පුරවර ගොඩනැගෙද්දී මදුරුවන්ගෙන් රෝග බෝවීම ඉහල යාමේ අවදානමක්
මනුෂ්‍යයන්ට දෂ්ටකර ඩෙංගු, සිකා සහ අනෙකුත් වෛරස පතුරුවා හරින්නෙකු හැටියට Aedes aegypti මදුරුවා ලෝකයේ බොහෝ ප්‍රදේශවල කුප්‍රකට ය. මේ මදුරුවන්ගේ ජන්ම භූමිය වන අප්‍රිකාවේ මදුරුවන් වැඩි කොටම ප්‍රියමනාප වන්නේ වඳුරන්, කෘන්තකයන් (rodents) වැනි අනෙකුත් සතුන්ගෙන් ලේ උරාබීමට ය. කෙසේ වෙතත් නව අධ්‍යයනයක් දක්වන්නේ මනුෂ්‍යයන්ගේ රුධිරය සඳහා ඔවුන්ගේ ඇති රුචිය සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බවත් එසේ ව්‍යාප්ත වීමත් සමඟම රෝග බෝ කිරීමට උන්ට හැකියාවද ඉහළ යන බවත්ය.
අප්‍රිකාව පුරා Aedes aegypti මදුරුවා ලේ උරාබීමට රුචිකත්වය කොපමණ නම් පරාසයක පවතී ද යන්න පිළිබඳ සමීක්ෂණයක් කිරීම මගින් මේ අධ්‍යයනය පෙන්වන්නේ පවතින වියළි ස්වභාවය සහ අධි ජනගහන ඝනත්වය මහජනතාව ඉලක්ක කර ගන්නා මදුරු මාදිලිවලට වාසිදායක වන බවයි. සෑම තැනකම නොවුණත් මෙකී තත්ත්වයන් දේශගුණ විපර්යාසයන් සහ වර්ධනය වන නාගරීකරණය හේතුවෙන් අප්‍රිකාව තුළ වඩාත් තීව්‍රවීමේ ඉඩකඩ තිබේ. “මේ අධ්‍යයනය හුඟාක් වැදගත්. ඒ මන්ද කීවොත්, මදුරුවන් මිනිසුන්ට දෂ්ට කරන්ට කැමති වෙන්නේ කොයිබද දී ද, ඒ කුමක් නිසාවෙන් ද යන්න අපට හොඳින් වටහා ගැනීමට හැකි වීමෙන් රෝග ව්‍යාප්තිය කල් ඇතිව පුරෝකතනය කරන්නත් සහ ප්‍රශමනය කරන්නත් අපට වඩාත් හොඳ අවස්ථා ගොඩනගා ගන්න පුළුවන් වෙනවා” යැයි මාරා ලෝනික්සැක් කියා සිටියි. ඇය Wellcome Sanger ආතනයේ පරිණාම ප්‍රවේණි විද්‍යාඥවරියක් වන අතර මෙම අධ්‍යයන සම්බන්ධ අයෙකු නො වේ.
පර්යේෂකයෝ සහරාවෙන් දකුණින් පිහිටි කලාපයේ ස්ථාන 27කින් Aedes aegypti මදුරු බිත්තර එක්රැස් කර ගත්හ. මෙම ප්‍රදේශ අතරට වියලි සවානා බිම්වල සිට තෙත් වනාන්තර ද එමෙන්ම විවිධ ජනගහන සංඛ්‍යාවක් ජීවත් වන ප්‍රදේශ ද ඇතුලත් විය. මෙම බිත්තර පරීක්ෂණාගාර තුළ මදුරු ගහන ඇතිකිරීම පිණිස යොදා ගනු ලැබූ අතර අනතුරුව ඒවායින් හටගත් ජනිතයන්ගේ දෂ්ට කිරීමේ කැමැත්ත පරික්ෂා කර බලනු ලැබීය. මෙහිදී මදුරුවන් සියයක් බැගින් එක ප්ලාස්ටික් පෙට්ටියට බහාලනු ලැබීය. පෙට්ටියෙහි ඔවුනට එළියට පියඹා යාම සඳහා නළ දෙකක් විය. එක් නළයක අග පර්යේෂිකාවක ගේ අත ද අනෙක් නළයේ අග රට මියෙකු ද විය. (කෙසේවෙතත්, ඉලක්ක දෙකටම දෂ්ට කිරීමට නොහැකිවන සේ නිරාවරණ(screens) යොදා තිබිණ).
ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ කැරොලින් මැක්බ්‍රයිඩ් සමග එක්ව පර්යේෂණ සිදුකරන පශ්චාත් ආචාර්ය උපාධි අධිශිෂ්‍ය නෝවා රෝස් එකිනෙකට වෙනස් වරණ හෙවත් මනාපයන් සහිත මදුරුවන් අතරේ ඥාති සම්බන්ධතා සෙවීම පිණිස මදුරුවන් 389යකගේ ජෙනෝම අනුක්‍රමණය කළේය. “මේ අය සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කරලා තියෙනවා” යයි මොන්ට්‍රියල් හි තිරසාර සංවර්ධනය සඳහා වන ප්‍රංශ ජාතික පර්යේෂණායතනයේ වෛද්‍ය කීට විද්‍යාඥවරියක වන ඇනා කොහුවේ පෙන්වා දෙයි. ඇය අධ්‍යයනයට සම්බන්ධ නොවූවෙකි.
