මේ ලිපි පෙළේ දී හරිතාගාර ආචරණය, දේශගුණය, කාලගුණය ආදිය ගැන කතා කළත් දේශගුණ විපර්යාසයන් ගැන හරිහැටි පැහැදිලිකිරීමක් කරගත්තේ නැහැනේ. ඉතින්, අද මාතෘකාව වන ‘දේශගුණ විපර්යාසයන්ගේ බලපෑම’ ගැන කතා කරන්නට පෙර දේශගුණ විපර්යාසයන් කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරගන්න බලමු.
දේශගුණ විපර්යාසයන් කියන්නේ කුමකටද?
කිසියම් ප්‍රදේශයක් නැතිනම් කලාපයක් පුරාවට දීර්ඝ කාලයක් තුල පවතින සාමන්‍ය තත්ත්වයන් — ඒ කියන්නේ එම ප්‍රදේශයේ උෂ්ණත්වය සහ වර්ෂාපතනය වගේ සමාන්‍ය තත්ත්වයන්ගේ වෙනසක් දේශගුණ විපර්යාසයන් යන්නෙන් විස්තර කෙරෙනවා. උදාහරණයක් ලෙස දක්වනවා නම් අමරිකා එක්සත් ජනපදයේ විශාල ප්‍රදේශයක් මෙයට වසර 20,000කට පමණ පෙර ග්ලැසියරවලින් වැසී පැවතුනා. එහෙත් අද එහි ග්ලැසියර අඩුයි; අද පවතින්නේ සාපේක්ශව උනුසුම් දේශගුණයක්.
ගෝලීය දේශගුණ විපර්යාසයන් කියන්නේ සමස්ත පෘථිවිය පුරාවට සිදුවන සාමන්‍ය දීර්ඝ කාලීන දේශගුණ වෙනස්කම්. අපේ මේ මහා පොළවේ දේශගුණය නිරන්තරයෙන්ම වෙනස්කම්වලට නැතිනම් විපර්යාසයන්ට ලක්වෙමින් පවතිනවා. ඔව්, මනුෂ්‍යයන් මේ ලොව පහල වෙන්නත් කලින් ඉඳලාම වෙනස්කම් සිද්ධවෙනවා.
එහෙත් මෑතක දේශගුණයෙහි අසාමාන්‍ය වෙනස්කම් සිදුවෙමින් පවතින බව විද්‍යාඥයන්ට නිරීක්ෂණයවෙලා තියෙනවා. නිදසුනක් දක්වනවා නම්, විද්‍යාඥයන් අපේක්ෂා කළාට වඩා පසුගිය වසර 150ක කාලය තිස්සේ පෘථිවියෙහි මධ්‍යක උෂ්ණත්වය බොහොම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
හරිතාගාර ආචරණය දැක්වෙන සරල සජීවීකරණයක්. (අනුග්‍රහය: නාසා)
ගෝලීය දේශගුණයට සාධක ගණනාවක්ම දායකවෙනවා. කෙසේවෙතත්, පසුගිය වසර 50 සිට 100 දක්වා කාලය තුළ මනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම් නිසාවෙන් පෘථිවිය වඩාත් උණුසුම්වෙමින් පවතින බව විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. මෙයට බලපාන සාධකය හරිතාගාර ආචරණයයි. අපි කලින් ඒ ගැන කතා කළානේ. එහෙමනම් දැන් ඉතින් මේ අසාමාන්‍ය වෙනස් කම් නැතිනම් විපර්යාසයන් මොනවාද? ඒවායේ බලපාම මොකක්ද කියලා අපි හොයා බලමු.
දේශගුණ විපර්යාසයන්ගේ බලපෑම.
අපි මුලින්ම වඩාත් වැදගත්වන කාරණා 4ක් සලකා බලමු.
- ගෝලීය උණුසුම්වීම භූමියේ සහ ජලයේ තාපජ(thermal) ප්‍රසාරණයට හේතු වෙනවා. ඒ විතරක් නොවෙයි, ලෝකයේ සීත ප්‍රදේශ වල තිබෙන අයිස් සහ කඳු මුදුන්වල තිබෙන අයිස් තලා දිය වීමටත් හේතු වෙනවා. මේ ලෙසින් දිය වීමට ලක්වූ අයිස් (වතුර) ඇළ දොළ, ගංගා සහ මුහුදට ගලා යනවා. එහි ප්‍රතිඵල ලෙස ජල මට්ටම් සහ මුහුදු මට්ටම ඉහළ යෑම සිදු වේ. එම ජල මට්ටම් ඉහළ යෑමත් සමග ජලාශ ආසන්නයේ පිහිටා තිබෙන පහල මට්ටමක භූමිවල ඇති පුරවර සහ නගර ගං වතුර මෙන්ම අනෙකුත් ව්‍යසනයන්ට ලක් වෙන බව අප අතර සමහරුන් අත්දැකීමෙන්ම දන්නවා..
