බල්ලන්ට කෙතෙක් දුරට ඉව තිබෙනවාද? කෙතෙක් දුරට ඇහෙනවද?
මිනිසුන් තරම් කාලයක් සුනඛයන් ජිවත් නොවන්නේ ඇයි? කියන කාරණාව ගැන අපි පසුගිය අඟහරුවාදා කතාකරා. අදත් අපි සුනඛයන් ගැනම කතා කරමු. ඒත් අද කතා කරන්න යන්නේ ඔවුන් සතු සුවිශේෂී හැකියාවන් දෙකක් ගැනයි.
මිනිසුන් වන අපි, අප අවට ලෝකය ගැන දැන කියා ගන්නේ, දැන උගෙන ගන්නේ අපේ ඉන්ද්‍රියන් යොදා ගනිමිනුයි. එහෙත් ගඳ සුවඳ දැනීමට සහ කන් ඇසීමට සම්බන්ධව සුනඛයන් සතුව ඇති ඉන්ද්‍රියන් මාර්ගයෙන් ඔවුන් අත්විඳින්නේ අපට වඩා වෙනස් වුණු ලෝකයකි. සුනඛයන්ට, මිනිස් අපට වඩා බොහෝමයක් ආඝ්‍රාණ ප්‍රතිග්‍රාහක(smell receptors) තිබෙනවා. ආඝ්‍රාණ ප්‍රතිග්‍රාහකයක් කියන්නේ එක් එක් සුවිශේෂී ආඝ්‍රාන අංශු හඳුනා ගන්නා වූ නාසය ඇති කොටසක්. ඒ විතරක් නොවෙයි. සුනඛයන්ගේ නාසයේ පෘෂ්ඨ වර්ගඵලය බෙහෙවින් වැඩි අතර නාසය හරහා වාතය එහාමෙහා යාමේදී අපට වඩා හැකියාවන් දක්වනවා. ඔබට අවස්ථාවක් තිබෙනවා නම් සුනඛයෙකු ඉව කරනවා හොදින් නිරීක්ෂණය කරන්න. එවිට ඔබට මේ කාරණාවක් පැහැදිලි කරගත හැකියි. ඉතින් ඔවුන්ගේ නාසය හරහා වාතය වැඩියෙන් ගමන් කරනවා නම් ඒ කියන්නේ ගඳ සුවඳ දැන ගැනීමට ඔවුන්ට වැඩියෙන් අවස්ථාව හිමි වෙනවා කියන එකයි.
කෙතෙක් නම් දුරට ඔවුනට ඉව ඇත්ද කියන එක නම් සුළඟ, ගඳ-සුවඳ වර්ගය යනාදී වශයෙන් කරුණු ගණනාවක් මත රඳා පවතිනවා. ප්‍රශස්ථ තත්ත්වයන් යටතේ සුනඛයින් කිලෝමීටර් විස්සක් තරම් දුරක වස්තු හෝ පුද්ගලයන් ඉව කර හඳුනාගැනීමට හැකි බවට වාර්තා වී තිබෙනවා. ගඳ සුවඳ දැන ගැනීමේ මේ ආකාරයේ දස්කම් දැක්විය හැක්කේ සුනඛයන්ට පමණක් නො වන බව ඔබ දැන නොසිටියා විය හැකියි. සුනඛයන් අයත් වන්නේ Carnivora(මාංශ භක්ෂක) යන විද්‍යාත්මක කුලයටයි. මෙයටම බිළාලයන්, වලසුන් ද, උරුලෑවන් ද අයත් වෙනවා. ඔවුන්ටත් විශ්මයජනක ආඝ්‍රාහණ හැකියාවක් තිබෙනවා. මේ කුලයේ සතුන් අතරින් ඉහළම ඉවක් ඇත්තේ වලසුන්ට ය. සීල් මසුන් දඩයම් කිරීමට හුරුපුරුදුව සිටින සුදු වලසුන්ට කිලෝ මීටර් තිහකට වඩා ඈතින් සිටින මසුන් ඉව කළ හැකියි.
