මිනිසුන් තරම් කාලයක් සුනඛයන් ජිවත් නොවන්නේ ඇයි?
සුනඛයන් යනු මිනිසුන් වන අප සේම ක්ෂීරපායි සතුන්. යම් අයෙකුට ජීවත්වීම සඳහා අවශ්‍ය හදවතක්, පෙණහලු සහ අනෙකුත් සියළුම දෑ ඔවුන් සතුව ද තිබෙනවා. අප සුරතලයට ඇති කරන සුනඛයන් අපට විශාල සතුටක් ගෙනදෙනවා වගේම අපට ඔවුන් අහිමි ගියවිට අසීමිතව දුකක් ද දැනෙනවා. ඒත්, ඉතින් ඔවුනට අප වගේ දිගු කලක් ජිවත්වන්නට නොහැකි වන්නේ ඇයි?
සාමාන්‍යයෙන්, සත්ත්ව දේහයේ ප්‍රමාණය මත ආයු කාලය තීරණයවේ
සතුන්ගේ ආයු කාලය බොහෝ දුරට ඔවුන්ගේ ශරීර ප්‍රමාණය හා සම්බන්ධ වන බව විද්‍යාඥයන් විසින් බොහෝ කලකට පෙර සොයාගනු ලබුවා. සාමාන්‍යයෙන් විශාල සතුන්, ශරීරයෙන් පුංචි සතුන්ට වඩා දිගු කාලයක් ජීවත් වෙනවා.
මෙලෙස විශාල සතුන්ට වැඩි කාලයක් ජිවත් වීමට හැකිවෙතැයි මිනිසුන් කල්පනා කිරීම සදහා ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන් සතු “පරිවෘත්තික සීඝ්‍රතාව හෙවත් පරිවෘත්තික අනුපාතයන්” (metabolic rate) ලෙස හැඳින්වෙන කාරණාවයි. (පරිවෘත්තීය (metabolism) කියන්නේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා සජීවීන් තුළ ඇතිවන රසායනික ක්‍රියාදාමයන්ය — පරිවර්තක) පරිවෘත්තික අනුපාතය හරියට නිකන් මෝටර් රථයක් කොපමණ පෙට්‍රල් භාවිතා කරනවද යන්නට සමානයි. මෝටර් රථයක්, ඊට යොදන පෙට්‍රල් ප්‍රමාණය සෙමින් පරිභෝජනය කරනවා නම් හෙවත් භාවිත කරනවා එම පෙට්‍රල් ප්‍රමාණයෙන්ම රථය වැඩි දුරක් ධාවනය කිරීමට හැකිවෙනවා. තරමක් දුරට මෙය පරිවෘත්තික වේගයන් අඩු සතුන්ගේ ක්‍රියාකාරිත්වයට සමානයි. කුඩා සතුන් හට සාමාන්‍යයෙන් තිබෙන්නේ අධික පරිවෘත්තික අනුපාතයන්. එහෙයින් එය, කෙටි ආයුකාලයකට මග පාදනවා. හරියට නිකන් ඉක්මනින්ම පෙට්‍රල් ‘ගිල දාන’ මොටර් රථයක් වගේ.
හැබයි ඉතින් ප්‍රශ්ණය වන්නේ මෙම ක්‍රමය සෑම සතෙකුහටම එකසේ ක්‍රියාත්මක නොවීමයි. සමහර ගිරවුන් විශේෂ හට අධික පරිවෘත්තියක් තිබුණේ ද අවුරුදු 80ක් පමණ ජිවත් වීමට හැකිවෙනවා ! පරිවෘත්තික ක්‍රියාව සහ හෘද වේගය එකිනෙක සමග සම්බන්ධයක් දක්වන අතර සහ සමහර ගිරවුන් හට මිනිත්තුවකට හෘද ස්පන්දන වාර ගණන 600ක් තරම් ඉහළයි.( මිනිස් අපගේ නම් හෘද ස්පන්දන වේගය, මිනිත්තුවකට 70ත් 100ත් අතර පමණ වෙනවා).
‘විශාල සතුන් වැඩි කාලයක් ජීවත් වන්නේය’ යන නීතියට අපේ සුනඛ මිත්‍රයන් අයත්වන්නේ නැහැ.සුනඛයන් යනූ මෙම නියමයට යටත් නොවන සතුන් අතරින් එක් සත්ව වර්ගයකි. සුනඛයන් මෙම නිතීයෙන් පිට පනින්නේ ඇයි?
