දහඩිය දමන විට, ශරීරයේ සිදුවන්නේ කුමක්ද?

Posted by

අපේ ශරීරය උණුසුම් වූ විට ශරීරයේ සංවේදක(sensors), මොළයට ඒ බව දැනුම්දෙයි. එවිට මොළය මගින් ක්‍රියාත්මක වන්නැයි ග්‍රන්ථි වලට දැනුම් දෙනු ලැබූ කල අපට දහඩිය ඇතිවේ.

අපට දහඩිය දැමූ විට ඇත්තෙන්ම ශරීරයේ සිදුවන්නේ කුමක්ද?

දහඩිය පැමිණෙන්නේ අපගේ සමේ ඇති ග්‍රන්ථි නම් විශේෂ කොටස් වලිනි. ඔබ සතුව ඉතාමත් ප්‍රබල විශාලක කාචයක් තිබේ නම් ඔබට ඒවා දැක ගත හැකිය. ඔබේ සමේ ඇති රේඛා සොයා ගැනීමට උත්සාහ කරන්න, එම රේඛා හමුවන්නේ කොතැනදැයි බලන්න. එහිදී ඔබට ස්වේද ග්‍රන්ථිය හමුවේ. අප උපත ලබන්නේ  එවායින් මිලියන 2 ක් පමණ හිමිකර ගෙනමය.

අපට උණුසුම දැනුණු විට , ශරීරයේ සංවේදක මොළයට එය පවසයි. එවිට, ක්‍රියාකාරීවන්නයි මොළය ස්වේද ග්‍රන්ථි වලට දන්වූ විට,  අපට දහඩිය දැමීම සිදුවෙයි. අපගේ ශරීරයේ ඇති ලුණු හෙවත් ලවණ සහිත තරලයෙන් දහඩිය නිපදවන බැවින් දහඩිය ද ලවණ සහිත වේ. අපගේ ශරීරයේ 60-80% පමණ ජලය අඩංගු වේ.  දහඩිය වාෂ්ප විය හැකි නම්, අපගේ ශරීරය සිසිල් වේ. මිනිසුන්ට දහඩිය දැමීම සිදුවන්නේ මේ නිසා ය.

බල්ලන්ට හා බළලුන්ට මිනිසුන් මෙන් දහඩිය දැමීමක් සිදුනොවන හෙයින්, හති ලෑම සහ ලොම් ලෙවකෑම ඔවුනට සිය ශරීර සිසිල්ව පවත්වාගැනීමට  උපකාරී වේ.

ඔබට සුනඛයෙක් ඉන්නවා ද? එසේ නම් සුනඛයන්ට උණුසුම දැනුණු විට ඔවුන් සිදු කරන්නේ කුමක්දැයි ඔබ දන්නා බව සිතිය හැකියි; ඔවුහූ හති ලෑම සිදුකරති.  කෙටි හුස්මගැනිම් කරන අතර ඔවුන්ගේ දිව පිටතට දමා හතිලන ආකාරයක් පෙන්නුම් කරති. දකින්නට ප්‍රියජනක දෙයක් නම් නොවෙයි තමයි! ඔවුන් හතිලන විට ජල බිංදු ඔවුන්ගේ ලොම් මතට වැටේ. එම බිංදු වාෂ්ප වූ විට , ඔවුනට සිසිල දැනෙයි. බළලුන් ඔවුන්ගේ ලොම් ලෙවකමින් සිටින අයුරු අපි බොහෝ විට  දැක් ඇත්තෙමු. බල්ලන් හා බළලුන් මිනිසුන් මෙන් දහඩිය නොදමන හෙයින්, හති ලෑම සහ ලොම් ලෙවකෑම ඔවුනට ශරීරය සිසිල්ව පවත්වාගැනීමට උපකාරී වේ. බළලුන් නිතරම සිතන්නේ ඒගොල්ලෝ බුහුටියි(smart, cool)කියලානේ!.

අදාළ රූපය

සෞඛ්‍ය සම්පන්න මනුෂ්‍යයන් සියලුදෙනාම  දහඩිය දැමීම සිදුකරනවා.. අප මෙය කරන්නේ හේතු දෙකක් නිසාවෙන්: අපගේ ශරීර උණුසුම්ව ඇතිවිට සිසිල් වීමට අවශ්‍යයි. ඒ එක හේතුවක්. එහෙම නැතිනම් අප ආතතියට පත්ව සිටින විටත් මෙය සිදුවෙනවා.

දහඩිය මගින්  අපව සිසිල් කරනු ලබන්නේ කෙසේද?