පරීක්ෂක සුනඛයන්
අල්ලපු කාමරයේ ඉන්නේ කවුද කියල හුදෙක් ගඳ සුවඳ බැලිමෙන් පමණකින්ම ඔබට කියන්න පුළුවන් නම් කොයි තරම් අපූරුද? අම්මා පැන්ට්‍රියේ චොක්ලට් බිස්කට් හංගලා තියෙන්නෙ කොයි ටින් එකේද කියල ඉවෙන් කියන්න පුළුවන් නම්? සුන්ඛයන් නම් ඕවාට දක්ෂයි. එලෙස සුනඛයන්ට ඇති සුවිශේෂී ආඝ්‍රාණ ශක්තිය හේතුවෙන්, ඕනෑම සත්ව විශේෂයකට පැවරෙන වඩාත්ම අපූරු වැඩ කොටස් අපෙ ඇතැම් සුනඛ මිත්‍රයන්ට පැවරෙනවා. ඒ තමයි පරීක්ෂක සුනඛයන්.
මේ පරීක්ෂක සුනඛයන් අතුරුදන් වූ පුද්ගලයන් සොයා ගැනීමට සහායවීම, මත්ද්‍රව්‍ය හා බෝම්බ වැනි අන්තරාකාරි ද්‍රව්‍ය සොයා ගැනීම, ගුවන්තොටුපල වලදී හොරෙන් ගෙන එන දෑ මෙන්ම වන සතුන් සොයා යාමත් ආදී කටයුතු සඳහා යොදා ගනු ලබනවා. ඔවුන් මේ සියල්ල සිදුකරන්නේ හුදෙක් ඔවුන්ගේ නාසය පාවිච්චි කිරීමෙන්. මේ නිසා තමයි ඔවුන් ඉව ඇල්ලීමේට ලොව සිටින ජගතුන් බවට පත්වන්නේ. තවද, සුරතලයට ඇති කරන සුනඛයන් පවා ඉව කරමින් කරන ක්‍රීඩාවලට කැමැත්තක් දක්වනවා. ඒත් ඉතින් මේසා විස්මයජනක හැකියාවක් තියෙන සුනඛයන් ජුගුප්සාජනක දේවල් සොයා ඉව අල්ලන්නේ — ඔව් වෙනත් සුන්ඛයන්ගේ පස්ස පැත්තට නාසය ළංකරමින් ඉව අල්ලන්නේ මන්දැයි කෙනෙකුට විමතියක් ඇති වෙන්න පුළුවන්. ඒත් ඉතින් ඒ කාරණාව වෙනත් දවසක වෙනමම කතා කරන්න ඕනෑ දෙයක්. දැනට අපි සුනඛයන්ගේ ඉව කිරීමේ හැකියාව, ඔවුන්ගේ කන් ඇසෙන මානය ගැන අවධානය යොමු කරමු.
එන්නේ දෝ පාවී ඒ නාදේ
සුනඛයන්ට ඇසෙන්නෙ මොනවාද? ඒ කොපමණ දුරකින් එන ශබ්ද ද? ගැන දැනගන්න නම් ප්‍රථමයෙන් අපි බල්ලන් සහ (අපත් ඇතුළු) අනෙකුත් සියලුම සතුන්ට ඇසෙන්නෙ මොනවාද කියා සොයා බැලිය යුතුයි: එනම් ශබ්ද සංඛ්‍යාත ගැන. ශබ්ද තරංග වශයෙන් පවතින බව අපි දන්නවා නේ. ශබ්ද සංඛ්‍යාත කියන්නේ ශබ්ද තරංග කොපමණ ආසන්නයේ පිහිටා ඇත්ද යන්නයි. තරංග ආසන්න වෙන්න වෙන්න සංඛ්‍යාතය හෝ අන්තරාලය ඉහළ යයි. 