කොරෝනා වෛරස ඖෂධ හා ප්‍රතිකාර ඇගැයීමක් – II කොටස
වඩාත්ම කතා බහට ලක්වී ඇති කොරෝනා ප්‍රතිකාරයන් ඇගැයීමකට ලක්කෙරෙන ලිපියක මුල් කොටස thathu.com ඊයේ ඔබ වෙත ගෙන ආවේය. අද ඉදිරිපත් කරන්නේ එහි ඉතිරි කොටසයි. මින් සමහරක් ඵලදායි වන බවට සාක්ෂි ඒකරාශී වෙමින් පවතිද්දී බොහොමයක් පවතින්නේ පරීක්ෂණයේ මුල් අවස්ථා වලය. මෙහි ඉදිරිපත් කරන ලැයිස්තුවේ සමහරක් ඒවා ගැන අනතුරු ඇඟවීමක් ද අපි ඇතුළත් කර ඇත්තෙමු.
ප්‍රතිකාර ගැන ඇති ලේබල ගැනද වචනයක් කිවයුතුය. පෘථුලව භාවිත කෙරෙන, බලාපොරොත්තු ගෙන එන සාක්ෂි, තාවකාලික හෝ මිශ්‍ර සාක්ෂි, අපේක්ෂා තැබිය නොහැකි සහ ව්‍යාජ විද්‍යා හෝ ප්‍රෝඩා යනුවෙන් එම ලේබල නම් කර තිබේ. (ලේබල ගැන සහ අනෙකුත් විස්තර සඳහා ඊයේ ලිපිය මෙතැනින් බලන්න)
ප්‍රතිශක්ති පද්ධතිය අනුකරණය හෙවත් අභිරූපනය
Covid-19 වැලඳෙන බොහෝ දෙනා ශක්තිමත් ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් මගින් වෛරසයට එරෙහිව සාර්ථක සටනක් ලබාදීමට සමත්ව සිටිති. ප්‍රමාණවත් අයුරින් ආරක්ෂක ප්‍රතිචාරයක් ගොඩනංවා ගැනීමට අසමත් අයට ඖෂධ පිහිටවිය හැකිය.
සෞඛ්‍යලාභී ප්ලාස්මය(Convalescent plasma)
තාවකාලික හෝ මිශ්‍ර සාක්ෂි
ශත වර්ෂයකට පමණ පෙර වෛද්‍යවරු ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳී යළි සුවය ලැබූ අයගේ රුධිරයෙන් ප්ලාස්මය වෙන්කර ගත්හ(ප්‍රතිසාධනය කරගත්හ). ප්‍රතිදේහ වලින් පිරී මෙකී සෞඛ්‍යලාභී ප්ලාස්මය, ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් පෙළෙන රෝගීන්ට ඊට එරෙහිව සටන් කිරීම පිණිස පිහිටවිය. පර්යේෂකයෝ, දැන් මේ උපාය මාර්ගයට කොවිඩ් – 19 සම්බන්ධයෙන් ද අත්හදා බලමින් සිටිති. සෞඛ්‍යලාභී ප්ලාස්මය සම්බන්ධ මුල් කාලයේ සම්පරික්ෂණ මගින්, මූලික මට්ටමේ වුවත් බලාපොරොත්තු තැබිය හැකි ප්‍රතිඵල ගෙන ඒමට සමත්ව ඇත. තවද කොරෝනා වයිරසය මගින් බෙහෙවින් ආසාදිත තත්ත්වයට පත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා ප්ලාස්මය යොදා ගැනීමට අනුමැතිය ලබා දී ඇත.
නුමුහුන් ප්‍රතිදේහ
තාවකාලික හෝ මිශ්‍ර සාක්ෂි
සෞඛ්‍යලාභී ප්ලාස්මයෙහි විවිධ ප්‍රතිදේහ මිශ්‍රන අඩංගුවේ. ඉන් සමහරකට කොරෝනා වයිරසයට ප්‍රහාර එල්ල කළ හැකිය. සමහරකට නොහැකිය. කොවිඩ් – 19ට එරෙහි වීමේ විභවය සහිත වඩාත්ම බලගතු ප්‍රතිදේහ මිශ්‍රණය ගැන පර්යේෂකයෝ හාරා අවුස්සා බලමින් සිටිති. නුමුහුන් ප්‍රතිදේහ යනුවෙන් දැක්වෙන මෙම අණුවල කෘතිම පිටපත් විශාල වශයෙන් නිපදවිය හැකි අතර අනතුරුව ඒවා රෝගීන්ට එන්නත් කළ හැකිය. මේ ප්‍රතිකාරයෙහි ආරක්ෂකභාවය පිළිබඳ පරීක්ෂණ දැන් ආරම්භ වූවා පමණකි.
