ප්‍රතිශක්තිය යන්නෙන් සැබැවින්ම අදහස් කරන්නේ කුමක් ද?
Covid-19 හටගන්වන නව කොරෝනා වෛරසය වන SARS-CoV-2 කෙරෙහි ප්‍රතිදේහ ගොඩ නැංවීම සඳහා වූ රුධිර පරීක්ෂණයකට ‘හදිසි අවස්ථා අනුමැතියක්’ එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය(Food And Drug AdmInIstratIon ) මගින් මෑතක ප්‍රදානය කරනු ලැබීය. සෞඛ්‍ය විද්‍යාඥයන් සහ ලෝක දේශපාලන නායකයන් විසින්, Covid-19 මහා වසංගතය අවසන් කිරීමේ විභවය ඇති ලක්ෂ්‍ය ලෙස ප්‍රතිශක්තිය වැලඳ ගනු ලැබ සිටි අවස්ථාවකයි මේ අනුමැතිය ප්‍රදානය කෙරුණේ.
මෙකී ප්‍රතිදේහ පරික්ෂා කිරීම සඳහා අපේක්ෂා සහගත සමීක්ෂණ ගණනාවක් ම ලොව පුරා දියත් කර ඇත්තේය. ප්‍රතිදේහ පරීක්ෂණ, රෝග නිර්ණය කෙරෙන පරීක්ෂණවලට(diagnostic tests) වඩා වෙනස්ය. රෝග නිර්ණක පරීක්ෂණ වලදී සිදු කෙරෙන්නේ වයිරසය පවතින බව සහතික කර ගැනීමය; සමහර අවස්ථාවල වෛරස භාරය(load) හෙවත් ප්‍රමාණයත් නිර්ණය පිණිසය. ප්‍රතිදේහ පරීක්ෂණ ආධාර වන්නේ කෙනෙකු තලින් ආසාදනයට පත් වී ද යන්න තීරණය කිරීමට ය. එවන් අය කිසිදා රෝග ලක්ෂණ පෙන්වා නැතත් මෙවැනි තත්ව පරීක්ෂණ බහුල අන්දමින් උපයෝගී කරගැනීමෙන් (පරීක්ශාවට ලක් කෙරෙන)වෛරස කොයිතරම් නම් මාරාන්තිකද මෙන්ම ජනතාව අතර එය කොතරම් නම් පැතිර ඇද්ද යන්න ගැන විද්‍යාඥයන්ට වැඩි අවබෝධයක් ලබා දීමට මග පෑදේ.
varicella zoster
කෙසේ වෙතත් සැබෑ ජීවිතය සලකන විට මේ ප්‍රතිදේහ පරීක්ෂණය කෙතරම් අර්ථවත් ද යන්න ඒ තරම් පැහැදිලි නැත. මන්ද, ප්‍රතිශක්තිය ක්‍රියාකාරී වන්නේ සන්තතියක්(continuum) තුළ නිසාවෙනි. (පැපොල හටගන්වන) varicella zoster වෛරස වැනි ව්‍යාධිකාරක සම්බන්ධයෙන් සලකද්දී ආසාදනය මගින් , විශ්ව ව්‍යාප්තියට ආසන්න පැතිරීමක් මෙන්ම දිගු කලක් පවතින ප්‍රතිරෝධයක් ඇතිකරයි ද යන්න සනාථ කරනු ලැබේ. අනෙක් අතට, උණසන්නිපාතය හටගන්වන Clostridium tetani බැක්ටීරියාව හේතුවෙන් ආසාදනය වූ කල ආරක්ෂාවක් සැපයෙන්නේම නැත. ඒ සඳහා එන්නතක් ලබා ගත් අය පවා නිරතුරුව අනුපූරක(booster) එන්නත් ලබාගත යුතුය. මේ ආවලියේ අන්තයෙහි HIV ආදනය වූ පුද්ගලයන් සතුව විශාල ප්‍රතිදේහ ප්‍රමාණයක් ඇතත් බොහෝ විට රෝගය පහ කිරීමට හෝ වැළැක්වීමට ඉන් යමක් ඉටු වන්නේ නැත.
