇති ඉඩ ප්‍රස්තාව ඇහිරී ඇති නිසා ඔවුන් ද වැඩි අවදානමකට මුහුණ පා සිටින පිරිස් ලෙස සැලකෙනවා. ඔවුන්ට, ඔවුන්ගේ නිශ්පාදන අලෙවි කිරීමටත්, කර්මාන්තයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය (පොහොර ආදිය) මිලදී ගැනීමටත් වෙළඳ පොළට යාමට ඇති ඉඩකඩ ඇහිරීම නිසාත්, ආහාර මිල ඉහළ යාමත්, භාණ්ඩ මිලදී ගැනීමට ඇති අවස්ථා සීමා වීමත් නිසා ඔවුන්ටත් අභියෝග රැසකට මුහුණ පෑමට සිදුවී තිබෙනවා. අස්වනු නෙලීමේ සහ භෝග සකස් කිරීමේ ක්‍රියාවලියට දායක වුණු කුලී ශ්‍රමිකයන්ටත් රැකියා අහිමි වීම සහ ආදායම් මාර්ග අහිමි වීම බරපතල අභියෝගයක් වනු ඇති.
මිලියන ගණනක පාසල් දරුවන්ට මෙතෙක් කල් ඔවුන්ගේ කුසගිනි නිවූ, පාසලෙන් ලැබුණු ආහාර වේල් දැනටමත් අහිමි වී තිබෙනවා. ඔවුන් අතරින් වැඩි පිරිසකට සෞඛ්‍ය රක්ෂණ ඇතුළු විධිමත් සමාජ සේවා යාන්ත්‍රණවලින් රැකවරණයක් හිමි වෙන්නෙත් නැහැ.
උදාහරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානයේ ආධාරයෙන් ලතින් ඇමරිකාවේ සහ කැරිබියානු කලාපයේ ක්‍රියාත්මක වන, පාසලේදී ආහාර සැපයීමේ වැඩ පිළිවෙල නිසා පාසල් යන දරුවන් මිලියන 85ස් දෙනෙකුට ප්‍රතිලාභ හිමි වුණා. ඒ දරුවන් අතරින් මිලියන 10ක පිරිසකට ඔවුන්ගේ දෛනික ආහාර අවශ්යතාව සපුරාගැනීමට ඇති විශ්වාසනීයම මාර්ගය පාසලෙන් දෙන ආහාර වේලයි. පාසලෙන් ආහාර සැපයීමේ වැඩපිළිවෙල වසංගතය හේතුවෙන් අත්හිටුවීම වැඩි අවදානම් කාණ්ඩයේ දරුවන්ගේ ආහාර සුරක්ෂිතතාවත්, පෝෂණයත් අවදානමේ හෙළන අතරම(ඔවුනට) රෝගයට ඔරොත්තු දීමේ හැකියාවත් දුර්වල කරනවා.
කෘෂිකර්මාන්තයට අමතරව එක් එක් කර්මාන්ත ක්ෂේත්‍රයන්ට විශේෂයෙන් එල්ලවිය හැකි අහිතකර බලපෑම් කිහිපයක් අපේක්ෂා කළ හැකියි. බිලියන තුනක ජනතාවකගේ ඒක පුද්ගල සත්ව ප්‍රෝටීන භාවිතයෙන් සියයට 20ක් සැපයෙන්නේ මත්ස්‍ය ආහාර අනුභවයෙන්. ඇතැම් ඌන සංවර්ධිත රටවල එය සියයට 50 දක්වා ඉහළ අගයක් ගන්නවා. ලෝක මට්ටමින් වැඩියෙන්ම අලෙවි වන ආහාර ද්‍රව්‍ය අතරින් මත්ස්‍ය ආහාර ඉදිරියෙන්ම සිටිනවා. එම නිසා, විශේෂයෙන්ම ධීවර කර්මාන්තය මත විශාල වශයෙන් යැපෙන රටවල් සැලකිල්ලට ගැනීමේදී, ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට, ආහාර සුරක්ෂිතතාවට,පෝෂණයට සහ වෙළඳපොළ ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම දරුණුයි.
මීට පෙර ඇතිවුණු සෞඛ්‍ය අර්බුදවල අත්දැකීමත් සැලකිල්ලට ගැනීමේදී ඒවායේ අතුරුඵලයක් ලෙස ආහාර සුරක්ෂිතතාවට දැවැන්ත පහරක් එල්ල විය හැකි බව නිගමනය කරන්න පුළුවන්- පීඩාවට පත් ඇතැම් ප්‍රජාවන්ට මෙයින් වැඩි බලපෑමක් එල්ල වෙන්න පුළුවන්.
2014 සිට 2016 දක්වා කාල සීමාවෙදී සියෙරා ලියොන්හි ඉබෝලා වෛරසය පැතිර ගිය වකවානුවේදී නිරෝධායනය සහ ඇතිවුණු සමාජ භීතිකාවේ ප්‍රතිඵලයක් ලෙස කුසගින්න සහ මන්ද පෝෂණය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ගමනාගමනයට සීමා පැනවීම නිසා අස්වනු නෙලන සමයේදී ඒ කටයුතු සඳහා ප්‍රමාණවත් ශ්‍රම දායකත්වයක් ලබාගැනීම නොහැකි වූ අහර, ගොවියන්ට ඔවුන්ගේ කෘෂි නිශ්පාදන වෙළඳපොළ වෙත සැපයීමට ද නොහැකි තත්ත්වයන් උද්ගතවුණා. මෙහි සමස්ත ප්‍රතිඵලය භූමි කම්පාවක බලපෑමට සම කළ හැකියි. මෙයින් අවධාරනය කෙරෙන්නේ ආපදා නිසි පරිදි කළමණාකරණය කරගැනීමේ දී වලක්වාගැනීමේ සහ අවදානම් අඩුකරගැනීමේ ක්‍රමෝපායන් කාලීන වශයෙන් කොතරම් වැදගත්ද යන්නයි.
FAO වෙබ් අඩවියේ Q&A: COVID-19 pandemic – impact on food and agriculture යටතේ 2 ප්‍රශ්නය වන Whose food security and livelihoods are most at risk due to the pandemic? ආශ්‍රයෙන්
පරිවර්තනය කර සකස්කළේ අරුන්දි ජයසේකර (thathu Creators)