සුරතල් සතුන් ඇති කරන අය කොවිඩ් – 19න් මියයාමේ අවදානම අඩු ද?
කොවිඩ් – 19 කියන්නේ කොරෝනා වෛරසයේ සාපේක්ෂ නව මාදිලියක් හේතුවෙන් හටගන්නා රෝගයක් නිසා ඒ ගැන පර්යේෂණ නැතිනම් අධ්‍යයන වාර්තා තවමත් අඩුයි. විශේෂයෙන්ම වෛරසය වැළඳීමෙන් සුරතල් සතුන් සහිත පුද්ගලයන් මිය යාමට ඇති අවස්ථා අඩු ද? වැඩි ද? යන්න ගැන වාර්තා පලවී නැති තරම්.
කෙසේ වෙතත් සත්වයන් සහ මනුෂ්‍යයන් අතර අන්තර් සම්බන්ධතා ගැන අධ්‍යයනයේ යෙදෙන ඇතැම් විශේෂඥයන්ට අනුව එවැනි අන්තර් සබඳතා ගැන ඇති පර්යේෂණ රාශියකින් කියවෙන්නේ සුරලයට සතුන් ඇති කරන අය සාමාන්‍යයෙන් වඩාත් සෞඛ්‍ය සම්පන්න වන බවයි; එලෙසම සහචර සතුන් නොමැති අය හා සැසඳීමේ දී සුරතලයට සතුන් ඇති කරන අයට වැළඳෙන රෝගාබාධවලින් ඔවුන් වඩාත් ඉක්මණින් සුවපත් වෙන බවයි. විශේෂයෙන්ම බරපතළ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන එවැනි අයගේ තත්ත්වය, සුරතල් සතුන් නොමැති අයට වඩා සීඝ්‍රයෙන් යළි යහපත් අතට හැරෙන බව පර්යේෂණ පෙන්නුම් කරනවා.
සුරතල් සතුන් පිළිබඳ කෙටි ඉතිහාසයක්
සුරතලයට සතුන් ඇතිකිරීම එහෙම නැතිනම් සහචර සතුන් තබාගැනීමේ ඉතිහාසය මෙයට වසර පන්දහසකට ට පමණ පෙර ඊජිප්තු සංස්කෘතියේ මුල් කාලය දක්වා දිව යනවා. වෙනත් අධ්‍යනයකින් සොයාගනු ලැබ ඇත්තේ මෙයට වසර 16,0000 පෙර පවා බෙල්ජියමෙන් සහචර සුනඛයන් පිළිබඳ සාක්ෂි ලැබෙන බවයි. අද මුළු ලොවම පුරාම වාගේ නිවෙස්වල සුරතල් සතුන් දැකිය හැකියි.
මේ අතරින් ලොව පුරා වඩාත්ම ජනප්‍රිය සුරතලා සුනඛයන් හෙවත් බල්ලන් ය. එහෙත් ඒ පිළිබඳ නිශ්චිත සංඛ්‍යා ලේඛන සොයාගන්න අසීරුයි. ඇමරිකා එක්සත් ජනපදය ගතහොත් එරට කුටුම්භ නැතිනම් නිවාස අතරින් 38% ක අඩුම තරමින් සුරතලයට ඇති කරන එක බල්ලෙක් හරි ඉන්නවා. ඒ වගේම නිවාස සියයට 25කට වැඩියෙන් අඩු තරමින් එක බළලෙක් හරි ඉන්නවා. සුරතලයට සතුන් ඇති කිරීම වඩාත් ප්‍රචලිත රටක් තමයි නවසීලන්තය. එහි නිවාස අතරින් සියයට හැට අටක සුරතල් සතුන් ඉන්නවා.