Clostridium tetani
නව කොරෝනා වෛරසය, එනම් SARS-CoV-2 පිළිබඳව විද්‍යාඥයන්ගේ අවබෝධය තවමත් පවතින්නේ මුල් අවස්ථාවකය. එහෙයින් පෙරකී ප්‍රතිශක්තිකරණ ආවලිය තුළ Covid-19 කොතැනක තැබිය යුතු ද යන්න පැහැදිලි නැත. SARS-CoV-2 ආසාදනය වූ වැඩි දෙනෙක් ප්‍රතිදේහ නිපදවන බවක් පෙණී යන නමුත් “ආසාදනයෙන් හොඳ හැටි ආරක්ෂාවවීම සඳහා කළයුත්ත ගැන අපට තවම දනුමක් නැහැ” යයි ඔන්ටාරියෝ හී මැක්මාස්ටෙර් විශ්වවිද්‍යාලයේ ව්‍යාධිවේදය සහ අණුක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩෝන් බවුඩිෂ් කියා සිටියි. පර්යේෂකයන් දැඩි උත්සාහයක යෙදී සිටින්නේ ප්‍රශ්න දෙකට පිළිතුරු සැපයීමට ය. SARS-CoV-2 ප්‍රතිදේහ කොපමණ කාලයක් සිරුරේ රැඳී තිබේද? ඒවා එනම් ප්‍රතිදේහ, ප්‍රතිආසාදනයට(reinfection) එරෙහිව ආරක්ෂාව සපයන්නේ ද?
මහා වසංගතය ආරම්භයේ දී වාගේ, බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් සහ ඔහුගේ රජයේ විද්‍යාත්මක උපදේශක පැට්‍රික් වැලන්ස් ඇතුලු සමහරක් දෙනා හුවා දැක්වූයේ සමූහ ප්‍රතිශක්තිය(herd immunity) මහා වසංගතය නිමකර දැමීමට අවසානයේ මග පාදතැයි විශ්වාසය තැබිය හැකි බවයි. තවද සුවය ලැබූ රෝගීන් සතුව අඩු තරමින් සති දෙකක කාලයක් ප්‍රතිදේහ පවතින බවක් පෙනී ගියත් දිගුකාලීන දත්ත තවමත් ලබා ගන්නට නැත. එහෙයින් පිළිතුරු පතා බොහෝ විද්‍යාඥයන් යොමු වන්නේ අනෙකුත් කොරෝනා වෛරස කෙරෙහිය.
සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව වැනි වාරිකව පැමිණෙන කොරෝනා වෛරස වලට එරෙහිව ප්‍රතිශක්තිය, (ආසාදනයට පත්ව) සති දෙකකින් පමන හීන වෙන්නට පටන් ගන්නා අතර වසරක් ඇතුළත සමහරදෙනා ප්‍රතිආසාදනයට අවදානම්ග්‍රාහීය. මාස 18ක් ඇතුළත අපට Covid-19ට එරෙහි වැක්සිනයක් ලැබෙතැයි සිතීම උගහට බවට විශේෂඥයන් ප්‍රකාශ කර ඇති පසුබිමක එම නිරීක්ෂණය අවුලට පත් කරන සුලුයි. එහෙත් SARS-CoV අධ්‍යයන ගැන වඩාත් බලාපොරොත්තු ඇති කරගත හැකිය. SARS ඇතිකරවන මෙම වෛරසය හා SARS-CoV-2 සැලකිය යුතු ප්‍රවේණි ද්‍රව්‍ය ප්‍රමාණයක් හවුලේ භුක්ති විඳීයි. ප්‍රතිදේහ පරීක්ෂණ පෙන්නුම් කර ඇත්තේ SARS-CoV ප්‍රතිශක්තිය මාස හතරක අවධියේ දී උපරිමයට පැමිණෙන අතර දළ වශයෙන් වසර දෙකේ සිට තුන දක්වා කාලයකට ආරක්ෂාව සපයන බවයි. මෙය Covid-19 සඳහා වැක්සීන හා චිකිත්සාවන් ගැන සිතීමට හොඳ කාල රේඛාවක් ඉදිරිපත් කරන බව මිචිගන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය හා ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී ප්‍රීති මාලනී පවසයි.