පසුගිය ශත වර්ෂයේදී ගෝලීය මුහුදු මට්ටම් 17cm (අඟල්6.7) කින් ඉහළ ගොස් ඇති බව පර්යේෂණ පෙන්වා දෙයි. තවද මුහුදු මට්ටම් වැඩි වීමේ අනුපාතය පසුගිය දශකයේ දෙගුණ වී ඇති බවද සඳහන් වේ. (මූලාශ්‍රය: climate.nasa.gov)
- දේශගුණ විපර්යාසය නිසා කාලගුණය අන්තගාමී වෙයි. එය නියඟය හෝ කුණාටු සහ අධික වැස්ස වැනි අන්තගාමී ප්‍රතිඵල ලෙස අප හමුවට එන්න පුළුවන්. තවද, දේශගුණය අන්තගාමී වීම මනුෂ්‍යන්වන අපට ස්වසන අපහසුතා, හිස කැක්කුම, සමේ පලු දැමීම සහ වෙනත් රෝගාබාධ ඇති වෙන්නට හේතු වෙනවා.
- දේශගුණ විපර්යාසය නිසා ශාක සහ සතුන්ගේ ස්වභාවික ජීවන පරිසරය හා ජීවන රටා විකෘතියට පත් වේ. උදාහරණයකට ගත්තොත්, වෙනත් ප්‍රදේශ වල ජීවත් වන්නට බැරි ශීතාධික ප්‍රදේශවල පමණක් ජීවත්වන සුදු වලසුන් සහ පෙන්ගුයින් සතුන්හට තම ස්වභාවික වාසස්ථානයන්හී දිවි ගෙවීමට නොහැකිවීමේ අවදානමකට ලක්වෙනවා. ඒ විතරක් නොවේ, අනෙක් අතට, උණුසුම් ප්‍රදේශ එකවරම පාහේ ශීතල තත්ත්වයක් ලෙස වෙනස් වුවහොත්, එහි පවතින ශාක සහ ජීවත් වන සතුන් මිය යෑමට ලක් වෙයි.
- ජල චක්‍රයේ තිබෙන සාමාන්‍ය ජල ප්‍රමාණයට මෙයින් බලපෑමක් නොවන නමුත් ජල චක්‍රයේ කාලවකවානු, ප්‍රමාණයන්, ක්‍රමිකත්වය හෙවත් ක්‍රමිකතාව(regularity) සහ ව්‍යාප්තියට බලපෑමක් ඇතිවේ. මධ්‍ය අක්ෂාංශ සහ වියළී, උපනිවර්තන කලාපවල ඇති ජල ප්‍රවාහයේ අඩුවීමක් අත්දැකීමට පුළුවන් වන අතර ඒ එක්කම ඉහළ අක්ෂාංශවල සහ ආර්ද්‍ර, මධ්‍යම-අක්ෂාංශ ප්‍රදේශ වල ජල ප්‍රවාහය වැඩි වෙන්නට පුළුවනි. අනෙකුත් සමහර ප්‍රදේශවල අයිස් සහ හිම තැන්පත්වීම අඩු වීමෙන් ගංගා දෝර ගැලිමේ අවිනිශ්චිත්තාවයන් ඇති වෙයි. තවද, පිරිසිදු ජලය ලබාගැනීමේ හැකියාවද බලපෑමට ලක්වීමට හැකිය. උදාහරණයකට ගත්තොත්, පිරිසුදු ජලය සැපයීම පිණිස යොදාගන්නා විල් ජලයෙහි ගුණාත්මකබව, ධූලක(විෂ) හටගන්වන ඇල්ගී නිසා අඩු වී යයි.
ඔබ දන්නවා ද…….
ග්‍රීන්ලන්තය සහ ඇන්ටාක්ටිකාවේ අයිස් තලාවල ස්කන්ධය අඩුවී ඇති බව?. 2002 වසරේ සිට 2006 වසර දක්වා අවුරුදුවල, සෑම අවුරුද්දකදීම ග්‍රීන්ලන්තයේ ඝන කිලෝමීටර 150 සිට 250 දක්වා ප්‍රමාණයක අයිස් අයිස් දිය වී ඇති අතර 2002 සිට 2005 දක්වා කාලය තුළ ඇන්ටාක්ටිකාවේ ඝන කිලෝමීටර 152ක ප්‍රමාණයක් දිය වී ඇත බව නාසා ආයතනයේ Gravity Recovery and Climate Experiment ව්‍යාපෘතිය පෙන්වාදෙනවා (මූලාශ්‍රය- climate.nasa.gov).
වර්තමානයේ සුදු වලසුන් , අයිස් මුහුදු වල සීඝ්‍ර අඩුවීම නිසා ඔවුනගේ දඩබිම්, බෝවීමේ සහ ලැගුම්ගන්නා ස්ථාන නැති වී යෑමේ තර්ජනයට මුහුණ පෑමට සිදුව තිබේ. එලෙසම ඔවුන්ගේ සන්ඛ්‍යාවෙහි හෝ ව්‍යාප්තියෙහි ඇති වෙන වෙනස්කම සමස්ත ආක්ටික් පරිසර පද්ධතියට ද බලපෑම් ඇති කරයි.
ඇන්ටාක්ටිකාවේ තිබෙන අයිස් තලා දියවී ගියොත්, ගෝලීය මුහුදු මට්ටම සෑමතනකදීම මීටර 60-65ක ප්‍රමාණයකින් ඉහළ යයි.
Eschooltoday lessons හී පළවන පාඩම මාලාවේ How does the Greenhouse Effect happen? කොටස සහ ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ:
චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators)