මහා වසංගත නතර කරන්න නම් වනහරණය නවත්වන්න

Posted by
මහා වසංගත නතර කරන්න නම් වනහරණය නවත්වන්න

වන සතුන්ගේ වාසස්ථාන එලෙසම තිබෙන්නට හැරියොත් වෛරස මගින් මිනිස් ජීවිත වැනසීමට ඇති ඉඩකඩ අඩුවෙයි.

සාර්ස්(SARS), ඉබෝලා සහ දැන් SARS-CoV-2: මේ තුනම ඉතා දරුණු බෝවන සුළු වෛරසය්. මේ තුන 2002 වසරේ සිට මුළු ලෝකයම බියවද්දනවා. එපමණක් නොවේ මේ තුනම මිනිසුන් වෙතට පැන ආවේ නිවර්තන ඝණ වනාන්තර වල වෙසෙන වනසතුන්ගෙනුයි. මනුෂ්‍යයන්ට ආසාදනය කරවමින් ඉස්මතු වන ව්‍යාධිකාරකවලින්(pathogens) හතරෙන් තුනක් සතුන්ගෙන්  මනුෂ්‍යයන් කරා පැමිණෙයි. මේ සතුන් බොහොමයකගේ වනාන්තර වාස භූමි, ජෛව ඉන්ධන ඇතුළු බෝග වගාව, සහ පතල් කැනීම හා නිවාස ඉදිකිරීම පිණිස  අප විසින් ගිනි තබා එළි පෙහෙළි කරනු  ලබන්නේය .   අප මෙලෙස වන බිම් එළි කරන්නට එළි කරන්නට, අප මරණයට පත් කිරීමට හැකියාව ඇති ක්ෂුද්‍රජීවීන් සහිත වනජීවීන් හා සම්බන්ධ වීම තව තවත් වැඩි වේ. එලෙසම, එන්ට එන්ටම කුඩා ප්‍රදේශ වෙත අප විසින්  එම සතුන් සීමා කරණු ලැබීම නිසාවෙන් එකිනෙකා අතර රෝගකාරක  ක්ෂුද්‍රජීවීන් එකිනෙකා අතර හුවමාරු වීම වැඩි වී වෛරස නව මාදිලි මතුවීමේ ඉඩකඩ වැඩිවේ.

වන භූමි එළිපෙහෙළි කිරීම නිසාවෙන් ජෛව විවිධත්වය හීනවන අතර විනාශ නොවී ඉතිරිවන විශේෂයන්,  මනුෂයන් වෙත පැතිර යා හැකි ව්‍යාධිකාරක වල ධාරකයන් බවට පත්වීමේ ඉඩකඩ ද වැඩිවේ. මේ සියලු කරුණු කාරණා සත්ව ව්‍යාධිකාරක වැඩිවැඩියෙන් මනුෂයන් වෙත පැමිණීමට  මඟ පාදයි.

වනහරණය නතර කිරීම අපට අලුත්  ව්‍යසනවලට නිරාවරණය වීම නතර කෙරෙනවා පමණක් නොව වැසි වනාන්තරවල වාසස්ථානවලින් පැමිණි අනෙකුත් දරුණු රෝග පෙළක්ම ව්‍යාප්තවීම යටපත් කිරීමටද ඉවහල් වේ. ශිකා, නිපා, මැලේරියාව, කොළරාව සහ HIV එම රෝග පෙළ අතරට අයත් ය. 2019 සිදුකළ අධ්‍යනයකින් පෙන්නුම් කරන්නේ වනහරණය 10% කින් වැඩි වීමේ ප්‍රතිඵලයක් හැටියට මැලේරියා ආතුරයන් සංඛ්‍යාව සියයට 3.3 කින් ඉහළ යන බවයි; ඒ කියන්නේ ලොව පුරා ජීවත්වන මිලියන 7.4 ක් හෙවත් 74 ලක්ෂයක්. වනහරණයට එරෙහිව ගෝලීය වශයෙන් වසර ගණනාවක්ම තිස්සේ උද්ඝෝෂණ පැවතුනත් එය තවමත් බෙහෙවින් ප්‍රචලිතව පවතී. 2016 සිට සාමාන්‍ය වශයෙන් වසරකට හෙක්ටයාර් මිලියන 28 බැගින් ලොව පුරා වන විනාශය සිදු වී ඇත. එය අඩුවන ලකුණු ද නොමැත.

