මදුරුවෝ අපිවම හොයාගෙන එන්නේ ඇයි?
මදුරුවන් මිනිස් අපට ලෙඩ රෝග — ඇතැම් විට මාරාන්තික පවා විය හැකි රෝග — බෝ කිරීමට මුල් වෙන බව අප කවුරුත් දැන් දන්නා කාරණාවක්. අපේ රට වගේ ආසියාතික රටවල වැසියන්ට ඔවුන්ගෙන් උපද්‍රව බොහෝමයි. ඩෙංගු, මැලේරියාව, ෆයිලේරියාව (බරවා රෝගය) මේවා අතුරෙන් කැපී පෙනෙනවා. රෝග බෝ කිරීමට අමතරව අප සෑම දෙනාටම එක වගේ එකඟ වෙන්න පුළුවන් කාරණාව තමයි මදුරුවන් කියන්නේ මහා හිරිහැරකාර සත්ව වර්ගයක් කියන එක. ඒ වගේම තමයි මදුරුවන් විනාශ කිරීමට ගන්නා උත්සාහයන් හැම විටමත් සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මේ කටුක යථාර්ථය පිළිගෙන මදුරුවන් ගෙන් බේරී සිටීමට අප කොයිතරම් නම් වෙහෙසක් ගන්නවාද? අනේ ඇත්තට මුන්ගෙන් බේරිලා අපට හැංගිලා ඉන්න විදිහක් නැද්ද? ඇයි මේ මදුරු කරදරකාරයෝ අපිව හොයාගෙන එන්නේ? ඔය අන්තිමට සඳහන් කරපු ප්‍රශ්නයට පිළිතුරු දෙන්න තමයි අද තතු ලිපිය වෙන් වෙලා තියෙන්නේ.
මුලින්ම පොඩි දැනුම්දීමක්: මදුරුවො කියන්නේ මිනිසුන් හොයාගෙන එන්න පුදුම දක්ෂතාවයක් ඇති සත්තු විශේෂයක්. මදුරුවන් සතුව ලොව වඩාත්ම බලගතු පරිගණකයට පවා අභියෝග කළ හැකි අතාවරක(detectors) සහ ප්‍රතිචාර පැකේජයක් තියෙනවා. හැබැයි ඒ සියල්ලම සිදු කෙරෙන්නේ මේ වාක්‍ය අවසානයේ යොදා ඇති තිත තරම් කුඩා ප්‍රමාණයේ මොළයකින්. මේ අනාවරණවලට මනුෂ්‍යයන් ඉලක්ක කරන්න ගන්නා සංවේදක ද ඇතුළත්. ඔවුන් පුද්ගලයකු කරා පැමිණෙද්දී අනුපිළිවෙලකට මෙම සංවේදක යොමු වෙනවා.
නිකමට හිතන්න ඔබ එක්තරා රාත්‍රියක මදකට ගෙයින් එළියට බැස්සා කියලා. වටපිටාවේ එතරම් හුළඟකුත් නැහැ. තනියම ඔබ විතරයි. ඔබ ඉතින් කොහේ හිටියත් ආශ්වාස ප්‍රාශ්වාස කරනවනේ. ඔබ ප්‍රාශ්වාස කරන්නේ නැතිනම් පිට කරන්නෙ කාබන් ඩයොක්සයිඩ්(carbon dioxide – CO2 ). ඒ වායුව, රාත්‍රී වාතයේ පාවී යද්දි ඉන් පොදක් අවට සැරිසරන මදුරු ළදකගෙ හිස මතින් ගෑවි නොගෑවී මෙන් ගමන් කරනවා. ඒවා ඇගේ හණුක මෘශයෙහි(ඒ කියන්නේ ඇගේ හිසෙහි ඇති ස්පර්ශක හෙවත් ඇන්ටෙනා වැනි කොටස්) ඇති සුවිශේෂි කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහක හා ගැටෙනවා. ඒ එක්කම මදුරු ගැහැණු සතාගේ මොළයෙහි ආවේගයන් ගණනාවක් පූරණය වෙනවා නැතිනම් මුලපිරෙනවා. දැන් ඇය ඔබ හඹා එනවා.
ඇය දැන් යොමුවෙන්නේ කාබන් ඩයොක්සයිඩ් මූලය (ඒ කියන්නේ ඔබව) සොයා එන්නටයි. කාබන්ඩයොක්සයිඩ් වායු මූලය සොයා ගන්නවා පමණක් නොවෙයි එහි වැඩි සාන්ද්‍රනය සොයා ඇගේ පියාසර සැලැස්ම පවා සුදුසු පරිදි වෙනස් කර ගන්නවා. මේ සියල්ල සිදු වෙන්නේ ඇගේ සම්පූර්ණ සංවේදන ආරාවේ 2%පමණක් නියෝජනය වන මෘශ සංවේදක මගිනුයි.
එහෙත් ඔබව සොයා ගන්න හුදෙක් කාබන්ඩයොක්සයිඩ් මතම පමණක් විශ්වාසය තැබීම ප්‍රමාණවත් නැහැ. මොකද, එහෙම වුණොත් ඇය කෙළින්ම ආ යුත්තේ ඔබේ මුඛයට නොවැ! ඒක ඉතින් ඔබට මහා කරදරයක් වෙනවා වගේම ඇයටත් එතරම් ප්‍රයෝජනයක් නැහැ. ඔබව හඹා එන ගමනේ එක්තරා තැනකදී ඔබගේ නිරාවරණ සම මතට ළඟාවීම සඳහා තවත් යම් ආකර්ශණයක් වෙත අවධානය යොමු කරන්න ඕන වෙනවා.
මේ කාරණය ගැන කතා කිරීමේදී කැල්ටෙක් පර්යේෂකයන් විසින් සිදුකරන ලද කදිම අත්හදා බැලීමක් අපට ප්‍රයෝජනවත් වේවි. ඉන් හෙළි වූයේ මදුරුවාගේ ගැහැනු සතා කාබන් ඩයොක්සයිඩ් ඉව කළ විට ඈ සිටින පරිසරයේ දෘෂ්ටිමය අංග කෙරෙහි ඇය සැලකිල්ල යොමු කරවන බවයි. මෙය ඔප්පු කිරීම පිණිසයි ඔවුන් පර්යේෂණ සැලසුම් කළේ. මේ සඳහා ඔවුහු සුළං කපොල්ලක් තුළ මදුරු ගැහැණු සතුන්ට නිදැල්ලේ පියෑඹීමට ඉඩ සැලැස්සුවා. සුලං කපොල්ල සෑම තැන ම පැහැදිලිව එක සමානව තිබූ අතර එක් කොනක පමණක් හුදකලා, කළු කුඩා චතුරස්‍රයක් පාට කර තිබුණ. (මදුරුවන්ගෙන් දෘෂ්ටි පද්ධතිය ආලෝකයට වඩා අඳුරට වඩාත් සංවේදීයි). සාමාන්‍ය වාතය තුල මදුරුවන් සුළං කපොල්ලේ පතුල ගැන අවධානයක් යොමු කළේ නැහැ. එහෙත් පර්යේෂකයන් කපොල්ලට කාබන් ඩයොක්සයිඩ් ඇතුල් කළ විගසම මදුරුවන් කලින් කිව් චතුරස්‍රය පරික්ෂා කරන්නට පටන් ගත්තේ පැය ගණන් ඊට උඩින් ගැවසෙමින්. ඔවුන් වායු ඉව කිරීම පසෙකලා දෘෂ්ටි ගවේෂණයට යොමු වුනේ ඔවුන් ගොදුරු කරගත හැකි ඉලක්කයක් බලාපොරොත්තුවෙනි.
දෘෂ්ටිය උපයෝගී කරගනිමින් මදුරුවන් සිය ඉලක්කය වෙත යොමු වෙද්දී ගොඩබැසීමට යෝග්‍ය නිශ්චිතවම ස්ථානය තෝරා ගැනීම පිණිස ඔවුන් ‘තාප හා රසායන සංවේදනය'(heat- and chemical-sensing) යොදා ගන්නා බව කැල්ටෙක්ස් අත්හදා බැලීමේදී පෙනී ගොස් තිබුණා. ගොදුර වෙත යොමුවන මෙකී අදියරයේදී මදුරුවන් කාමර උෂ්ණත්වයේ පවතින වස්තුන්ට වඩා වැඩියෙන් උණුසුම් වස්තූන් වෙත වඩාත්ම ආකර්ෂණය වන බවද සොයා ගනු ලැබුවා. එපමණක් නොව අවසාන වශයෙන් මදුරුවන් දහදිය සහිත ඔබේ සම වැනි උණුසුම සහිත, එහෙත් අධික ආර්ද්‍රතාවයෙන් යුතු වස්තූන් වෙත ආකර්ෂණය වන බවක් පෙනී ගියා.
දැන් ඉතින් ඔන්න මදුරුවන් අපිව හොයාගෙන එන හැටි දන්න නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ උපක්‍රම වලින් ගැලවිලා අපේ පාඩුවේ අපිට කරදරයක් නැතිව ඉන්න පුළුවන් කියලා. ඒත් ඒක ලෙහෙසි වෙන එකක් නැහැ. මොකද මදුරුවන්ගේ ගැහැණු සතුන් අපව හොයාගෙන එන්න අනුගමනය කරන්නේ එක උපක්‍රමයක් නොවෙයිනේ. ඒක උපක්‍රමයක් මග හැරුණොත් තවත් එකක් උපයෝගී කරගන්නවා. මේ ලිපියේ මාතෘකාව ඇසූ ප්‍රශ්නය වෙනුවට දැන් අහන්න වෙන්නේ මදුරුවො ඇයි මාව ම හොයාගෙන එන්නේ කියලයි. අපි තවත් තතු ලිපියකින් ඒ ගැනත් කතා කරමු.
The Science of Why (Answers to Questions around the World around Us) ග්‍රන්ථයෙහි What attracts mosquitoes to me? (And what can I do about it?) යන කොටස ඇසුරෙනි