සැමට විදු නැන නුවණ – Science Literacy for All

තාරකා විද්‍යාඥයෝ අලුතෙන් සුළු ග්‍රහලෝක 139ක් සොයාගනිති

තාරකා විද්‍යාඥයෝ අලුතෙන් සුළු ග්‍රහලෝක 139ක් සොයාගනිති

අඥාත ශක්ති සමීක්ෂ්ණයේ( Dark Energy Survey or DES) දත්ත යොදාගනිමින් අභ්‍යවකාශ පර්යේෂණයේ යෙදෙන පර්යේෂක කණ්ඩායමක් අපේ සූර්යා වටා කක්ෂගතව ඇති  නව කුඩා ග්‍රහලෝක 139 සොයා ගෙන ඇත.  මේ සුළු ග්‍රහලෝක හඳුන්වනු ලබන්නේ නෙප්චූන් ඔබ්බෙහි වස්තූන්( trans-Neptunian  objects  හෙවත් TNOs) යනුවෙනුයි. අපේ සෞර ග්‍රහමණ්ඩලයේ අටවැනි ග්‍රහයා වන නෙප්චූන් පිහිටියේ සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක(astronomical units -AU) 30ක් පමණ  ඈතිනි. එනම් හිරුගේ සිට කිලෝ මිටර 4497000000 ක් දුරින්ය.

මෙය හුදු ආරම්භයක් පමණකැයි පර්යේෂකයෝ කියා සිටිති. එපමණ සංඛ්‍යාවක් කුඩා ලෝක සොයා ගැනීමට ඉඩකඩ සැපයුණු DES ක්‍රමය භාවිත කරමින් ඉදිරි වසර වලදී දුර ඈත වස්තූන්  දහස් ගණන් සොයා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.  වර්තමානයේ  නෙප්චූන් ඔබ්බෙහි වස්තූන් හෙවත් TNO,  3,000කට ආසන්න සංඛ්‍යාවක් ගැන අපි දන්නෙමු.  එහෙත්, එවැනි වස්තූන් මුළු වශයෙන් 100,000කට ආසන්න සංඛ්‍යාවක් ඇතයි ගණන් බලා තිබේ.  දැන් අළුතෙන් සොයාගත් 139 සහ අනාගතයේ සොය ගැනීමට හැකි වෙතැයි අපේක්ෂිත සංඛ්‍යාව එකට ගත් විට එමගින්, නූතන තාරකා විද්‍යාවේ වඩාත්ම සිත් අළවන ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමට හැකිවෙතැයි සිතිය හැකිය: අපගේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඈතම කෙළවරට වෙන්නට නව වැනි ග්‍රහයානමින් විරුදාවලී ලත් දැවැන්ත එමෙන්ම අභිරහස් ග්‍රහ ලෝකයක් අපෙන් වසන්ව පවතීද?

අදාළ රූපය

අඥාත ශක්ති සමීක්ෂ්ණය හෙවත් DES වල කොටසක් හැටියට චිලියේ පිහිටි බ්ලැන්කෝ මීටර්-4 දුරේක්ෂය මගින් ලබාගැනුණු දත්ත තුලින්  පර්යේෂකයන්ට නව TNO  සොයා ගත හැකිවූයේය. DES ක්‍රමය කලින් සැලසුම් කරන ලද්දේ සුළු ග්‍රහලෝක සෙවිමට නොවේය. එහෙත්, අධ්‍යයනයේ කතුවර, පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ගැරී කූපර් කියා සිටින්නේ තමන්  TNO  හෙවත් නෙප්චූන් ඔබ්බෙහි වස්තූන්  ගැන වසඟයට පත්වූයේ නවවැනි ග්‍රහලෝකය ගැන කතා බහ කරළියට එන්නටත් කලින් සිට බවයි.

මේ උනන්දුව සෞර ග්‍රහ මණ්ඩලයේ දුර  ඈත ග්‍රහ ලෝක හඳුනා ගැනීම පිණිස නවමු ඇල්ගොරිතමයක් සැලසුම් කිරීමට කණ්ඩායම පෙළඹවීය. ඒ රාත්‍රියෙන් රාත්‍රියට තාරකා  පසුබිම් කොට යොමුවන DES  අනුරූප තුළ අභ්‍යවකාශ වස්තු සෙවීමෙනි.  මොවුන් ලබා ගත් අවසන් ප්‍රථිඵල මාර්තු 10 දා The Astrophysical Journal Supplement Series සඟරාවෙහි පළවිය.