මේ සිදුවන විනාශය නවතනු වස්  ගෝලීය සමාජයන්ට ගත හැකි නොයෙකුත් පියවර තිබේ. මාංශ අඩුවෙන් පරිභෝජනය කිරීම අපේ ශරීර සෞඛ්‍යයට හොඳ යයි වෛද්‍යවරු කියති. ඉතින් මාංශ අනුභවය අඩු කිරීම සහ තෘණ සහ වෙනත් ගොවිපළ සත්ව ආහාර සඳහා ඇති ඉල්ලුම අඩු කිරීමට ඉවහල් වේ. සකස් කළ ආහාර අඩුවෙන් ගැනීම කටුපොල් හෙවත් ෆාම් තෙල් සඳහා ඇති ඉල්ලුම පහත දැමීමට හේතු වේ. තවද පාම් තෙල් ජෛව ඉන්ධන නිපදවීමට අවශ්‍ය වන්නා වූ පෝෂක ද්‍රව්‍යයකි. කටුපොල් වැඩි වශයෙන් වගා කෙරෙන්නේ, නිවර්තන වැසි වනාන්තර කපා හෙළා එළි කළ භූමි භාගයන්හීය. ලෝකයේ රටවල් ජනගහන වර්ධනය මන්දගාමී කිරීමට පියවර ගන්නේ නම් භුමිය සඳහා ඇති අවශ්‍යතාවය ද හීන වේ. සංවර්ධනවන රටවල මෙය ඉටු කළ හැක්කේ කාන්තාවන්ට වඩාත් හොඳ අධ්‍යාපනයක්, පිරිමි පක්ෂය සමඟ සමාජයීය වශයෙන් සමාන තත්ත්වයක් සහ පහසු මිලකට  ප්‍රතිසන්ධි රෝධක හෙවත් උපත් පාලන ද්‍රව්‍ය ලබාගැනීමට අවස්ථාවත සලසා දීමෙන් පමණකි.

සෑම හෙක්ටයාරයකින් වැඩි ආහාර ප්‍රමාණයක් නිපදවීමෙන්වගාව සඳහා  තව තවත්  ඉඩම් එළි පෙහෙළි කිරීමේ අවශ්‍යතාව නොමැතිව ආහාර සැපයුම ඉහළ දැමිය හැක. ඉඩෝරයට වඩාත් හොඳින් ඔරොත්තු දෙන බෝග වැඩි දියුණු කිරීම ද රුකුලකි. විශේෂයෙන්ම දේශගුණ විපර්යාස මගින් වඩාත් කල් පවතින එමෙන්ම වඩාත් උග්‍ර වකවානු ඇති වන නිසා මේ කාරණාව තවත් වැදගත් වේ. ගොවිබිම් අතර රුක් රෝපනය කිරීම වැනි කෘෂි-වනවිද්‍යාත්මක ශිල්ප ක්‍රම අනුගමනය කිරීමෙන් අප්‍රිකාවේ සහ වෙනත් ප්‍රදේශ වල වියලි කලාපයන්හි බෝග අස්වැන්න වැඩි කිරීමට පුළුවන. නිපදවන ආහාර සියල්ල අතරින්  30% සිට 40% දක්වා ප්‍රමාණයක් අපතේ යන්නේය; ආහාර අපතේ යාම අඩු කිරීමෙන් වැඩි වැඩියෙන් වගා කිරීම සඳහා ඇති පෙළඹවීම සහ පීඩනය විශාල වශයෙන් හීනකරගත හැකිය.

 