ඉන්ටර් ෆෙරොන(Interferons)
තාවකාලික හෝ මිශ්‍ර සාක්ෂි
ඉන්ටෆෙරෝන යනු වෛරසයන්ට එරෙහිව ප්‍රහාරය පිණිස ප්‍රතිශක්ති පද්ධතිය අවදිකරමින් අපේ සෛල ප්‍රතිචාර ලෙස ස්වභාවිකව නිපදවන අණුය. කෘතිම ඉන්ටෆෙරෝන එන්නත්කිරීම යනු දැන් ප්‍රතිශක්ති රෝගාබාධ ගණනාවකට ප්‍රතිකාර කරන සම්මත ප්‍රතිකාරයකි. නිදසුනක් ලෙස බහු ජාරඨ්‍යය(multiple sclerosis) සඳහා Rebif නිර්දේශ කෙරේ. ඉන්ටෆෙරන් එන්නත් කිරීම කොවිඩ් – 19 එරෙහි ප්‍රතිචාරයට පිහිට වීමට ඉඩ ඇති බව මුල් කාලයේ සිදු කළ අධ්‍යයන දක්වයි. සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුට ආසාදනය වීම වැළැක්වීමට පවා මේ අණු උපකාරී විය හැකි බවට යම් සාක්ෂි පවා ඇත.
මිතුරු ප්‍රහාර අවහිර කිරීම
Covid-19 වඩාත්ම දරුණු රෝග ලක්ෂණ බොහෝමයක් ඇත්තටම අපේ ප්‍රතිශක්ති පද්ධතිය වෛරසයට එරෙහිව අධි-ප්‍රතිචාර හෙවත් වුවමනාට වඩා ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලයකි. මේ ‘මිතුරු’ ප්‍රහාර නවතා ගැනීමේ හැකියාව ඇති ඖෂධ ගැන විද්‍යාඥයෝ පරීක්ෂණ පවත්වමින් සිටිති.
ඩෙක්සමෙතසෝන්(Dexamethasone)
බලාපොරොත්තු ගෙන එන සාක්ෂි
මෙකී මිල අඩු, එමෙන්ම සුලබව ලබාගත හැකි ස්ටෙරෝයිඩය ප්‍රතිශක්ති ප්‍රතිචාර බොහොමයක් මොට කරයි. අසාත්මිකතා, ඇදුම සහ ප්‍රදාහයට එරෙහිව ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරු කලක් තිස්සේම එය භාවිත කරති. Covid-19 නිසාවෙන් ඇතිවන මරණ අඩුකරන බව පෙණී ගිය මුල්ම ඖෂධය බවට ජූනි මාසයේ දී එය පත්විය. 6000කට වැඩි පිරිසක් අළලා සිදු කළ අධ්‍යයනයක වාර්තාව ජූලි මාසයේ පළවිය. සංවාතකයක ප්‍රතිකාර ලබන රෝගීන් ගෙන් තුනෙන් එකක ද ඔක්සිජන් ලබා දෙන රෝගීන්ගෙන් පහෙන් එකක ද ජීවිත හානිය Dexamethasone ලබා දීමෙන් අඩු වූ බව ඉන් දැක්විණි. කෙසේ වෙතත් කොවිඩ් – 19 රෝගයට ගොදුරු වූ මුල් අවධියේ එය ලබා දීම එතරම් පිටුවහලක් නොවන අතර හානිකරවීමට පවා විය හැකිය.