කිලෝග්‍රෑම් හැත්තෑවක් බර ග්‍රේට් ඩේන් (Great Dane) විශේෂයට නම් අවුරුදු හතක් දක්වා කාලයක් ජීවත් වෙන්න පුළුවන් වුණොත් ඒක ඉතින් වාසනාවක් හැටියටයි සැලකෙන්නේ. එසේ නමුත්, (මැක්සිකෝ රටේ සම්භවයක් සහිත කුඩා බලු විශේෂයක් වන) කිලෝ හතරක් පමණ බර චිහ්වාවා (chihuahua) විශේෂයට නම් ආසන්න වශයෙන් අවුරුදු දහයක් හෝ ඊටත් වැඩි කාලයක් ජීවත්වීමට හැකියි. ඇත්තටම මෙය මෙලෙස සිදුවෙන්නේ ඇයිද යන්න විද්‍යාඥයන් පවා තවම දන්නේ නෑ. ඒත් ඉතින් අප සුරතලයට ඇතිකරන බලු පැටවා බොහෝ කාලයක් ජීවත් වෙන්න අවශ්‍ය යයි අප සිතනවා නම් අප තෝරා ගතයුත්තේ පුංචිම වර්ගයේ සුනඛයන්වේ. කලිනුත් කිව්වා වගේ පුංචි චිහ්වාවා බලු උන්නහැ කෙනෙකුට නම් අවුරුදු 10කට වඩා ජිවත් වන්නට පුළුවන්.
මේ කතාව පැවැත්මටත් අදාලයි
අද අප අතර සමහරු සිතන්නේ එය(ආයු කාලය) එක් එක් සත්වයා මුහුණ දෙන “පරිණාමිය පීඩනය” මත රඳා පවතින බවයි. පරිණාමීය පීඩනය යන්න ගතහොත් ඔබව ආහාර සඳහා මරා ගෙන් කන්න තැත්කරන අනෙකුත් සතුන් වැනි දේ ද ඇතුළත් වෙනවා. මොකද, ගප්පී මත්‍යයන් හෝ මීයන් වැනි කුඩා සතුන්ට වඩා අලි ඇතුන් හා තල්මසුන් වැනි විශාල සතුන් නිදැල්ලේ හැසිරෙන විට දී පහරදීමකට ලක්වීමට ඇති ඉඩකඩ අඩුය. (පරම්පරාවෙන් එහෙම වෙනකොට පරිණාමිය ක්‍රියාදාමය හේතු කොටගෙන ආයුකාලය ක්‍රමයෙන් දික්වෙනවා)
දිගු කාලයක් ජීවත්වීම සඳහා සුනඛයන්ට උදවු කළ යුතු ආකාරය ගැන අප දැන ගත යුතුයි
සුනඛයන්ගේ වයස සහ ඔවුන්ට දිගු කාලයක් දිවිගෙවීමට, අප උදව් කලයුතු ආකාරය පිලිබඳව බොහෝ පර්යේෂණ සිදු වෙමින් පවතිනවා. අප සුනඛයන් ට ආදරයකිරීම මෙයට එක් හේතුවක් වෙනවා. ඒවගේම, අප ඔවුන් ගැන ඉගෙනගැනීම තුලින් මනුෂ්‍යයන් වන අපට ද දිගු කාලයක් ආයු විඳීමට හැකි ආකාරයත් එමගින් හදුනාගැනීමට හැකිවන නිසයි. සන්ධි වේදනාවන් සහ තරබාරු වීම වැනි මිනිසුන් මහලු වියට පත්වන විට ලබන අසීරුතා සුනඛයන් හට ද අමිහිරි වේදනවන් ගෙන එනු ලබනවා.
සුනඛයන් වයස්ගත වීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබු පර්යේෂණ හරහා ඔබට මේ සම්බන්දව තොරතුරු සොයා ගත හැකියි. .එසේම විවිධාකාර සතුන් කොපමණ කාලයක් ජීවත් ව්න්නේ ද යන්න දක්වන තොරතුරු ලබාගන්න හොද වෙබ්-අඩවියක් පවා පවතිනවා. සුනඛයන්, අප දිවි ගෙවන කාලයක් තරම් ජීවත් නොවුණත් පසුගිය අවුරුදු 40 ඇතුළත ඔවුන්ගේ ජීව කාලය හෙවත් ආයු අපේක්ශාව(life expectancy) දෙගුණ වී ඇති බව විද්‍යාඥයන් සොයා ගෙන තිබෙනවා.
සමහරවිට අනාගතයේදී දවසක, සුනඛයින් අප වගේම කාලයක් ජීවත් වන්නට පුළුවන්. ජොආඕ පේද්රෝ ඩී මාගල්හාස් (Joao Pedro de Magalhaes) නම් විද්‍යාඥයා පවසා තිබෙන අන්දමට නම් ඉදිරි අවුරුදු දහසක කාලයක් ඇතුළත සුනඛයන්ට අවුරුදු 300 ක් තරම් ආයුෂ ලබාගත හැකියි! අභ්‍යාවකාශගත පළමු සුනඛයා වන ලයිකා (Laika) වගේ නො එන ගමන් සඳහා සුනඛයන් අභ්‍යාවකාශයට පිටත්කර හැරීම වෙනුවට විද්‍යාඥයන්ට අපෙ බලු හුරතලුන්ගේ ආයු කාලය දික් කරන්න කටයුතු යොදන්න පුළුවන් නම්, එය විද්‍යාවේ හොඳ භාවිතයක් වේවි කියල ඇතැමුන් සිතනවා.
Curious Kids(The conversation) හී Why don’t dogs live as long as humans?යන කොටස ඇසුරෙන් පරිවර්තන කර සකස් කළේ:
අරුණි වන්නිආරච්චි (Thathu Creators)