මහා වසංගතයක දරුණු බව සුරතල් සතුන් හේතුවෙන් අඩු වෙයි
අපට සමාජයීය වශයෙන් වගේම කායික වශයෙන් ක්‍රියාශීලී වීමට අපේ ‘ටොමිය’යි, අපේ ‘කිටිය’යි උදව් වෙනවා. ඉන්ෆ්ලුවෙන්සා වගේ වෛරස රෝගයක් වැලඳුණු විට පූර්ණ සුවය ලැබීමේ වැඩි අවස්ථාවක් (රෝගය වැළඳීමට කලින්) සෞඛ්‍ය සම්පන්නව සිටි අයට තියෙනවා. කොරෝනා වෛරසයකින් ආසාදනය වීමට ද, ඒ වගේම ආසාදනය වූ විට සංකූලතා ඇති වීමේ වැඩි අවදානමක් ද ඇත්තේ හෘදයාබාධ හෝ අධික රුධිර පීඩනය වගේ රෝග ඇති අයටයි. ඉතින් සුරතල් සතකු සමඟ ඇවිදීමට යාම නිවසේ ඇති කරන බළලා සුරතල් කිරීම එහෙමත් නැතිනම් සහචර සතෙකු රැක බලා ගැනීම සහ ඔවුන් වෙනුවෙන් දිනපතා සිදුකරන කටයුතු ආදී ක්‍රියා සෞඛ්‍ය සම්පන්න හුරුපුරුදු වැඩි කිරීමට උපකාරී වන හෙයින් බරපතල රෝගයකින් සුවය ලැබීමේ හැකියාව ඉහළ යනවා.
කොවිඩ් 19 මහා වසංගතය සමයේ මහජනතාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ ප්‍රතිපත්තියක් වන්නේ සමාජයීය වශයෙන් හුදකලා වීම නැතහොත් ‘නිවසට වී කාලය ගත කරනු’ යන නිර්දේශයයි. මෙම ප්‍රතිපත්ති නැතිනම් පියවරවල් බහුතරයක අරමුණ වන්නේ පුද්ගලයන්, සමාජයේ අනෙක් අය සමග සම්බන්ධ වීම අඩු කිරීම දිරිමත් කිරීමයි. මෙලෙස නිවස තුළ රැඳී සිටීමට නිර්දේශ ලැබී තිබූ අය සුනඛයන් සමග ඇවිදීමට යාම, සුරතලුන් නැහැවීම පිරිසිදු කිරීම කැවීම් පෙවීම් කිරීම ආදී වශයෙන් ඔවුන් වෙනුවෙන් ඇඟ වෙහෙසා කටයුතු කිරීම වගේ ම පොදුවේ ගත්කල ගෙදර සුරතලයට ඇති කරන සතුන් සමග වඩාත් සමීප හා ප්‍රබල බැඳීමක් වර්ධනය කර පවත්වාගෙන යාම නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන අවදානම් ග්‍රාහී පිරිසට පිහිටක් වී තිබෙනවා. ගෝලීය වසංගතය හමුවේ පුද්ගලයන් අතර පීඩනය(stress), කාංසාව(anxiety), හා විෂාදය(depression) අඩු කිරීමටද මේ සම්බන්ධතා උපකාරී වෙනවා.
ඉතින් සුරතල් සතෙකු නිවස තුල සිටීම පුද්ගලයන් වඩාත් සෞඛ්‍ය සම්පන්න කිරීමට ඉවහල්වෙනවා; වඩාත් සෞඛ්‍ය සම්පන්නවී සිටීම යළිත් සුවය ලැබීමට උපකාරී වෙනවා. රෝගයක් තිබුණත් නැතත් ගෙවී යන අසීරු කාලය, පීඩනය අඩු කරගනිමින් ගෙවා දැමීමට ගෙදර සිටින සුරතල් සතුන්ගෙන් ලැබෙන පිටිවහල අපට අමතක කරන්න පුළුවන් ද?
Curious Kids(The conversation) හී පළවන යන ලිපිය ඇසුරෙනි