කොරෝනා වෛරස ඖෂධ හා ප්‍රතිකාර ඇගැයීමක්
Covid-19 ගෝලීය වසංගතය යනු නූතන වෛද්‍ය විද්‍යාව මේතාක් මුහුණපා ඇති ප්‍රබලතම අභියෝගයන් ගෙන් එකකි. ආසාදිත පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීමටත්, ඇතැම්විට ආසාදනය වළක්වා ගැනීමටත් මගපාදන ඖෂධ සහ ප්‍රතිකාර සෙවීම පිණිස වෛද්‍යවරු සහ විද්‍යාඥයෝ වෙහෙසමින් සිටිති. අද වනතුරු Covid-19 සාර්ථක ප්‍රතිකාරයක්, මෙතෙක් සොයාගෙන නැත. එපමණක්ද නොව, වඩාත්ම බලාපොරොත්තු දනවන සුළු ප්‍රතිකාර පවා රෝගීන් එක්කර කණ්ඩායමකට පමණක් උපකාරී වන අතර තවදුරටත් පවත්වනු ලබන සම්පරීක්ෂණ මගින් තහවුරු කළ යුතුව ඇත.
අළුත් ආහාර සහ ඖෂධ සම්බන්ධ නිෂ්පාදන නියාමනය සඳහා සෞඛ්‍ය සහ මානව සේවාවන් දෙපාර්තමේන්තුවෙහි ෆෙඩරල් නියෝජිත ආයතනය වන එක්සත් ජනපදයේ FDA හෙවත් ආහාර සහ ඖෂධ පරිපාලනය(Food and Drug Administration) Covid-19 සඳහා විශේෂයෙන්ම එකදු ප්‍රතිකාරයකටවත් සම්පූර්ණ අනුමැතිය දී නැති නමුත් සුළු ප්‍රමාණයකට හදිසි අවස්ථා භාවිතයට අවසර ලබා දී ඇත. වඩාත්ම කතා බහට ලක්වී ඇති කොරෝනා ප්‍රතිකාරයන් 19ක යාවත්කාලීන ලැයිස්තුවක් thathu.com අද ඉදිරිපත් කරන අතර මින් සමහරක් ඵලදායි වන බවට සාක්ෂි ඒකරාශී වෙමින් පවතිද්දී බොහොමයක් පවතින්නේ පරීක්ෂණයේ මුල් අවස්ථා වලය. මෙහි ඉදිරිපත් කරන ලැයිස්තුවේ සමහරක් ඒවා ගැන අනතුරු ඇඟවීමක් ද අපි ඇතුළත් කර ඇත්තෙමු.
ප්‍රතිකාර 19 ගැන ඇති ලේබල ගැනද වචනයක් කිවයුතුය. පෘථුලව භාවිත කෙරෙන, බලාපොරොත්තු ගෙන එන සාක්ෂි, තාවකාලික හෝ මිශ්‍ර සාක්ෂි, අපේක්ෂා තැබිය නොහැකි සහ ව්‍යාජ විද්‍යා හෝ ප්‍රෝඩා යනුවෙන් එම ලේබල නම් කර තිබේ.
එම ලේබල් ගැන කෙටි විස්තරයක්
පෘථුලව භාවිත කෙරෙන
මේ ගණයට වැටෙන ප්‍රතිකාර, මනුෂ්‍යයන්ගේ ස්වසන පද්ධතියට බලපෑම් ගෙන එන රෝග සඳහා රෝහල් ගත කෙරෙන කොවිඩ් – 19 ඇතුළු රෝගීන්ට ප්‍රතිකාර පිණිස වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුළුල් වශයෙන් යොදා ගැනෙන ඒවායි.
බලාපොරොත්තු ගෙන එන සාක්ෂි
රෝගීන් පිළිබඳ අධ්යන වලින්, මුලින් ලැබෙන සාක්ෂි අනුව ඵලදායි බව හෙළි වුවත් (ඒවා ගැන) තවදුරටත් පර්යේෂණ පැවැත්විය යුතු ප්‍රතිකාර මේ ගණයට ඇතුළත්ය. මෙම ප්‍රවර්ගයට ගිලන් බවෙහි(morbidity), මර්ත්‍යතාවෙහි සහ යළි සුවපත් වීමේ දී වර්ධනයක් පෙන්නුම් කරන ප්‍රතිකාර ද ඇතුළත් වේ.