20Hz තරම් (හර්ට්ස් 20 තරම්) පහළ සංඛ්‍යාත වල දී සුනඛයන්ට මෙන්ම මනුෂ්‍යයන්ට ද එක සමානව වාගේ ඇසෙයි. සංඛ්‍යාත ඉහළ යත්ම මෙය වෙනස් වෙයි. අපට ඇසෙන්නේ හර්ට්ස් 20 සිට කිලෝ හර්ට්ස් 20 දක්වා වුවත් සුනඛයන්ට හර්ට්ස් 70 සිට කිලෝහර්ට්ස් 100(70-100kHz) පමණ දක්වා ඇසේ. මිනිසුන් හා සසඳන විට සුනඛයන්ට අඩුම තරමින් තුන් ගුණයකින් වත් ඉහළ සංඛ්‍යාත වල ශබ්ද ශ්‍රවණය කළ හැකියි. සුනඛයන්ට පමණක් ඇසෙන අපට නොඇසෙන නලා ක්‍රියා කරන්නේ කොහොමද? යනුවෙන් කෙනෙකුට විමතියක් ඇති වෙන්න පුළුවන් තමයි. ඒකට හේතුව එම නලාවලින් පිට වෙන්නේ බල්ලන්ට ඇසෙන ඒත් අපට නෑසෙන සංඛ්‍යාත වල ශබ්ද වීමයි. මේ අනුව ඔවුනට අපට වඩා ශබ්ද ඇහෙනවා. ඔව් අපට නෑසෙන තරමට මෘදු හෝ එහෙම නැතිනම් දුර ඈතක(ඒ කියන්නේ කිලෝ මීටරයක පමණ දුරක වුණත්) ශබ්ද බල්ලන්ට ඇසෙනවා. ඒ වගේම සුනඛයන්, සැර(මහ හඬ) ශබ්ද වලට වඩාත් සංවේදීයි. රතිඤ්ඤා හඬ නැතිනම් අකුණු හඬට බල්ලන් බියක් දක්වන්නේ ඒ නිසයි. තවද අපට නොඇසෙන ශබ්ද වලට බිය වී බුරන්නේ ද ඒ නිසයි.
අසනු මැන කන්යොමා
සුනඛයන්ට හොඳින් ඇසීමට මුල් වන කාරණාව ලෙස ඔවුන්ගේ කර්ණ පේශි දක්වන්න පුළුවනි. සුනඛයන්ට (එක කනකට අනෙක් කන සම්බන්ධයක් නොමැතිව තනි තනිව නැතිනම් වෙන් වෙන්ව) සිය කන් පැත්තකට හැර වීමට, එසවීමට හෝ වටේට කරකැවීමට උපකාරී වන පේෂී ගණනාවක්ම තියෙනවා. එනිසා ශබ්දය හටගන්නේ කොයිබින්ද සොයා ගැනීමට එය සුනඛයන්ට උදව් වෙනවා. සමහර ශබ්ද වලට හිස ඔසවා ඔවුන් බලන්නේ මේ නිසාවෙන් කියලා හිතන්න පුළුවනි. අපරාධකරුවන් සෙවීමට සුනඛයන් යොදා ගැනීමට පුරුදුව සිටින පොලිස් නිලධාරීන් පෙන්වා දෙන අන්දමට (සුනඛයා) කෙනෙකු සොයා ගත් බවට පළවන ප්‍රථම සංඥාව වන්නේ සුනඛයාගේ කන් නිශ්චිත තැනකට යොමු කර හෙවත් නාභිගත කර තිබීමයි.
සුනඛයන් සතු මේ විශිෂ්ට ශ්‍රවන හැකියාව යොදා ගන්නා තවත් සුනඛ කණ්ඩායමක් තමයි උපකාරක සුනඛයන්. අන්ධ හෝ බිහිරි වැනි තම එදිනෙදා කටයුතු වලදී සහයක් අවශ්‍ය වන පුද්ගලයන්හට උපකාර කරන මෙම සුනඛයන්ට ඊට ආධාර වෙන්නේ මෙම සුවිශේෂී ශ්‍රවණ හැකියාවයි.
සතුන්ගේ විවිධ සංවේදන ගැන කල්පනා කිරීම ඔවුන් ගැන හැදෑරීමට ඇති හොඳම ක්‍රමයක්. ඔවුන්ගේ සංවේදන කෙබඳු ද? ලෝකය පිළිබඳව අපට වඩා වෙනස් ආකාරයකට සිතීමට ඔවුනට එම සංවේදන උපකාරී වන්නේ කෙසේද? යන්න තේරුම් ගන්නට ලොකු කුඩා අප ගන්නා වෑයමේ දී මෙම ලිපියේ අඩංගු කරුණුත් පිටුවහලක් වේවි.
Curious Kids(The conversation) හී Curious kids: How far away can dogs smell and hear? යන කොටස ඇසුරෙන් පරිවර්තන කර සැකසිණ