සයිටොකයින නිෂේධක(Cytokine Inhibitors)
බලාපොරොත්තු ගෙන එන සාක්ෂි
රෝගවලට එරෙහි සටන් වැද ඒවා පලවා හැරීම පිණිස ශරීරය සයිටොකයින නම් සංඥා කිරීමේ අණු සිරුර මඟින් නිපදවනු ලැබේ. එහෙත්, අතිරික්තව නිපදවීමෙන් ආසාදන වලට උවමනාවට වඩා ප්‍රතිශක්ති පද්ධතිය ප්‍රතිචාර දැක්වීමට මුලපුරයි. මේ ක්‍රියාදාමය, ‘සයිටොකයින කුණාටුව’ ලෙස දැක්වේ. මේ තත්ත්වය වැළැක්වීමට පර්යේෂකයන් ඖෂධ ගණනාවක් නිපදවා ඇති අතර ආතරයිටීස් සහ අනෙකුත් ප්‍රදාහමය රෝගාබාධවලදී ඒවා ප්‍රතිඵල ගෙන දී ඇත. සමහරක් ඒවා, සයිටොකයින නිපදවීම අරඹන මූලික අණු සැපයුම ම නවතා දැමන අතර ඇතැම් ඒවා ප්‍රතිශක්ති සෛලවල ප්‍රතිග්‍රාහක අවහිර කරයි. තවත් සමහරක් ඒවායෙන් යැවෙන සෛලමය සංඥා අවහිර කරයි. කොවිඩ් – 19 එරෙහිව මින් සමහරක් ඖෂධ මද පිටුවහලක් සැපයුව ද අනෙක් අවස්ථාවලදී අසාර්ථක වී ඇත.
සයිටොසොර්බ් (Cytosorb)
තාවකාලික හෝ මිශ්‍ර සාක්ෂි
සයිටොසොර්බ් යනු සයිටොකයින කුණාටුව සමනය කිරීමේ අදහසින් රුධිරයෙන් සයිටොකයින පෙරන කාටිරිජයකි. මේ යන්ත්‍රයට පැය 24 ක කාලයකදී රෝගියෙකුගේ සම්පූර්ණ රුධිර සැපයුම 70 වාරයක් පවිත්‍ර කළ හැකිය. FDA හදිසි අවස්ථා භාවිතයට අනුමැතිය ලැබී ඇති අතර තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ.
මූල සෛල (stem cells)
තාවකාලික හෝ මිශ්‍ර සාක්ෂි
ඇතැම් මූල සෛලවලට ප්‍රති-ප්‍රදාහ අණු අන්තස්‍රාවය කර හැකිය. සයිටොකයින කුණාටුවට එරෙහිව ඒවා භාවිත කිරීමට පර්යේෂකයෝ කලක් තිස්සේ වෙර දරති. කොවිඩ් – 19 පෙළෙන රෝගීන්ට උපකාරී වීම සඳහා ඒවා යොදාගත හැකි දැයි සොයා බැලීම පිණිස පරීක්ෂණ ගණනාවක් පැවැත්වේ. කෙසේවෙතත් අතීතයේ දී මෙම ප්‍රතිකාර එතරම් සඵල නොවූ අතර කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කරාවී ද යන්න පැහැදිලි නැත.
අනෙකුත් ප්‍රතිකාර
වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල, Covid-19 රෝගීන්ට පිහිටවීම සඳහා බොහෝවිට අනෙකුත් දායකවන ප්‍රතිකාර ලබා දෙති.
මුනින්තලාව හැරවීම (Prone positioning)
පෘථුලව භාවිත කෙරෙන
Covid-19 රෝගින් මුණින් අතර හැරවීමේ සරල ක්‍රියාව, ඔවුන්ගේ පෙණහලු විවෘත කිරීමට මග පාදයි. ගෝලීය වසංගතය ආරම්භයේ සිටම එය ලොව පුරා රෝහල්වල සුලභ භාවිතයක් බවට පත්විය. එය සමහරක් අයවළුන්ට සංවාතක භාවිතය මුළුමනින්ම බැහැර කිරීමට ඉඩ සලසයි. මෙහි පලදායිත්වය සොයාබැලීමට දිගටම සායනික අත්හදා බැලීම් පැවැත්වේ.
සංවාතක හා වෙනත් ශ්වසන ආධාරක උපකරණ
පෘථුලව භාවිත කෙරෙන
මාරක ස්වසන රෝග වලට එරෙහි සටනේ දී පුද්ගලයන්ට හුස්ම ගැනීමට පිහිට වන උපකරණ අත්‍යවශ්‍ය අංගයකි. අතිරේක ඔක්සිජන් සැපයීමකින් සමහරුන්ට සෙත ගෙන එයි. සමහර රෝගීන්ට සිය පෙණ්හලු සුවපත්වනතුරු හුස්ම ගැනීම පිණිස සංවාතක අවශ්‍ය විය හැකිය. සංවාතක සහාය ලබන කොවිඩ් – 19 රෝගීන් සෑම දෙනාගේම දිවි නොගැලවුණත් බොහෝ අවස්ථාවල එය දිවි ගලවන උපක්‍රමයකි.
