උග්‍ර කොවිඩ් 19 සඳහා හොඳම විකල්පය ශ්වාසක නොවන්නට පුළුවනි
කොරෝනා වෛරස ගෝලීය වසංගතය ආරම්භ වූ අවධියේ එක්සත් රාජධානිය යුහුසුලු වූයේ දැඩි සත්කාර ඒකක සඳහා වැඩි වැඩියෙන් ශ්වාසක( ventilators) ලබාගැනීමටය. එහෙත් දැන් ඇතැම් වෛද්‍යවරු, ආතුරයන් ශ්වාසකවලින් ඈත් කර තැබීමට වෙහෙසෙති. ඊට හේතුව කොවිඩ් 19 වැළඳුණු ඇතැම් අය ශ්වාසක හේතුවෙන් තවත් අසාධ්‍ය විය හැකි යැයි ඔවුන් කල්පනා කරන හෙයිනි. කෙසේ වෙතත්, මේ ගැන ඇගයීම් සිදු කරනු පිණිස පැවැත්වූ අධ්‍යයනවල ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නොමැත.
කොවිඩ් 19 වැළඳී හුස්ම ගැනීමේ අපහසුතා වලට මුහුණ පාන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමේදී ශ්වාසක භාවිතා කෙරේ. එහෙත් මෙම ක්‍රියාදාමය ආක්රාමිකවන(invasive) අතර ඇතැම්විට අසහනකාරී පවා විය හැකිය. වෛද්‍යවරුන් සතුව අනෙකුත්, ආක්රාමික භාවයෙන් අඩු විකල්ප තිබේ. මුහුණු ආවරණ මාර්ගයෙන් රෝගීන්ට ඔක්සිජන් ලබා දීම හෝ නාශික කැනුලා ද (එනම්, නාස් පුඩු දෙකට යාන්තමට ඇතුල් කරන නාල දෙකක් පමණක්වන) ඊට අයත්ය.
ICU ventilator
ශ්වාසක(ventilator) හෙවත් සංවාතක කියන්නේ කුමකටද?
ඔබට කොහොමටවත් හුස්ම ගැනීමට අපහසු වූ විටෙක හුස්ම ගැනීමට උදව් වෙන යන්ත්‍රයකි. ඔබේ දොස්තර නම් ඊට යාන්ත්‍රික ශ්වාසකයක් කියලා කියාවි.සාමාන්‍ය පුද්ගලයන් බොහෝ විට එය හඳුන්වන්නේ ශ්වසන යන්ත්‍රයක් කියලයි. නැත්නම් ආශ්වාසකයක් කියලයි.
තාක්ෂණිකව ගතහොත් ආශ්වාසකයක් කියන්නේ බෝවෙන රෝගයකින් පෙළෙන අයෙකුට සත්කාර කරද්දී සෞඛ්‍ය සේවකයන් පලඳින මුඛ ආවරණයකටයි. ඒත් ශ්වාසකයක් කියන්නේ රෝගියෙකුගේ ඇඳ අසල තබා ඔබගේ ස්වසන මාර්ගයට නළ මඟින් සම්බන්ධ කර හුස්ම ගැනීමට ආධාර කරන යන්ත්‍රයකි.
ශ්වාසකයක් අවශ්‍ය ඇයි?
ඔබේ පෙණහලු මගින් සාමාන්‍ය ආකාරයට වාතය ආශ්වාස සහ ප්‍රශ්වාස කරන විට එමගින් ඔබේ සෛල වලට අවශ්‍ය ඔක්සිජන් ඇතුලට ගැනෙන අතර කාබන් ඩයොක්සයිඩ් සහිත වායුව පිටතට යැවේ. කොවිඩ් 19 ඔබේ වාමං ප්‍රදාහයට පත් කරයි. එමඟින් අවශ්‍යයෙන්ම ඔබේ පෙණ්හලු තරලයෙන් යට කර දමයි. ශ්වාසකයක් ඔබේ සිරුරට ඔක්සිජන් පොම්ප කිරීමට උදව් වෙයි. වාතය ගලා යන්නේ ඔබගේ මුඛය හරහා ඔබගේ ශ්වාසනාලය දක්වා යැවුණු නාලයක් මාර්ගයෙන්ය. ඔබ වෙනුවෙන් හුස්ම ගැනීමට ශ්වාසකයට පුළුවන්. නැතිනම් ඔබටම එය කිරීමට හැකිවේ. ඔබ වෙනුවෙන් විනාඩියක් තුල කී සැරයක් හුස්ම ගත යුතුද යන්න තීරණය කර ඒ ආකාරයට ශ්වාසකය සකස් කළ හැකිය. ඔබට හුස්ම ගැනීමේදී උපකාරයක් අවශ්‍ය වන මොහොතේ ශ්වාසක යන්ත්‍රය ඉබේ පණගැන්වෙන ආකාරයට එය සැකසීමට ද වෛද්‍යවරයාට පුළුවන. කලින් නියම කෙරෙන කාල පරාසයක් තුල ඔබ හුස්ම ගෙන නොමැති නම් එවිට යන්ත්‍රය ඉබේටම ඔබේ පෙණහලු වලට සුළං පිඹියි.
යන්ත්‍රයේ හුස්ම ගෙන එන නල ඔබට අපහසුවක් ගෙන ඒමට ද බැරි නැත. ශ්වාසකයක පිහිට පතන පුද්ගලයකුට සාමාන්‍ය ආකාරයකට ආහාර ලබාදීමට නොහැකි වන්නට පුළුවන. එසේ වුවහොත් පෝෂක සැපයෙන්නේ ශිරා මාර්ගයෙනි.
කොපමන කාලයකට ශ්වාසකය අවශ්‍ය වන්නේද?
කොවිඩ් 19 හෝ ඔබට හුස්ම ගැනීමේ ගැටලුවක් ගෙන එන වෙනත් රෝගයක් හෝ සුව කිරීමට ශ්වාසකයකට නොහැකිය. ඔබ සුවපත් වී ඔබේ පෙණහලුවලට ඒවායේ කටයුතු වූ තනිව කරගත හැකිවන තුරු ඔබගේ පැවතීමට ඒවා ඔබට උපකාරී වේ. ඔබට සාමාන්‍ය අන්දමට හුස්ම ගැනීමට හැකි අවස්ථාව ආ විට ශ්වසකය ඉවත් කිරීමට වෛද්‍යවරුන් තීරණය කරනු ඇත.
What Does a Ventilator Do? — WebMD
කොවිඩ් 19 උග්‍ර ලෙස ආසාදනය වන රෝගීන්ට වෙන්ටිලේටරයක හෙවත් ශ්වාසකයක පිහිට පැතීමට අවශ්‍ය වේ. මේ සඳහා සාමාන්‍යයෙන් රෝගියා සිහිසුන් කර ඒ අයගේ උගුර දක්වා නාළයක් ඇතුළත් කරනු ලැබේ. එහෙත් මෙය අවදානම්කාරී විය හැකිය. එමෙන්ම යළි සුවය ලැබීමේ කාලය සති ගණනක් හෝ මාස ගණනක් පවා වීමට පුළුවන. එවිට බොහෝ කාලයක් එය භාවිත කළ යුතුවේ.
මහා වසංගතයේ මුල්ම කාලයේදී කොවිඩ් 19 වැළඳී ශ්වසන අපහසුතා වලට මුහුණ දීමට සිදුවන රෝගීන් ක්ෂණිකව ශ්වාසක වෙත යොමු කෙරිණ. මුහුණු ආවරණ සහ නාශික කැනුලා ලබාදුන් කොවිඩ් 19 රෝගීන්ගේ තත්ත්වය නරක අතට හැරී ඔවුන්ව අවසානයේ දී කොහොමටත් ශ්වාසක වෙතම යොමු කිරීමට සිදුවන බවට චීනයෙන් ලැබුණු උපාඛ්යානාත්මක වාර්තා මෙයට අර්ධ වශයෙන් හේතු වූයේ යයි ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජියෙන් ස්ටීවන් බ්‍රෙට් පවසයි. කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් කොවිඩ් 19 ගැන වඩ වඩාත් අත්දැකීම් එකතු වෙද්දී සමහර වෛද්‍යවරු දැන් තර්ක කරන්නේ කොවිඩ් 19 රෝගීන් ඉක්මනින්ම ශ්වාසක වෙතට යොමු නොකළ යුතු බවයි. මේ අදහසට දායක වන එක් සාධකයක් වන්නේ ශ්වාසක වෙත යොමු කෙරුණු කොවිඩ් 19 රෝගීන් අතරේ මරණ අනුපාතය ඉහළ මට්ටමක පැවතීමයි.
“සමහර පුද්ගලයන්ට ආක්රාමික නොවන ආකාරයට සහාය වීමට හැකි වෙතැයි මතයක් ඇතැම් විද්‍යාඥයන් අතර පවතී”
එක්සත් රාජධානිය තුළ මෙම අනුපාතය සියයට 50ට වැඩිය. ඉතාලියෙන් සහ නිව්යෝර්ක් ජනපදයෙන් වාර්තා වූ සාර්ථකත්ව අනුපාත ද ඉතාම පහළ මට්ටමක පවතින්නේ යැයි චිකාගෝ වෛද්‍ය විද්‍යාලයේ දැඩිසත්කාර ප්‍රධානී මයිකල් ඕ’කොනර් කියා සිටියි. ඔහු ප්‍රතිකාර ලබාදුන් රෝගීන්ගේ තත්ත්වයන් මත පදනම්ව ඕ’කොනර් විශ්වාස කරන්නේ ශ්වාසකවල ඇති අධික වාත පීඩනය (රෝගීන්ගේ) පෙණහලු හානිය තවත් නරක අතට හරවනවා විය හැකි බවයි.
මුව ආවරණ සහ කැනුලා මගින් ආසාදනය තවත් පැතිරෙන්නේය යනුවෙන් පැවති මතයෙහි වලංගුතාව ද හීනවෙමින් පවතී. ඒවා, ශ්වාසකවලට වඩා වැඩි ප්‍රමාණයක් වෛරස වාතයට එක් කරන්නේ යයි විශ්වාස කෙරිණ.
“ජනතාව දැන් කල්පනා කෙරෙන්නේ සරස්ආසාදන අවදානම පාලනය කරගත හැකියි යනුවෙන්” යයි බ්‍රෙට් අලගු තබමින් කියා සිටියි, “ආක්රාමිකව සහාය ලබාදිය හැකි කණ්ඩායම් ද ජනතාව අතර ඉන්නවා කියලා ඇතැමුන් අතර විශ්වාසයක් තියෙනවා. ඒත් එක්කම ඔය මතය ගැන තවදුරටත් සැක සංකා මතු කරන ආයතනත් තියෙනවා”.
මේ ප්‍රවේශ අතුරින් මෙතෙක් වඩාත් උපයෝගී කරගෙන ඇත්තේ කුමන ප්‍රවේශය ද යන්න ගැන දත්ත හා සංඛ්‍යා ලේඛන නොමැත. එසේ වුවත් වර්තමානයේ සිදු කරමින් පවතින පරීක්ෂාවන් මෙම ගැටලුවලට පිළිතුරු සැපයීමට සමත් වෙතැයි යනුවෙන් කාඩිෆ්හී වේල්ස් විශ්ව විද්‍යාල රෝහලේ මැට් මෝගන් කියා සිටී.
“අප (ශ්වාසක) භාවිතයට ගත යුත්තේ අන්තිම මොහොත දක්වා බලා සිට රෝගියාට තව දුරටත් හුස්ම ගන්න බැරි වෙන මොහොතේ දී ද? එහෙම නැතිනම් කලින්ම මැදිහත් විය යුතුද? ඒ විදිහට කල්පනා කරනවා විනා හිටිඅඩියේ හිතට යමක් දැනුම විගස එහෙම යමක් කරන්න පෙළඹෙන්නේ නැහැ නේ.? පරීක්ෂාවන්ගේ ප්‍රතිඵල අපට ලැබෙන තුරු කළ යුතු හොඳම දෙය කුමක්ද යන්න ගැන අපට අවබෝධයක් නැහැ” මෝගන් වැඩිදුරටත් පැහැදිලි කරයි.
මේ වසරේ මුල් කාලයේ ඕනෑකමින් සැලකිල්ල යොමු වුණු කාරණාවක් වූයේ එක්සත් ජනපදය තවත් ශ්වාසක ලබාගත යුත්තේ කොයිබින්ද යන්න කෙරෙහිය. එක්සත් රාජධානියෙහි සෑම පුද්ගලයන් ලක්ෂණයකට දැඩිසත්කාර ඇඳන් හතක් පමණ ඇත. මෙය සංසන්දනාත්මකව ඉතාලියේ ශ ප්‍රංශයේ ඇඳන් 12ක් වන අතර ජර්මනියේ 30කි.
එක්සත් රාජධානියේ රජය Dyson යන සමාගමෙන් ශ්වාසක යන්ත්‍ර 10,000ක් සැපයීම සඳහා තාවකාලික පදනමක් මත ඇනවුම් භාර දුන්නේය. එහෙත් මේ අදහස දැන් අත්හැර දමා ඇත්තේ ආරම්භයේ දී ඕනෑ වෙතැයි පුරෝකතනය කලාට වඩා වෙන්ටිලේටර් සඳහා ඉල්ලුම අඩුවීම නිසාවෙනි. හදිසි නොවන ශල්‍යකර්ම අවලංගු කිරීමට පියවර ගැනීමෙන්, ඇතැම් අතිරේක ශ්වාසක යන්ත්‍ර පිටරටින් මිලදී ගැනීමෙන් සහ ශල්‍යාගාර වල ඇති ශ්වාසක භාවිතයට ගැනීමෙන් එක්සත් රාජධානියේ රෝහල් සිය දැඩි සත්කාර ඒකක ධාරිතාව ඉහළ දමා ගත්තේය.
සමහරක් නිෂ්පාදකයන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇති නව වඩාත් සරල ශ්වාසක මාදිලි අඩු ආදායම්ලාභී රටවලට ප්‍රයෝජනවත් විය හැකි බව බ්‍රෙට් පෙන්වා දෙයි. “ (මේ අවස්ථාවේ) බෙහෙවින් ප්‍රයෝජනවත් ඉංජිනේරු විද්‍යාත්මක කාර්යයන් සමහරක් පෙරමුණට ඇවිත් තිබෙනවා” බ්‍රෙට් වැඩිදුරටත් පවසයි.
New Scientist (6 June 2020) හී පළවන Ventilators may not be best for severe covid-19 යන ලිපිය ඇසුරෙනි.