කෙසේවෙතත් ප්‍රතිදේහ, ශරීරයේ රැඳී පැවති ඒවායින් අනාගත ආසාදන වැළකේ ද යන්න ස්ථිර නැත. “අපට අවශ්‍ය වන්නේ උදාසීන කරවනසුලු ප්‍රතිදේහ යැයි මහාචාර්ය ඩෝන් බවුඩිෂ් පෙන්වා දෙයි. ධාරක සෛලවලට සම්බන්ධවී, ඒවායේ දොර’ගුළු ඇර දෙන වෛරසයේ කොටසට බන්ධනය වීමෙන් ආසාදනය අඩු කරන සහ වළක්වාලන ප්‍රෝටීන මේවායි. ඒවා සොයා ගැනීම සාපේක්ෂව පහසුයි. අනික විකල්පයකට(ප්‍රතිශක්ති පද්ධතියේ Tසෛල) වඩා ඒවා ජනනය කිරිම වැක්සිනය වැඩිදියුණු කරන්නට වඩාත් පහසුයි. මීට පරස්පරව උදාසීන නොකෙරෙන්නාවූ ප්‍රතිදේහ මගින් ද ව්‍යාධි කාරකයෙන් කොටසක් හඳුනාගනු ලැබූවද ඒවා ඊට (ව්‍යාධිකාරකයට) ඵලදායිව බන්ධනය නොවන හෙයින් එය(ව්‍යාධිකාරකය) සෛල ආක්‍රමණය කිරීමෙන් වැළැක්විය නොහැක. එසේ නම් කළ යුතුව ඇත්තේ ඒවා වෛරසයට බන්ධනය වන ස්ථාන හදුනාගෙන (එම)ප්‍රෝටීන කුඩා කොටස සොයා ගැනීම පමණකි. SARS-CoV-2 සඳහා නම් එය බොහෝ විට එහි ශූල ග්ලයිකොප්‍රෝටීනයෙහි(spike glycoprotein) ඊනියා ප්‍රතිග්‍රාහක බන්ධන ඉසව්වෙහි විය හැකිය. මේ ප්‍රෝටීනය තමයි වෛරසය සෛලයට ඇතුල්වීම පිණිස යොදා ගන්නේ. එහෙත් මේ ස්ථානය අභියෝගයක් එල්ල කළ හැකි යැයි බෝඩිෂ් කල්පනා කරයි.
කෙසේ වෙතත් මෙයට පෙර සිදු වූ කොරෝනා වෛරසය පැතිරයාම්වලින් උගෙන ගන්නා දැනුම මත ඉදිරියට යාමට පර්යේෂකයන්ට හැකි ය. සැබෑ ජීවිතයේ, SARS-CoV-2 වෛරසයට පිළිබඳ පර්යේෂණ තවම ඇත්තේ මූලික මට්ටමේ ය. පර්යේෂණ ධෛර්යය උපදවන සුළු වුවද උදාසීනකරණය කරන්නා වූ ප්‍රතිදේහ නිපදවන එමෙන්ම SARS-CoV-2න් දිවි ගලවා ගත් (සමාජය තුළ ජීවත් වන) අයගේ අනුපාතය පර්යේෂකයන් විසින් සොයා ගන්නා තුරු ප්‍රතිපත්ති සම්පාදනයට තුඩුදෙන ප්‍රතිදේහ පරීක්ෂාවන් නතර කළ යුතු යැයි යන්න බෝඩිෂ්ගේ අදහස ය. මීට අදාළ මුල් කාලයේ පර්යේෂණ පෙන්නුම් කරන්නේ අප මුහුණ පා සිටින තත්ත්වය වඩාත් සංකීර්ණ එකක් බවයි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් සහ පෙර නොදුටු විරූ මට්ටමේ ගෝලීය සහයෝගීතාව හේතුවෙන් මෙම සංකීර්ණතා ලිහිල් කර ගැනීමට මග පෑදෙනු ඇත. අවසානයේ අපේ ජීවිත හා අපේ ආර්ථිකයන් යළි නියම මඟට ගැනීමේදී ප්‍රතිදේහ පරීක්ෂණ කේන්ද්‍රීය විය හැකිය. දැනට ඒවායින් හුදෙක් බලාපොරොත්තු විය හැක්කේ මහා වසංගතය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් විශේෂඥයන්ට නිලධාරීන්ට හා රට වැසියනට සපයනු ඇත යනුවෙනි.
Scientific American හී පළවන what immunity really means යන ලිපිය ඇසුරෙනි