අප මේ පිළියම් ක්‍රියාවට නංවන අතර වාරයේ අපට අනුව වසංගත පැතිර යාම වඩාත් ඉක්මනින් නැතහොත් වේලාසනින් හඳුනා ගැනීමට ද අවකාශ සැලසේ.  වන වාසභූමි වෙත නිසොල්මනේ ඇතුළු වී කොරෝනා වෛරස වාහකයෙක් බවට ප්‍රකට ක්ෂීරපායින් — වවුලන්, කෘන්තකයන් (rodents), බැජරයන්, උරුලෑවන් (civets), කබල්ලෑවන් (pangolin) සහ වදුරන් වැනි ක්ෂීරපායින් පරික්ෂාකිරීමෙන් වෛරස සංචලනය වන ආකාරය සිතියම් ගත කිරීමට වසංගත වේදීන්ට හැකිවේ.එවිට මහජන සෞඛ්‍ය නිලධාරීන්ට වනාන්තර යාබදව වසන මනුෂ්‍යයන් පරීක්ෂාවට ලක් කළ හැකිවෙයි. කෙසේ වෙතත් වඩාත් ඵලදායී වීමට නම් මේ ආකාර ආවේක්ෂණ වඩාත් පුළුල්ව සිදු කළ යුතු අතර  ඒවාට යහමින් අරමුදල් ද සැපයිය යුතු වේ. 2019 සැප්තැම්බරයේ දී ඒ කියන්නේ කොවිඩ් 19 මහා වසංගතය පටන් ගන්න ඔන්න මෙන්න කියා තිබියදී USAID හෙවත් සංවර්ධනය සදහා වූ එක්සත් ජනපද ඒජන්සිය PREDICT නම් ‍ව්‍යාපෘතියකට සපයන ආධාර මුදල් අත්හිටුවන බව ප්‍රකාශයට පත් කළේය. (තර්ජනයක් විය හැකි ක්ෂුද්‍රජීවීන් සෙවීම සඳහා වූ මෙම දශ අවුරුදු ව්‍යාපෘතිය මගින් සුවිශේෂී වෛරස 1100 වැඩියෙන් සොයාගනු ලැබීය. අලුතෙන් අන්වේක්ෂණ වැඩසටහනක් දියත් කරන බව USAIDකියා සිටී;මෙවර වඩාත් පුළුල් සහ  වඩාත් ශක්තිමත් දැලක් එළීමට හැකිවන අයුරු USAIDමෙවර ප්‍රමාණවත් අරමුදල් සපයනු ඇතැයි විශ්වාස කෙරේ.

Why China Shouldn't Shut Down All Its Wet Markets

මේ අතරවාරයේ ඊනියා wet market හෙවත් ජීවී වෙළෙඳ පොළවල පණපිටින් වන සතුන් අලෙවි කිරීම රජයන් විසින් අවලංගු කළ යුතුය. ව්‍යාධිකාරක නැවත නැවතත් මිනිසුන් වෙතට පැමිණ ඇත්තේ මෙම තෙත් වෙළෙඳපොළ වලිනි. මේවා ඉවුංපිහුං සංස්කෘතිය සඳහා වැදගත් වුවත් ඒවායින් ඇතිවන අවදානම අතිවිශාලය. තවද හොරට විකිණීමේ නීති විරෝධී ක්‍රියාවන් මර්ධනයට ද රජයන් පියවර ගත යුතුය. නීති විරෝධී දඩමස් වෙළඳාමේ හේතුවෙන් රෝගකාරකයන් වඩාත් පුළුල්ව ව්‍යාප්ත වීමට ඉඩ ඇත. මීට අමතරව අපට සතුන් දහස් ගණනක් එකට තබා තිබෙන ගොවිපොළ ‘සත්ව පැක්ටරි’  පරීක්ෂාවට ලක් කළ යුතුයි. ඇමරිකා එක්සත් ජනපදයේ 10,000 කට වැඩි පිරිසකට ලොව පුරා තවත් විශාල පිරිසකට ද මරු කැඳවූ 2002 සූකර උණ පැතිරීමේ මූලය ඒවායි.

වනහරණය අවසන් කිරීම සහ මහා වසංගත වලට මඟ හරස් කිරීම එක්සත් ජාතීන්ගේ ධරණීය සංවර්ධන ඉලක්ක 17 න් හයකට විසඳුම් සැපයේ. සෞඛ්ය සම්පන්න ජීවිත සහතික කිරීම, සාගින්න බිංදුවට බැස්ස වීම, ලිංගික සමානාත්මතාවය, වගකීමෙන් යුතු පරිභෝජනය සහ නිෂ්පාදනය, දැරිය හැකි අන්දමට භූමි කළමනාකරණය සහ දේශගුණය වෙනුවෙන් ක්‍රියාමාර්ග. (යහතින් පවතින වනාන්තර මගින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරනු ලබන  නමුත්  වන ගිනිබත් කිරීමෙන් තව තවත් කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට  එක් කරයි).

කොවිඩ් 19 වසංගතය ඇත්තටම මහා ව්‍යසනයකි. එහෙත් ස්වාභාවික ලෝකය අධි-උපයෝජනය(overexpoiting) නොකරන්නේ නම් මානව වර්ගයාට අත් කරගත හැකි අතිමහත් වාසි ගොඩ කොපමණද යන්න  ගැන අපගේ අවධානය යොමුකිරීමට මහා වසංගතය ට හැකිය. මහා වසංගත විසඳුම් ඇත්තටම ධරණීය නැතිනම් තිරසාර පිළියම්ය.

 

Scientific American(June 2020) හී පළවන To Stop Pandemics, Stop Deforestation යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.