අදාළ රූපය

මේ තාක් පර්යේෂක කණ්ඩායම විශ්ලේෂණය කර ඇත්තේ DES දත්ත උප කුලකයක් පමණකි. දත්ත පූර්ණ කුලකය විශ්ලේෂණයෙන් අවසානයේ දී TNO  500ක් හෝ ඊට වැඩි ගණනක් සොයා ගැනීමට සිය ඇල්ගොරිතමයට හැකිවෙතැයි ඔවුහු අපේක්ෂාකරති.  ඒ වගේම, යෝජිත Vera C.Rubin පර්යේෂණාගාරය මගින් සැලසුම් කරණු ලැබ ඇති ආකාරයේ (ඉදිරි කාලයේ සිදුකිරීමට නියමිත)  වඩාත් සංවේදී සමීක්ෂණවලටත් මේ ක්‍රමයම යොදා ගතහොත් නව TNO  දහස් ගණනක් සොයගැනීමට හැකිවනු ඇතැයි පර්යේෂක කණ්ඩායම බලාපොරොත්තුවෙති.

Image may contain: text

ග්‍රහ ලෝක අංක 9 සඳහා සිතියමක්

කාලයත් සමග තව තවත් TNO   සොයාගැනීම නිසාවෙන්  මෙම දුර ඈත වස්තූන් අතුරෙන් කුඩා  කණ්ඩායමක් හෙවත් උප පෙලක් සතුව අමුතු ආකාරයේ කක්ෂ ගත පරිභ්‍රමනයක් ඇති බව තරකා විද්‍යාඥයන්ට පෙනී ගොස් තිබේ.   අඥාත විශාල වස්තුවක් මගින් ඒවා ගාල් කරණු ලබන්නාක් මෙන් අනපේක්ෂිත ආකාරයෙන් එකට ගොනුවෙන බවක් පෙනිණ. TNO  වල මේ අමුතු හැසිරීමට හේතුවන දුර ඈත විශාල වස්තුව ග්‍රහ ලෝක අංක 9 නම් ග්‍රහයා යයි ඇතැම් තරකා විද්‍යාඥයෝ සැකකරති. පෘථිවියෙහි ස්කන්ධය මෙන් 5 ගුණයක සිට 15 ගුණයක් තරම් වන ස්කන්ධයක් සහිතව, සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක (AU)  400ක් හෝ වැඩි දුරකින් කක්ෂගතව ඇතැයි උප කල්පිත, ඊනියා අංක 9 ග්‍රහ ලෝකයට නම් TNO එලෙස   පොකුරකට ගොනු කිරීමට තරම් ගුරුත්වාකර්ෂණයක් තිබීමට පුළුවන. එහෙත් ‘නව වන ග්‍රහයා’ පිළිබඳ තොරතුරු හිගය; වක්‍රාකාරය.  එහෙයින් තව තවත් TNO,  විශේෂයෙන්ම කුයිපර් පථයෙන් ඔබ්බේ TNO  සොයාගැනීම  ‘නව වන’ ග්‍රහයෙකු සිටී ද නැද්ද යන්න නිශ්චිතව කීමට මග පාදනු ඇත.

අනෙක් අතට, ‘නව වන’ ග්‍රහයෙකු සිටියත් නැතත්, TNO  වල ගුණාංග සහ කක්ෂ ගැන අවබෝධය, යෝධ ග්‍රහයන්ගේ ඉතිහාසය ගැන  අපට වඩාත් තීක්ෂණ දැනුමක් ලබා ගැනීමට උපකාරී වනු ඇත. “තාරකා විද්‍යාවේ එක්තරා ක්ෂේත්‍රයක් වෙනුවෙන්  සැලසුම් කළ සමීක්ෂණයක් මගින් මුළුමණින්ම සම්බන්ධයක් නැති ක්ෂේත්‍රයක විද්‍යාත්මක ප්‍රතිඵල ගෙන ඒමට සමත්වීම ඇත්තෙන්ම විශ්මයජනකය” යනුවෙන් ලූන්ඩ් විශ්වවිද්‍යාලයේ තාරකා භෞතිකවිද්‍යාඥ ඇලෙක්සැන්ඩර් මස්ටිල් කියා සිටියි. හෙතෙම මෙම අධ්‍යනයට සම්බන්ධ නොවූවෙකි.

Astronomy(July 2020) හී පළවන Astronomers find 139 new minor planets යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: