සැමට විදු නැන නුවණ – Science Literacy for All

දකුණු ඇමරිකානුවන් පොලිනීසියාවට වසර අටසියයකට පෙර ගමන් කරන්න ඇති

දකුණු ඇමරිකානුවන් පොලිනීසියාවට වසර අටසියයකට පෙර ගමන් කරන්න ඇති

ශාන්තිකර දූපත් මානව වාසය ඇරඹීමේදී දකුණු ඇමරිකාවේ ජනතාව කාර්යභාරයක් ඉටු කරන්නට ඇතැයි DNA හඟවයි.

මෙයට වසර 800 කට පෙර දකුණු ඇමරිකාවේ ස්වදේශික ජනතාව විවෘත මුහුදේ කිලෝමීටර් 7000 කට වැඩි ප්‍රමාණයක් මග ගෙවා දමමින් නැගෙනහිර පොලිනීසියාවට  ළඟා වන්නට ඇති බව නව අධ්‍යයනයකින් දැක්වෙයි. එලෙස ආ අලුතම වාගේ, දකුණු ඇමරිකාවෙන් ආ මානව පිරිස පොලිනීසියාවේ පදිංචිකරුවන් සමඟ ජෝඩු වෙමින්(සම්භෝගයෙහි යෙදෙමින්) එම දුරස්තර දූපත්වල මානව ජනාවාස පිහිටුවීමේ නිරත වූ බව පර්යේෂකයෝ පවසති.  සමුද්‍ර යාත්‍රිකයින් හා මෙතෙක් නිර්ණය නොකෙරුණු නැගෙනහිර පොලිසිනියානු දූපතක ස්වදේශීක ජනතාව අතර  මුලින්ම සිදුවූ DNA  හුවමාරුවෙන් පසුව දකුණු ඇමෙරිකානු පෙලැන්තිය අනෙකුත් නැගෙනහිර පොලිනීසියානු දූපත් වෙත ව්‍යාප්තව වන්නට ඇතැයි ප්‍රවේණිමය විශ්ලේෂණ පෙන්නුම්කරයි.

අන්තිමේදී එම පෙළපත නැතිනම් පරම්පරාව ‘රපා  නුයි’ (Rapa Nui) යනුවෙන් ද හඳුන්වනු ලබන ඊස්ටර් දූපත් දක්වා ඈතක නැගෙනහිර දෙසට පැතිරී ඇති බව පරිගණකමය ජීව විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ලෝනිඩිස් සහ ජනගහන ප්‍රවේණි විද්‍යාඥ ආන්ද්‍රේ මොරෙනෝ එස්ට්‍රාඩා ඇතුළු පර්යේෂකයන් පිරිසක් ජූනි 8 දා මාර්ගගත Nature සඟරාවට ප්‍රකාශ කළහ.

මේ මහ පොළොව මත ඉතාමත් දුර බැහැර ප්‍රදේශයන් වල සම්බන්ධතාවක් ඇති කර ගත් පිරිසකගේ   DNA වල පමණක් වාර්තා වී තිබීම හැර වෙනත් ඒකාන්ත සාක්ෂි නොමැති ප්‍රාග් ඓතිහාසික සිද්ධියක් ගැන “ප්‍රථම ප්‍රවේණි විද්‍යාත්මක එබී බැල්මක් නව අධ්‍යයනයෙන් සැපයෙන බව” මැක්සිකෝවේ, ඉරැපුආටෝ හි ජෛවවිවිධත්වය සඳහා වූ ජාතික ජාන විද්‍යා පර්යේෂණාගාරයේ මොරෙනිනෝ – එස්ට්‍රාඩා කියා සිටී.

දුර බැහැර පොලිනීසියාව මානව වාසයට ලක්වීම සිදුවන්නේ කෙසේද යන්න ගැන අදහස් දිගු කලක් තිස්සේ විද්‍යාත්මක වාද විවාද වලට තුඩු දී තිබේ. මෙහිදී ප්‍රථමයෙන් සිහියට නැගෙන්නේ නෝර්වේජියානු ගවේෂක තොර් හෙයර්ඩාල් ගේ සුප්‍රකට කොන්-ටිකි (Kon-Tiki) ගවේෂණයයි. රපා නුයි ඇතුළු ශාන්තිකර දූපත්, දකුණු ඇමරිකානු මුහුදු යාන්ත්‍රිකයන් විසින් ජනාවාස ඇති කරන ලදැයි යනුවෙන් ඔහු දක් වූ  අදහස මෙහිදී පරීක්ෂාවට ලක් කෙරිණ. පේරු වෙරළබඩට ඔබ්බෙන් කිලෝමිටර් 129 ක පමණ දුරක සිට ලී පහුරකින්  මග ගෙවා දමමින් පොලිනීසියාවට පාවී යාමට හැකිය යන්න එමගින් පෙන්නුම් කෙරිණ. එහෙත් ඒ අවදියේ සිටි උගතුන් විශ්වාස කළේ වසර තුන්දහස්  පන්සීයකට පෙර ආසියානුවන් නැගෙනහිර බලා ගමන් කරමින්,  සාපේක්ෂව (තමන්ට) ළඟපාත බටහිර පොලිනීසියාව වෙත චාරිකා කරන්නට ඇත යනුවෙනි. පසුව,  ඔවුන්ගෙන් පැවත් එන්නන්ම, දකුණු ඇමරිකාවේ කිසි සම්බන්ධයක් නොමැතිව,  මෙයින් වසර 1000ට පමණ පෙර නැගෙනහිර පොලිනීසියාවේ ද ජනගහන ඇතිකරන්නට ඇතැයි අදහස් කෙරින.