තාවකාලික හෝ මිශ්‍ර සාක්ෂි
සමහරක් ප්‍රතිකාර සෛල හෝ සතුන් ආශ්‍රිතව සිදු කරන ලද පරීක්ෂණවලදී බලාපොරොත්තු ඇති කරවන සුළුය. තවත් සමහර ප්‍රතිකාර වෙනස් සම්පරීක්ෂණවලදී වෙනස් ප්‍රතිඵල පෙන්නුම් කර ඇත. වඩාත් විශාල එමෙන්ම වඩාත් දෘඩ අන්දමින් සැලසුම් කළ අධ්‍යයනවල අවශ්‍යතාව මේවායින් නිරූපණය වේ.
අපේක්ෂා තැබිය නොහැකි
ප්‍රවර්ගයෙනහි නමින්ම කියැවෙන පරිදි මේ ගණයේ ප්‍රතිකාර සාර්ථකව ක්‍රියාත්මක නොවේ.
ව්‍යාජ විද්‍යා හෝ ප්‍රෝඩා
මේවා කිසි විටෙකත් කොවිඩ් – 19 සඳහා යොදා ගැනීමට පර්යේෂකයන් අපේක්ෂා කළ ප්‍රතිකාර නොවේ. මේවා අත්හදා බලීමට එරෙහිව විශේෂඥයන් අනතුරු හඟවා ඇත්තේ ඒවා රෝගයට එරෙහිව උපකාරකයක් නොවනවා පමණක් නොව ඒ වෙනුවට, ඒවා අන්තරාදායක වීමට පුළුවන් හෙයිනි.
අපි දැන් ප්‍රවර්ග පහක් යටතේ ප්‍රතිකාර හා ඖෂධ කෙටියෙන් සලකා බලමු.
වෛරසය අවහිර කිරීම
අපේ සෛල, H.I.V. and hepatitis C වැනි වෛරස මගින් පැහැර ගනු ලැබීම ප්‍රති වයිරස(antivirals) මගින් නතර කරනු ලැබිය හැකිය. මෙලෙසම නව්‍ය කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාකරන ප්‍රති වයිරස ගැන විද්‍යාඥයෝ සෙවිල්ලෙන් සිටිති.
Remdesivir
බලාපොරොත්තු ගෙන එන සාක්ෂි
Covid-19 සදහා යොදාගැනීමේ දී හදිසි අවස්ථා භාවිතයට FDA මගින් අනුමැතිය ලබා දුන් ප්‍රථම ඖෂධයයි, Remdesivir. මෙය වයිරස තමන් විසින්ම ප්‍රතිචලිතවීම(replicate) නතර කරයි. Ebola සහ Hepatitis C සදහා ප්‍රති වෛරසයක් ලෙස යොදා ගත්තත් එතරම් ප්‍රතිඵල ඵලදායි නොවීය. එහෙත් කොවිඩ් – 19 හේතුවෙන් රෝහල්ගත කළ අය සම්බන්ධ කරගෙන මේ වසන්ත සමයේ දී සිදු කළ පරීක්ෂණ වලින් හෙළිවන්නේ ඖෂධයට, රෝගීන් යළි සුවය ලබන කාලය දින 15 සිට 11 දක්වා අඩු කළ හැකි බවයි. මුල් දත්ත කෙසේ වෙතත් ජූලි මස නිකුත් කෙරුණු අතීතානුයෝගී දත්ත හඟවන්නේ උග්‍ර ලෙස අසනීප වුවන් අතර මරණ අනුපාත අඩු කිරීමට ඊට හැකි බවයි.
Favipiravir
තාවකාලික හෝ මිශ්‍ර සාක්ෂි
මෙය වෛරසයකට එහි ප්‍රවේණි ද්‍රව්‍ය අනුපිටත් කිරීමට ඇති හැකියාව අවහිර කරයි. චා මංවලින් කොරෝනා වයිරසය ඉවත් කර දැමීමට මේ ඖෂධය ආධාර වෙතැයි මාර්තු මාසයේ සිදු කළ කුඩා අධ්යයනයකින් හැඟවිණ. එහෙත් හොඳින් සැලසුම් කළ විශාල පරීක්ෂණවල ප්‍රතිඵල තවම ලැබී නැත.
EIDD-2801
තාවකාලික හෝ මිශ්‍ර සාක්ෂි
නව කොරෝනා වෛරසයට එරෙහිව බලාපොරොත්තු තැබිය හැකි ප්‍රතිඵල සෛල සහ සතුන් යොදා ගැනුණු පරීක්ෂණ වලින් දැක්විණ. මිනිසුන් යොදාගනිමින් තවමත් පරීක්ෂණ පැවැත්වේ
Recombinant ACE-2
තාවකාලික හෝ මිශ්‍ර සාක්ෂි
කොරෝනා වෛරසය සෛලවලට ඇතුල් වන්නේ ACE-2 නම් මානව ප්‍රෝටීනයට ඇලීමෙනි. උපාය දූතයෙකු ලෙස වෛරස අවදානම්ග්‍රාහී සෛලවලින් ඉවතට ඇද ගත හැකි කෘතිම ACE-2 ප්‍රෝටීනයක් විද්යාඥයන් විසින් නිපදවනු ලැබ ඇත. සෛල යොදාගෙන Recombinant ACE-2 ප්‍රෝටීන භාවිත කර සිදු කළ අත්හදා බැලීම් බලාපොරොත්තු ඇති කරවන සුළු වුවද තවම සතුන් හෝ මිනිසුන් යොදාගෙන පරීක්ෂණ සිදුකර නැත.
Lopinavir සහ ritonavir
අපේක්ෂා තැබිය නොහැකි
HIV සඳහා ප්‍රතිකාර කෙරෙන ඖෂධ එකතුවක් ලෙස Lopinavir සහ Ritonavir, FDA මගින් මෙයට වසර 20 කට පෙර අනුමත කෙරිණ. වෛරසය ප්‍රතිචලිත වීම නතර කෙරුණ ද රෝගීන් යොදාගෙන සිදු කෙරුණු සායන පරීක්ෂණ අසතුටුදායක ය. කොවිඩ් – 19 නිසාවෙන් රෝහල් ගත කෙරුණු රෝගීන්ට මේ ඖෂධ එකතුව ලබාදීමේ අත්හදාබැලීම් ලෝක සෞඛ්ය සංවිධානය මගින් අත්හිටුවීමට ජූලි මුලදී නියම කර ඇත.
Hydroxychloroquine සහ chloroquine
අපේක්ෂා තැබිය නොහැකි
chloroquine මැලේරියාවට එරෙහි ඖෂධයක් ලෙස ජර්මානු රසාඥයන් විසින් සංස්ලේෂණය කරන ලද්දේ 1930 ගණන්වලදී ය. මෙහි ධූලක ගතියෙන් අඩු අනුවාදයක් වන Hydroxychloroquine, 1946 දී සොයා ගනු ලැබූ අතර පසුව එය lupus හා rheumatoid arthritis වැනි රෝග සඳහා යොදා ගැනිණ. ඖෂධ දෙකම කොරෝනා වෛරස සෛල තුළ ප්‍රචලිත වීම නතර කළ හැකි බව නව ගෝලීය වසංගතය ආරම්භයේ දී පර්යේෂකයෝ සොයා ගත්හ. එතැන් පටන් මේවායේ ගමන නම් පටලැවිලි සහගතය. කොවිඩ් – 19 ප්‍රතිකාර කිරීමට Hydroxychloroquine, මගින් හැකිවෙතැයි බලාපොරොත්තුවක් කුඩා අධ්‍යයන අතලොස්සකින් පළ විය.
WHO හෙවත් ලෝක සෞඛ්ය සංවිධානය මාර්තුවේ දී සසම්භාවිකෘත සායන පරීක්ෂණයක්(a randomized clinical trial) ආරම්භ කළේ Hydroxychloroquine ඖෂධය කොවිඩ්-19 ට ප්‍රතිකාර කිරීමේ දී කෙතරම් ඵලදායි ද කෙතරම් ආරක්ෂාකාරී ද යන්න සොයා බැලීමටයි. මෙයට Novartis(මෙය, ලොව පුරා රෝගීන් අතරේ ඉස්මතුවන අවශ්‍යතාවලට පිළිතුරු සපයන, ස්විට්සර්ලන්තය පාදක කරගත් ගෝලීය සෞඛ්‍ය සත්කාර සමාගමකි) සහ විශ්වවිද්යාල ගණනාවක් ද එක් විය.
මේ අතරතුර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Hydroxychloroquine හුවා දැක් වූවා පමණක් නොව Hydroxychloroquine තමන් භාවිතයට ගන්න බව ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. FDA, කොවිඩ් – 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනීමට තාවකාලිකව Hydroxychloroquineසඳහා හදිසි අවස්ථා අනුමැතිය ලබා දුන්නේය. (මෙය දේශපාලන බලපෑම මත සිදුකරන ලද බව පසුව හෙළි විණි) Hydroxychloroquine ඖෂධයට එලෙස ලැබූ ප්‍රසිද්ධිය මත ඒ සඳහා ඉල්ලූම එකවර දැඩිව ඉහළ ගියේය. මෙහි ප්‍රතිඵලයක් වූයේ ප්‍රතිකාර සඳහා Hydroxychloroquine ඖෂධ මත කලක් තිස්සේම රැඳී සිටි වෙනත් රෝගීන්ට තම සුපුරුදු ඖෂධය ලබා ගැනීමේ අපහසු කරමින් Hydroxychloroquine ඖෂධය වෙළඳපොලේ හිඟ වීම ය.
එපමණක් ද නොව, සසම්භාවිත සායන පරීක්ෂණවල දත්ත එළියට පැමිණි විට පෙනී ගියේ කොවිඩ් – 19 රෝගයෙන් යහපත් අතට හැරවීමට හෝ සෞඛ්ය සම්පන්න පුද්ගලයකුට කොරෝනා වෛරසය වැළඳීම වැළැක්වීමට Hydroxychloroquine උදව් නොවන බවයි. තවත් සායනික පරීක්ෂණයකින් ඔප්පු වුණේ රෝගියෙකුට කොවිඩ්-19 වැදුණු සැනින් Hydroxychloroquine ලබා දීම එම රෝගියාගේ රෝගී තත්ත්වයේ බරපතලකම අඩු කිරීමට හේතු නොවූ බවයි.(තවත් විශාල පරිමාණ අධ්‍යයනයකින් Hydroxychloroquine ලබාදීම හානිකර බව නිගමනය කෙරෙනු හෙයින් එය ලබා දීමේ තීරණය ආපස්සට හැරීණ) FDA මීට ලබාදී තිබු හදිසි අවස්ථා අනුමැතිය අවලංගු කළ අතර එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනය, හා Novartis සමාගම කොවිඩ් – 19 ප්‍රතිකාරයක් ලෙස Hydroxychloroquine යොදාගැනීමේ සම්පරීක්ෂණ අත්හිටුවා ඇත. කොවිඩ් – 19 සඳහා Hydroxychloroquine යොදාගැනීමෙන් හෘදය වස්තුව සහ වෙනත් අවයව කෙරෙහි බලපාන අතුරු ආබාධ ගණනාවක් ඇතිවිය හැකි යැයි FDA දැන් අනතුරු හඟවයි.
ජූලි මාසයේදී ඩෙට්ට්‍රොයිට් හි හෙන්රි ෆෝඩ් රෝහලේ පර්යේෂකයන් අධ්‍යයනයක ප්‍රතිඵලය ප්රකාශයට පත් කරමින් කියා සිටියේ Hydroxychloroquine කොවිඩ් – 19 රෝගීන් අතරේ මර්ත්‍යතාව (මැරෙන සුලු බව) අඩු කරන බවයි. ට්‍රම්ප් වහා ඒ අධ්‍යයනය ප්‍රශංසාවට ලක්කළ නමුත් එය සසම්භාවිත සම්පරීක්ෂණයකින් නොවූ නිසා ප්‍රතිඵල ගැන විශේෂඥයෝ සැක පහළ කළහ.
එසේ වුවද කොවිඩ් – 19 ප්‍රතිකාර කිරීමේදී හදිසි ප්‍රතිකාරයක් ලෙස යළි Hydroxychloroquine අනුමත කරන ලෙස FDAට බලපෑමට ධවල මන්දිරය ක්‍රියා කරමින් සිටී.
සෘණාත්මක ප්‍රතිඵල ගැන නොසලකමින් Hydroxychloroquine සම්පරීක්ෂණ ගණනාවක් දිගටම පැවැත්වේ. කොවිඩ් – 19 ප්‍රතිකාර වශයෙන් හෝ එය වැළැක්වීම පිණිස Hydroxychloroquine වල හෝ chloroquine වල හැකියාව ගැන දිගටම පැවැත්වෙන සායනික පරීක්ෂණ 180කට වැඩි සංඛ්යාවක් ඇතැයි මෑතක ඇතැම් විශ්ලේෂණ දක්වයි. මේ ඖෂධ සර්ව රෝග නිවාරණ නොවූවද රෝගයේ මුල් අවස්ථාවේදී ලබාදීමෙන් හෝ අනිකුත් ප්‍රතිකාර හා බද්ධව සිදුකිරීමෙන් යම් ප්‍රතිඵල අත්කර ගැනීමට ඉඩක් තිබිය හැකිය.
ඉතිරි කොටස හෙට (21 අඟහරුවාදා) පළවේ
The New York Times හී පළ වූ Coronavirus Drug and Treatment Tracker යන ලිපිය ඇසුරෙනි