ජලය, අයිස් සහ වාෂ්ප ගැන සිතන්න. ඔබ දැන සිටියාද ඒවා හුදෙක් ජලය බව? ජලයේ විවිධ ස්වරූප බව?

ජලයේ උෂ්ණත්වය අනුව එය වෙනස් ස්වරූප ලෙස පෙනීම සිදුවෙනවා. අයිස්, මිදුණු හෝ ඝන ජලයයි. ජල වාෂ්ප ලෙස ද  හදුන්වන, හුමාලය කියලා අප කියන්නේ  රත් වූ ජලය වායුවක් බවට පත්වූ අවස්ථාවයි.

මෙය අපට  අත්හදා බැලීමෙනුත් දැන ගත හැකියි: ඔබේ අතේ පිටුපසට වන්නට හෙවත් පිටිඅත්ල ලෙවකා පසුව ඔබේ  සම තෙත්වූ ස්ථානය මතුපිටින් මෘදුව සුළං පිඹින්න. ඔබට නිරික්ෂණය වුයේ කුමක්ද? සිසිලසක් දැණුනා. එහෙම නේද? අපි කල්පනාකරලා බලමු සිද්ධවුණේ මොකක් ද කියලා. ඔබේ සම මත ලෙව කෑමෙන් තෙත් වූ තැන මුව ළංකර පිඹිනවිට(එහි රස්නය නිසාවෙන්) ජලය(කෙළ),  ජල වාෂ්ප බවට පත්වුණා. මෙය සිදුවීමට අප භාවිතා කරන යෙදුම  “වාෂ්පීකරණය” (evaporation). වාෂ්පීකරණය,  තාපය ඉවත් කිරීමට උපකාරී වේ.

අපට දහඩිය දැමීමට වෙනත් හේතු කවරේ ද?

හේතු දෙකක් නිසාවෙන් දහඩිය දැමීම සිදුවෙන බව ඉහත දැක්වුණා. එක් ක්‍රමයක් ඉහත විස්තර කෙරුණා. අනෙක් ආකාරයේ දහඩිය පිටවීමේ ක්‍රමය කුමක්ද?  හාපුරා කියා ඔබේ පාසලේ පන්තිය ඉදිරිපිට යමක් ගැන කතා කිරීමට ඔබට අහම්බෙන් සිද්ධ්වුණා කියලා හිතමුකෝ. ඒ වගේ වෙලාවට හිතට චකිතයක්, බයාදු ගතියක් දැනෙනවා නේද? මෙය පාසල්වියේ දරුවන්ට පමණක් නොවෙයි ලොකු මහත්වෙලා විද්‍යාඥයන් බවට පත්වෙච්ච අයටත් ඇතිවෙන දෙයක්.  ඒ අයට රැස්වීම්වල දී(මෙ රැස්වීම්වලට කියන්නේ විද්‍යා සම්මන්ත්‍රණ කියලයි) වෙනත් විද්‍යාඥයන් අමතා කතා කරන්න වෙනවා. බැරෑරුම් වැඩක්!  එවිට ඒ අයත් කලබල වෙනවා. සමහර විට,  දහඩිය දමන තරමට ම නොසන්සුන් වෙනවා.

සමහර අයට අත්වල දහඩිය දැමීම ද,  සමහරුන්ගේ දෑත් යට දහඩිය දැමීම සහ ඇතැමුන්ගේ නම් ශරීරය පුරාම දහදිය දැමීම සිදුවේ.  මෙය ” හීන් දහඩිය දැමීම” (nervous sweating) ලෙස හඳුන්වනු ලබනවා. විභාගයකදී හෝ අප දැඩි ලෙස සලකන වැදගත් යමක් වෙත අවධානය යොමු කරන විට ද දහඩිය දැමීම සිදුවිය හැකිය. ඔව් සමහර විට දහඩිය දමන තරමටම නොසන්සුන් වෙනවා. මෙම වර්ගයේ දහඩිය දැමීම ගැන අප වැඩි යමක් නොදන්නා නමුත් එය එකම ස්වේද ග්‍රන්ථි වලින් පැමිණෙන බව නම් අප දන්නවා. දැන් ඔන්න මේවා ගැන කතා කරන කොටත් ඔබට දාඩිය දාගෙන එනවා නම් කලබල විය යුතු නැහැ. මොකද කලබල වුණහමත් දාඩිය දානවාලුනේ, නේද?

 

Curious Kids(The conversation) හී What happens in the body when we sweat? යන කොටස ඇසුරෙන් පරිවර්තන කර  සකස් කළේ: අරුණි වන්නිආරච්චි (Thathu Creators)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.