Noah Rose
නෝවා රෝස් හා සගයෝ සිය පර්යේෂණ ගැන මාර්ගගතව පැවති ජෙනෝම ජීව විද්‍යා රැස්වීමට කරුණු වාර්තා කරමින් එකතු කරගන්නා තැන අනුව මදුරුවන් නිරතුරුව වැඩි මනාපයක් දක්වන්නෙ මිනිසුන්ටද රට මියයන්ට ද යන්න තීරණයවන බව අධ්‍යයනයෙන් පෙණී ගිය කරුණක් යයි දන්වා සිටියහ. Aedes aegypti සම්භවය ලැබු අප්‍රිකානු වනාන්තර වල මදුරුවන් වැඩි කැමැත්තක් දැක්වුයේ රට හාවන්ට ය. සහරාවෙන් දකුණේ පිහිටි අර්ධ ආර්ද්‍ර සහෙල් කලාපයේ මදුරුවන් සංගතව කැමැත්ත දැක්වූයේ මනුෂයන්ට දෂ්ට කිරීමටය. සහෙල් කලාපයේ මදුරුවන්ට වැඩි ඥාති සම්බන්ධයක් තිබෙන්නේ නම් එවැනි මදුරුවන් මිනිසුන්ට දෂ්ට කිරීමට වැඩි හැකියාවක් ඇති බව පර්යේෂකයන්ට පෙණී ගියේය. (වහල් වෙළදාමත් සමග සහෙල් මදුරුවන් මෙයට වසර සිය ගණනකට පෙර ඇමරිකානු මහාද්වීපයට ව්‍යාප්ත වෙන්නට ඇත).
මනුෂ්‍යයන් සොයා ඒමට වැඩි වශයෙන් බලපෑ සාධකයක් වන්නේ ජනඝනත්වය බව රෝස්ට පෙනී ගිය කාරණාවකි. ජනතාව වැඩිපුර ගැවසීම (මනුෂ්‍යයන් වෙතට ඒමට පුරුදු වීම හේතුවෙන්) මදුරුවන් වඩාත් කාර්යක්ෂම බවට පත් කරන්නට ඇති යැයි නොහුවේ පෙන්වා දෙයි. එහෙත් මෙයින් සංසිද්ධිය සම්පූර්ණ ආකාරයෙන් විස්තරවන්නේ නොවේ. මන්ද, නගර කිහිපයකින් එකතු කරගත් මදුරුවන් මනුෂ්‍ය කේන්ද්‍රීය නොවන හෙයිනි. ඒ වෙනුවට කෙටි වැසි සමයක් සහිතව වසර පුරා උණුසුම්, වියළි කාලගුණයක් පැවතීම (සහෙල් කලාපයේ ඇත්තේ ඒවාගේ කාලගුණ රටාවකි.) මදුරුවන් තුළ මනුෂ්‍යයන් සොයා ඒමට ඇති කැමැත්ත පෝෂණය කළ බවක් පෙනෙන්නට තිබිණ. ඒ ආකාරයේ ප්‍රදේශවල (මිනිසුන්) ජලය එක් රැස් කර තබා සිටින ස්ථානවල හෝ ජනතාව භාවිතා කර අත්හැරදමන ටයර් වැනි දේවල් තුළ එක්රැස්වන ජලය මත මදුරුවන් අභිජනනය සඳහා වඩ වඩාත් රඳා පැවතීමට පුරුදු වන්නට ඇතැයි රෝස් අදහස් කරයි. “මෙයින් හැඟවෙන්නේ, මේ ආකාරයේ වියළි කාලගුණයක් සහිත ප්‍රදේශවල ශීඝ්‍ර නාගරීකරණයක් සිදුවන්නේ නම් මනුෂ්‍යයන්ට දෂ්ට කරන මදුරු මාදිලිවල විශාල වර්ධනයක් ඇති කරන බවය”යි ජාතික මානව ජෙනෝම පර්යේෂණ ආයතනයේ ප්‍රවේණි විද්‍යාඥවරියක වන එලේන් ඔස්ට්‍රැන්ඩර් කියයි. ඩෙංගු සහ Aedes aegypti මදුරුවන් මාර්ගයෙන් සම්ප්‍රේෂණය වන රෝග පැතිරීම ගැන කනස්සල්ලට පත්වන ඇය කියා සිටින්නේ ‘එහෙම වෙන එක නම් මහ ව්‍යසනකාරී දෙයක්” යනුවෙනි.
AAAS Science (VOL 368 ISSUE 6492- 15th May, 2020) හී පළවී ඇති Growth of cities could boost mosquito-borne diseases යන ලිපිය ඇසුරෙනි