සෞඛ්‍ය සම්පන්නව වයස්ගතවීම කියන්නේ මොකක්ද?
ලෝකයේ සෑම රටකම සිටින සෑම පුද්ගලයෙකුටම සෞඛ්‍ය සම්පන්නව, දීර්ඝ කාලයක් තිස්සෙ සිය ජීවිතය ගෙවන්නට අවස්ථාව තිබිය යුතුය. එය එසේ වුවද අද අප ජීවිත ගෙවන පරිසර සෞඛ්‍යයට හිතකර වෙන්න පුළුවනි; අනෙක් අතට එසේ නොමැතිව හානිකර වෙන්නත් පුළුවනි.
අප ජීවත්වන පරිසරය අපගේ චර්යාවන් කෙරෙහි ද, සෞඛ්‍යමය අවදානම්වලට(නිදසුනකට වායුදූෂණය, ප්‍රචණ්ඩත්වය) අප නිරාවරණය වීම ද, ගුණාත්මක බවින් යුතු සෞඛ්‍ය හා සමාජ සත්කාරයන් සපයා ගැනීමට ද, සහ වයස්ගත වීම ගෙන එන ඉඩප්‍රස්ථා කෙරෙහි ද බෙහෙවින් බලපෑම් ඇති කරයි. සෞඛ්‍ය සම්පන්නව වයස්ගතවීම යන්නෙන් අදහස් කරන්නේ සිය ජීවිත කාලය පුරාවට තමන් අගයන දේ බවට පත් වීමට සහ තමන්න් අගයන දෙය කිරීමට මඟ පාදන වාතාවරන සහ අවස්ථාවන් නිර්මාණය කර ගැනීමයි.
සෑම දෙනාටම සෞඛ්‍ය සම්පන්නව වයස්ගතවීම අත්විඳිය හැකිය. රෝගාබාධයන්ගෙන් හෝ අබල දුබලතාවයන් ගෙන් හෝ මිදීම, සෞඛ්‍ය සම්පන්නව වයසට යාම සඳහා තිබිය යුතුම අවශ්‍යතාවයක් නොවේ. මන්ද බොහෝ වයස්ගත වැඩිහිටියන්ට යම් යම් සෞඛ්‍යමය තත්ත්වයන් එකක් හෝ ඊට වැඩි ගණනක් තිබිය හැකි අතර මනාව පාලනය කළ විට ඒවා, සිය යහපැවැත්ම කෙරෙහි ඇතිකරන්නේ සුළු බලපෑමක් පමණක් හෙයිනි.
සෞඛ්‍ය සම්පන්න වයස්ගතවීම සහ කෘත්‍යාත්මක හැකියාව(functional ability)
සෞඛ්‍ය සම්පන්න වයස්ගතවීම යන්න, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විග්‍රහ කරනු ලබන්නේ මෙලෙසය: වයස්ගත කාලයේ යහපැවැත්මට මගපාදන කෘත්‍යාත්මක හැකියාව වර්ධනය කෙරෙන සහ (එම හැකියාව)පවත්වාගෙන යාමේ ක්‍රියාදාමයයි. එතකොට කෘත්‍යාත්මක හැකියාව කියන්නේ කුමකටද? කෘත්‍යාත්මක හැකියාව යනු සියලුම පුද්ගලයන්ට (තමන්ව)ඇගයීමට හේතුභූතවන ආකාරයට පත්වීමට හෝ (තමන්) අගයන දෑ කිරීමට ඉඩ සලසා දෙන සමර්ථකම් තිබීමයි. මේ සමර්ථකම් අතර
1. තමන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට
2. ඉගෙනීම, වර්ධනය වීම හා තීරණ ගැනීමට
3. එහා මෙහා යාමට (සංචලනය)
4. සම්බන්ධතා ගොඩනැගීම සහ පවත්වාගෙන යාමට සහ
5. සමාජයේ වර්ධනයට සම්මාදන්වීමට
ඇති හැකියාවන් දැක්විය හැකිය.
පුද්ගලයන්ගේ නෛසර්ගික ශක්‍යතාව හෙවත් ධාරිතාව, අදාල පාරිසරික ගති ලක්ෂණ සහ ඒවා අතර අන්තර් ක්‍රිකාරීත්වය යන්නෙන් කෘත්‍යාත්මක හැකියාව සමන්විත වේ.
නෛසර්ගික ශක්‍යතාව ගතහොත් පුද්ගලයකුට උපයෝගී කරගත හැකි සියලු මානසික හා ශාරීරික ධාරිතාවයන් ගෙන් සමන්විතවන අතර ඇවිදගෙන යාමට, සිතීමට, දැකීමට, ඇසීමට හා මතක තබා ගැනීමට ඔවුනට ඇති හැකියාව ද ඊට ඇතුළත් ය. නෛසර්ගික ශක්‍යතා මට්ටම කෙරෙහි බලපාන සාධක ගණනාවක් ඇති අතර රෝගාබාධ, තුවාල සහ වයස්ගත වීමට අදාළ විපර්යාසයන් හෙවත් වෙනස්කම් ඒ සාධක අතරවේ.
පරිසරයන් යන්නට නිවස, ප්‍රජාව මෙන්ම පුළුල් වශයෙන් සමාජය ද, ඒවා ඇතුළත පවතින, ගොඩ නැගූ වටාපිටාව, ජනතාව හා ඔවුන්ගේ සම්බන්ධතා, ආකල්ප සහ හර (වටිනාකම්)පද්ධතීන් ද, සෞඛ්‍ය හා සමාජ පිළිවෙත්, ඒවා පෝෂණය කරන පද්ධති මෙන්ම ඒවා මගින් ක්‍රියාත්මක කරනු ලබන සේවාවන් වැනි සියලුම සාධක ඇතුළත් වේ. පුද්ගලයෙකුගේ නෛසර්ගික ධාරිතාවට හා කෘත්‍යාත්මක හැකියාවන්ට ආධාරවන සහ (ඒවා) පවත්වාගෙන යන්නා වූ පරිසරයන්හි ජීවත් වීමට ඇති හැකියාව සෞඛ්‍ය සම්පන්නව වයසට යාමට කේන්ද්‍රීය වේ.
සෞඛ්‍ය සම්පන්න වයසට යාමේ දී ප්‍රමුඛවන තැකීම්(ප්‍රතිෂ්ඨාවන්)
විවිධත්වය: වයස්ගත පුද්ගලයා මේ යැයි හුවා දැක්විය හැකි ආකෘතික වයස්ගත පුද්ගලයකු නැත. සමහරක් 80 හැවිරිදි පුද්ගලයන්, ශාරීරික හා මානසික මට්ටම් අතින් 30 හැවිරිදි අය සමග යහපත් ආකාරයට සැසඳීමට පුළුවන. අනෙක් අතට ඒ ආකාර වයසක මහලු අයෙකු දැඩිව රැකබලා ගැනීම අවශ්‍ය විය හැකි වේ; ඇඳුම් ඇඳීම හා ආහාර ගැනීම ආදී මූලික කටයුතු සඳහා පවා(ඔවුනට) සහාය අවශ්‍ය විය හැක. ශක්තිසම්පන්න වේවා, සත්කාරක පිහිට පතන්නන් වේවා හෝ ඔය දෙක අතරතුර පුද්ගලයකු වේවා — සියලුම වයස්ගත පුද්ගලයන්ගේ කෘත්‍යාත්මක හැකියාව වැඩි දියුණු කිරීම පිණිස ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුය.
අයුක්තිය: වයස්ගත දිවියේදී නිරීක්ෂණය වන ධාරිතාවයෙහි හා පරිවේෂණයෙහි (අවස්ථාවෙහි) විවිධත්වයේ විශාල අනුපාතයක් (දළ වශයෙන් සියයට 75ක්) පුද්ගලයන්ගෙ ජීවිතය පුරා ඇති වූ වාසි සහ අවාසිවල රාශිභූත හෙවත් සමුච්චිත බලපෑමේ ප්‍රතිඵලයයි. වඩාත් වැදගත් කාරණය වන්නේ, අපගේ වටාපිටාව නැතිනම් පරිසරය සමග අපගේ ඇති සම්බන්ධතාවයන් හැඩගස්වනු ලබන්නේ අප උපත ලද පවුලේ, එමෙන්ම අපගේ ලිංගිකත්වය(ස්ත්‍රී පුරුෂ බව), අපගේ වාර්ගිකත්වය, අධ්‍යාපන මට්ටම සහ මූල්‍යමය සම්පත් වැනි සාධක මගිනි යන්නය.
සෞඛ්‍ය සම්පන්න වයස්ගතවීම සහ සක්‍රීය වයස්ගතවීම
2015 වසරේ සිට 2030 වසර දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නාභිගත අවධානය යොමුවන්නේ, 2002 වසරේ වැඩි දියුණු කළ ප්‍රතිපත්තිමය රාමුවක් වන මීට පෙර (එම)සංවිධානය අවධානය යොමුකළ සක්‍රීය වයසට යාම(Active Ageing) වෙනුවට, සෞඛ්‍යසම්පන්න වයස්ගතවීම කෙරෙහියි. (කලින් තිබූ) සක්‍රීය වයස්ගතවීම වගේම, සෞඛ්‍ය සම්පන්න වයස්ගතවීම යන්නෙන් ද අවධානය යොමු කෙරෙන්නේ, විව්ධ අංශ හරහ ක්‍රියාකාරීවීමේ අවශ්‍යතාව සහ වැඩිහිටි ජනතාව සිය පවුල් වලට, ප්‍රජාවන්ට සහ (රටේ) ආර්ථිකයන්ට වැදගත්වන සම්පතක් ලෙස තවදුරටත් පැවතීමට අවස්ථාව සලසා දීම කෙරෙහිය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියෙහි What is Healthy Ageing? යන ලිපිය ඇසුරෙනි