සැමට විදු නැන නුවණ – Science Literacy for All

එළු කිරිවලින් අඩු වියදම් පිළිකා ඖෂධයක්

එළු කිරිවලින් අඩු වියදම් පිළිකා ඖෂධයක්

එළුවන් නිපදවන කිරෙන් සුලබ පිළිකා ඖෂධයක් නිපදවීමට හැකි වන පරිදි එම සතුන් ප්‍රවේණි විද්‍යාත්මකව වෙනස් කිරීමෙන් (එම) ඖෂධයේ මිල බෙහෙවින් පහත හෙලීමට හැකිවෙතැයි පර්යේෂක කණ්ඩායමක් කියා සිටී. මෙම පර්යේෂක කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ නවසීලන්තයේ AgResearch නම් රජයට අයත් කෘෂිකර්ම පර්යේෂණ ආයතනයෙහි ගොඑට්ස් ලයිබෙල් විසිනි. බඩවැල පිළිකාවට (bowel cancer) ලබාදෙන cetuximab නම් ඖෂධය අඩු මිලකට එමෙන්ම විශාල ප්‍රමාණයෙන් නිපදවීමට හැකි දැයි දැනගැනීමට පර්යේෂක කණ්ඩායමට අවශ්‍ය විය. ඒ, ප්‍රවේණි විද්‍යාත්මකව විකරණය හෙවත් වෙනස් කළ එළුවන් ලවා ඔවුන්ගේ කිරි තුළ මේ ප්‍රෝටීනය නිපදවීමට හැකි දැයි සොයා බැලීමෙනි.

මේ ඖෂධය අලෙවි කෙරෙන්නේ Erbitux යන නාමය යටතේ ය. එය නුමුහුන් ප්‍රතිදේහය(monoclonal antibody) ලෙස හදුන්වනු ලබන සංකීර්ණ ප්‍රෝටීනයක් වන අතර (එය) සෑදීම සඳහා නිෂ්පාදන වියදම් ලෙස අධික මුදලක් වැය වේ. එක්සත් රාජධානියේ සිටින රෝගියකුට මේ ඖෂධය සඳහා මසකට පවුම් 3000ක් (ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් හත් ලක්ෂයක් පමණ) වැය වේ. ඖෂධය නිපදවීමේ දී නිෂ්පාදකයාට සහ එම හේතුව නිසාම මිලට ගැනීමේ දී  පාරිභෝගිකයාට අධික මිලක් ගෙවීමට සිදුවීම  පර්යේෂණය මෙහෙය වූ එක් සාධකයක් විය.

පර්යේෂකයන් ප්‍රථමයෙන් සිදු කළේ එළු කලලයන් තුළට ජාන ඇතුළත් කිරීමයි. ස්තන ග්‍රන්ථි තුළ cetuximab  නිපදවිය යුතු අන්දම පිළිබඳ උපදෙස් එම ජානවල අඩංගු විය. ඉන් අනතුරුව එළිච්චියන් මෙම කලල මගින් නිෂේචනය කරනු(ගැබ් ගන්වනු) ලැබීය.  ‍ප්‍රවේණි විද්‍යාත්මකව වෙනස් කරන ලද ඔවුන්ගේ ජනිතයන්(එනම්,  එළු පැටව්) මාස පහකට පසුව උපත ලැබූහ. ඒ ජනිතයන් සියල්ල ගැහැණු සතුන් වූ අතර ඔවුන් සියලු දෙනා ක්ෂීරණය හෙවත් කිරි එරීම ආරම්භ වූ පසුව ඔවුන්ගේ කිරී සෑම ලීටරයකට ම පිළිකාවට දෙනු ලබන cetuximab ඖෂධය  ග්‍රෑම් දහයක් පමණ නිපදවීමට හැකි වේ.  සෑම වසරක් පාසාම එලුවන් කිරි ලීටර් 800ක් පමණ නිපදවන හෙයින් මේ එක් එක් එලිච්චියකට වසරකට cetuximab කිලෝ ග්‍රෑම් කිහිපයක්ම නිෂ්පාදනය කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කළ හැක.

ජාන විකරණය කළ එළුවන්ගේ සෑම  කිරි ලීටරයකින්මපිළිකාවට දෙනු ලබන ඖෂධ ග්‍රෑම් දහයක් පමණ නිපදවීමට හැකි වේ

genetically modified goats

ප්‍රවේණි විද්‍යාත්මකව සිදු කළ වෙනස එළුවන්ගේ සෞඛ්‍යය කෙරෙහි බලපෑමක් ඇති කළ බවක් පෙනෙන්නට නැතැයි  ලයිබෙල් සඳහන් කරයි. වසරකට මේ තරම් ප්‍රමාණයක් cetuximab  නිපදවීම ඇත්තටම “අතිවිශිෂ්ට කාර්යක්ෂමතාවක්” ලෙස හැඳින්විය හැකියැයි ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයෙහි ස්ටීවන් මහ්ලර් පෙන්වා දෙයි. කෙසේ වෙතත් එළුවන්ගේ කිරි වලින් ලබා ගන්නා ඖෂධයන්හි, සාමාන්‍ය ඖෂධයක ප්‍රමිතිය මෙන්ම පිරිසිදු භාවය සහතික කිරීම වැදගත් බවයි ඔහු අවධාරණය කරන්නේ.

cetuximab   මූලික වශයෙන් බඩවැල පිළිකාවට  ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා අතර පෙණහලු සහ අනෙකුත් පිළිකා සඳහා ද භාවිත කරනු ලැබේ. මේ ඖෂධය තනිකරම පරීක්ෂණාගාරයන්හී නිෂ්පාදනය වන්නක්  වෙන අතර ඖෂධ සමාගම් ඒවා නිපදවීම පිණිස මීයන්ගේ සෛල භාවිතයට ගන්නා සංකීර්ණ ජීව විද්‍යාත්මක ක්‍රියාදාමයක් උපයෝගී කර ගනී. මෙවැනි සංකීර්ණ ක්‍රියාදාමයක් අනුගමනය කිරීම යනු  වෙලාව ගත වන වියදම් අධික කටයුත්තකි. එළුවන්ගේ කිරි ප්‍රයෝජනයට ගනිමින් මේ ඖෂධය නිපදවීම වියදම අඩු කිරීමට ඉවහල්වෙනවා පමණක් නොව ජාන වෙනස්කිරීමෙන් වෙනත් ඖෂධ නිපදවීමේ අනෙකුත් ප්‍රයත්නයන් දිරි ගැන්වීමට ද ඉවහල්වේ.

 

New Scientist(20th June, 2020) හී පළව ඇති  Goat milk could make cheaper cancer drugs යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: