මද්‍යසාරය පානයෙන් විසබීජ මැරිය හැකි ද?
දිනපතා මද්‍යසාරය වඩි දෙක තුනක් බිව් පමණින් ඔබට කොරෝනා වෛරසය වනසා දැමීමට හැකි වෙතැයි සිතන්නේ නම් එය මුලාවක් බව මුලින්ම කියන්නට සිද්ධ වෙනවා. එහෙම හිතාගෙන ඉන්න අයට මෙය අසුබ ආරංචියක් විය හැකියි: ඇත්තම කතාව නම් මද්‍යසාරය පානය කිරීමෙන් ඔබේ සිරුර ඇතුළත විසබීජ නසන්නට නම් නොහැකියි.
Alcohol-based hand sanitizers
සමහරවිට ඔබ මෙහෙම හිතන්නේ, ඒ කියන්නේ මද්‍යසාරය පානය කරලා වෛරස විනාශ කරන්න පුළුවන් යයි හිතන්නේ ඔබ මත් ලෝලියකු නිසාම නොවෙන්නට පුළුවන්. කොරොනා උවදුර හමුවේ අපට නිතර දිරිමත් කෙරෙන්නේ අත් සෝදන සනීපාරකෂක හෙවත් සැනිටයිසර් (sanitizer) භාවිතයයි. ඉතින්, මේවා සාදා ඇත්තේ ප්‍රධාන වශයෙන් මද්‍යසාරය යොදාගෙනයි. මතුපිට වල ඇති විෂබීජ වර්ග මද්‍යසාරය මගින් විනාශ කර දැමෙන බව ඇත්තයි. ඒත් ශරීරය ඇතුළත දී මද්‍යසාරය ක්‍රියා කරන්නේ වෙනස් ආකාරයටයි. ඒක එහෙම වෙච්ච එකත් ඉතින් හොඳයි.
රසායන විද්‍යාත්මකව සැලකූවහොත් මද්‍යසාරය ප්‍රධාන වර්ග තුනක් දැක්විය හැකියි. අයිසොප්‍රොපිල්, ඊතයිල් (ethyl) සහ මීතයිල්(methyl) යනුවෙනි. මේ මද්‍යසාර තුන්වර්ගයම විසබීජ නසයි. ඒ සෛල පටල බිඳ දැමීමෙනි. මේ බිඳ දැමීමෙන් සෛලයෙහි අභ්‍යන්තර සංරචක හෙවත් උපාංග දියවී යනවා. බොහොමයක් සැනිටයිසරවල ඇත්තේ අයියොප්‍රොපිල් (අතුල්ලන) හෝ ඊතයිල් (එතනොල්) මද්‍යසාරයයි. ඊතයිල්, අප බීමට ගන්න සැර බිමවල අඩංගු මද්‍යසාරය වර්ගයමයි. ඒත් ඔබ එය පානය කළ විට ජීරණ ක්‍රියාදාමය මගින් ඉක්මනින්ම එතනෝල් අණු බිඳ දමනු ලබනවා. එම නිසාවෙන් ඒවාට ශරීර තුළ දී හමුවන බැක්ටීරියා කිසිවක් විනාශ කර දැමීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක ඇත්තටම හොඳ දෙයක් බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. ඒකට හේතුව මොකක්ද කියලා බලනවා නම් මුලින්ම පෙන්වා දෙනු ලැබිය හැක්කේ ඔබේ ශරීරය තුළ ‘හොඳ’ බැක්ටීරියා බිලියන ගණනාවක් තියෙන බවයි. මේ ‘හොඳ’ බැක්ටීරියා නොමැතිව අපට ජීවිතය ගෙන යන්න බැහැ. එතනෝල්වලින් ඔබේ සිරුර ඇතුළේ ඇති සියලුම විෂබීජ ඔව් — සියලු විෂබීජ වනසා දමනවා නම් ඒ සමගම පෙර කිව් ‘හොඳ’ බැක්ටීරියා ද වැනසී යනවා. හැබැයි මෙයින් අදහස් කෙරෙන්නේ නැහැ ඔබට ඇති පදම් මද්‍යසාරයපානය කිරීමේ වරදක් නැතැයි කියා.
අධිකව මද්‍යසාරය ගැනීම හේතුවෙන් කෙනෙකුගේ සිරුර තුළ නොයෙකුත් ධූලකමය හෙවත් විෂ සහිත ප්‍රතිඵල ඇතිකරවනවා. ආමාශයේ ආස්තරයෙහි උත්කෝපනය (irritation), අක්මාව වුවමනාවට වඩා ක්‍රියාකාරිත්වයට පත්කිරීම, සහ මොළ පටකය හානි කිරීම ද ඊට අයත්ය. මෙන්න මේක හොඳට මතක තියාගන්න: කිසිමදාක, කිසිම විටක අයිසොප්‍රොපිල් (අතුල්ලන මද්‍යසාරය – rubbing alcohol හෝ මෙතනෝල් වශයෙනුත් දැක්වෙන, ඉන්ධන, ද්‍රාවක(solvents), සහ අනෙකුත් නිෂ්පාදනවල අඩංගු මීතයිල් ඇල්කොහොල් හෝ බොන්න එපා. ඒවා පානය කළොත් වෛරස කොහොම වෙතත් ඔබ මිය යාමට පුලුවන්.
වෛරස නැසීම ගැන නැවතත් කතා කරනවා නම් දිනකට බීම වඩියක්, දෙකක් බීවාට ඔබගේ ශරීරභ්‍යන්තරයෙහි විෂබිජහරණයක් සිදුවන්නේ නැහැ. අනෙක් අතට බොන මද්‍යසාර ප්‍රමාණය වැඩිවුනා කියලා (කලිනුත් පෙන්වා දී ඇති පරිදි) අතුණු බහන්, අක්මාව, සහ මොළයට ද හානිකර වෙනවා හැර විෂබීජ නැසීමක් සිද්ධවෙන්නේ නැහැ.
ඉතින් ‘ජොලියට’ මද්‍යසාරය ගැනීම වෙනුවට සනීපාරක්ෂාව සඳහා මද්‍යසාරය භාවිත කරන්න ඕන නම් හොඳම දේ විෂබීජහරණය පිණිස මද්‍යසාරය යෙදූ සැනිටයිසරයකින් නිතර අත් සේදීම.
ඇල්කොහොල් සහ කොරෝනා වෛරසය
වෛරස ඔබගේ ශ්වසන පද්ධතියට ඇතුල්වීමේ ප්‍රධානතම මාර්ග අතුරෙන් එකක් තමයි ඔබේ අත්. ඉතින් කොරෝනා වෛරසය ඔබටත් ආසාදනයවිම වැලැක්විම සඳහා කළ හැකි කාර්යක්ෂම දේ අතර අත් පිරිසිදුව තබාගැනීමට දැක්විහ හැකියි. ඔබට හැකියාවක් තිබේ නම් ජලය සහ සබන් භාවිත කරමින් හොඳින් අතුල්ලා අත්සෝදන්න. එසේ කිරීමට පහසු කම් නොමැති නම් ඇල්කොහොල් පාදක සැනිටයිසරයක් යොදා ගන්න. වෛරසයකට එරෙහි මද්‍යසාරයේ කාර්යක්ෂමතාව රඳා පවතින්නේ ඉලක්ක කරගන්නා වෛරස අනුවයි. නිදසුනකට, බඩේඅමාරු ඇතිකරවන නොරො වෛරසයට(norovirus) එරෙහිව මද්‍යසාරය කාර්යක්ෂමව ක්‍රියා කරන්නේ නැත. එහෙත් කොරෝනා වෛරසයේ ඇති ආවරණයම ව්‍යුහයට මද්‍යසාරය මගින් හානි පමුණුවනවා. ඒ සඳහා වඩාත් යෝග්‍ය 60%කට හෝ ඊට වැඩි මද්‍යසාරය අඩංගු සැනිටයිසර් තමයි. නිවසේ දී තමන්ම නිපදවා ගන්නා සැනිටයිසර් එතරම් සාර්ථක දැයි නිශ්චිතව කියන්න අපහසුයි. ඒවා වෛරසයට හානිකර නොවන්නත් ඉඩ ඇති අතර ඇතැම්විට සමට නම් හානිකර වන්නට පුළුවනි.
WebMD බ්ලොගයේ පළවන Can Drinking Alcohol Kill Germs? නම් ලිපිය ඇසුරෙනි