ප්‍රතිකැටිකාරක
තාවකාලික හෝ මිශ්‍ර සාක්ෂි
කොරෝනා වෛරසයට රුධිරවාහිනී ආස්තරයෙහි සෛල ආක්‍රමණය කළ හැක. එය ආඝාතය සහ අනෙකුත් දරුණු තත්වයන් ඇති කරවන කුඩා කැටි ඇති කරයි. හෘදයාබාධ වැනි තත්වයන්හිදී කැටි ගැසීම් මන්දගාමී කිරීමට වෛද්‍යවරුන් ප්‍රතිකැටිකාරක භාවිත කරන අතර කොවිඩ් – 19 රෝගීන්ටද ඒවා ලබා දී ඇත. මේ දෙක අතර සම්බන්ධය සොයා බැලෙන සම්පරීක්ෂණ දැන් පැවැත්වේ.
ව්‍යාජ විද්‍යා සහ ප්‍රෝඩා
කොවිඩ් – 19 සඳහා වූ ප්‍රතිකාර ගැන ව්‍යාජ කියාපෑම් අපමණය. මේ ආකාරයේ ව්‍යාජ ප්‍රතිකාර 80 ක පමණ ලයිස්තුවක් FDA සතුය. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් – 19 රෝගය පිළිබඳ මිත්‍යා මත බොහොමයක්ම බිඳ හෙළයි.
විරංජන හෝ වෙනත් විෂබීජ නාශක බීම හෝ එන්නත් කිරීම
අවවාදයයි: මෙය කරන්න එපා
කොවිඩ් – 19 මර්දනයට මධ්‍යසාර හෝ විරංජන වැනි විෂබීජ නාසක සෘජුවම සිරුරට එන්නත් කළ යුතු යැයි අප්‍රේල් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළේය. එසැනින් ලොව පුරා සෞඛ්‍ය වෘත්තිකයෝ මෙන්ම පර්යේෂකයෝ ද එකහෙළා එය ප්‍රතික්ෂේප කළහ. එය ඵලදායි නොවනවා පමණක් නොව මරණය පවා ගෙන යා හැකි ක්‍රියාවලියකි. කොවිඩ් – 19 ප්‍රතිකාරයක් ලෙස විරංජන අළෙවි කළ පුද්ගලයන් සිව්දෙනෙකුට විරුද්ධව ෆෙඩරල් අභිචෝදකයෝ නඩු පැවරූහ.
පාරජම්බුල කිරණ
අවවාදයයි: මෙයට සාක්ෂි නොමැත.
‘පාරජම්බුල කිරණ හෝ වෙනත් බලගතු ආලෝක ධාරාවක්’ ශරීරයට එල්ල කිරිම ගැන ද ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා ඉදිරිපත් කළේය. මනාව පාලනය කළ පරීක්ෂණාගාර තුළ, වෛරස විනාශකිරීම ඇතුළු විෂබීජ හරනයට පර්යේෂකයෝ පාරජම්බුල කිරණ යොදා ගනිති. එහෙත් සිරුරට කෙළින්ම එල්ල කිරීමෙන් රෝගී වුවෙකුගේ විෂබීජ පහකළ නොහැක. මේ ආකාරයේ විකිරණ සමට හානිකර විය හකිය. සමේ පිළිකා බොහොමයක් සූර්යාලෝකයේ ස්වභාවිකව ඇති පාරජම්බුල කිරණවලට නිරාවරණය වීමේ ප්‍රතිපලයකි.
රිදී ප්‍රතිකාරය
අවවාදයයි: මෙයට සාක්ෂි නොමැත.
Covid-19 එරෙහිව ප්‍රතිකාර සඳහා රීදී පාදක කරගත් නිෂ්පාදන ආරක්ෂා සහිතය, පලදායීය යනුවෙන් කියාපාන පුද්ගලයන් සමූහයකට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට F.D.A. අනතුරු හඟවයි. ලෝහ ගණනාවක් සතුව ස්වභාවිකව ප්‍රතික්ෂුද්‍රජීවී ගුණාංග ඇතත් ඒවායින් නිශ්පාදිත ද්‍රව්‍ය වලට කොරෝනා වෛරසය වැළැක්වීමට හෝ ප්‍රතිකාර කිරීමට හැකියාවක් ඇතයි පෙන්නුම් කර නොමැත.
The New York Times හී පළ වූ Coronavirus Drug and Treatment Tracker යන ලිපිය ඇසුරෙනි