එහෙත් ඉන් පසුකලෙක පරිගණක විඩම්භන පෙන්නුම් කළේ උතුරුදිග දකුණු ඇමරිකාවේ සිට සුළං සහ සාගර ප්‍රවාහ මගින් යාත්‍රාවක් පොලිනීසියාව වෙත ගෙන යා හැකි බවයි. එහෙත් පොලිනීසියාව ජනාවාස කිරීමේ මුල් යුගයේදී  මුහුදු යාත්‍රාවේ යෙදෙන දකුණු ඇමරිකානුවන් විසින්  කාර්ය භාරයක් ඉටු කරණු ලැබුවේය  යන මතය පුළුල්ව පිළි ගැනීමට ලක් වූයේ නැත. නිදසුනක් ලෙස එවැනි චාරිකාවකට අවශ්‍ය යාත්‍රා හෝ නාවුක නිපුණතා දකුණු ඇමෙරිකානුන් සතුව තිබුණේ ද යන්න ගැන දැනුමක් නැතැයි ඇට්ලැන්ටා විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥ හා ජනගහන ප්‍රවේණි විද්‍යාඥ ජොන් ලින්ඩෝ පෙන්වා දෙයි.

නව අධ්‍යනයට සම්බන්ධ පර්යේෂක පිරිස, පොලිනීසියාවේ දූපත් දාහතක ජනගහනයෙන් සහ මධ්‍යම හා දකුණු ඇමෙරිකාවේ ශාන්තිකර වෙරළට සාපේක්ෂව ආසන්න ස්වදේශික කණ්ඩායම් 15ක   පුද්ගලයන් 807කුගේ හවුල් පැලැන්තිය පිළිබඳ අණුක සලකුණු(molecular markers) ගැන සොයා බැලූහ. ප්‍රවේණි දත්තවලට රපා නුයි පදිංචිකරුවන් සහ අනෙකුත් ශාන්තිකර දූපත්වල පුද්ගලයන් 188 දෙනෙක් අයත් වූහ. ඇමරිකාවේ එකිනෙකට වෙනස් ස්ථාන හතරක පුද්ගලයන් හතර දෙනෙකුගේ නියැදි හැර අනෙකුත් DNA සියල්ල ලැබුනේ අද දින ජනතාවගෙනි. පෙරකී පෞරාණික පුද්ගලයන් ජීවත්ව ඇත්තේ මීට වසර 500ක් සහ වසර 7,400ක් අතර පෙර පමණ කාලයක ය.

කෙසේ වෙතත් පොලිනීසියානුවන් සහ දකුණු ඇමරිකානුවන් අතරේ සම්බන්ධතා ගැන මීට වෙනස් අනුවාදන ද පවතී. නව අධ්‍යයනයෙන්ද සහයක් ලැබෙන ඉන් එක් අනුවාදනයකින් දැක්වෙන්නේ රපා නුයි මුතුන් මිත්තන්වන ජනපදවාසීන් දකුණු ඇමරිකාව වෙත ගමන් කර සමහරවිට බතලද සමග ආපසු එන්නට ඇතැයි යනුවෙන් බව  නිව්යෝක්හි බින්ග්හැම්ටන් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥ කාල් ලිපෝ පවසයි. අනතුරුව ඒ මුතුන් මිත්තන් නැගෙනහිර පොලිනේසියා දූපත්වල බහුතරයක් වෙත එම බෝගය (බතල) සහ දකුණු ඇමරිකානු  DNA  ද රැගෙන එන්නට ඇතැයි හෙතෙම කියයි. මෙයට කලින් සමහර විද්‍යාඥයන් විසින් දරණු ලැබූ  මතයක් වූයේ පොලිනීසියානුවන් දකුණු ඇමරිකාව අතර එහාට මෙහාට ගමන් මීට වසර අටසීයකට පෙර  බතල ද, මෙයට වසර 600කට වැඩි කාලයකට පෙර බාගදා කුකුළන්ද නැගෙනහිර පොලිනීසියාවට ගෙන එන්නට ඇති බවයි. පුරාණ පොලිනීසියානුවන් සතුව තිබූ මුහුදු යාත්‍රා කිරීම පිළිබඳ දැවැන්ත දැනුම ඔවුන්ට දකුණු ඇමරිකාවට යාම් ඊම් පහසු කිරීමට මග සලකන්නට ඇතැයි යන අදහසටට ලින්ඩෝ එකඟ වෙයි.

පුරාවිද්‍යාත්මක වටිනා කමින් යුත් වස්තුවල විකිරණශීල කාබන් කාල නිර්ණය(Radiocarbon dating) මෙන්ම, වාග්විද්‍යාත්මක අධ්‍යයන හඟවන්නේ වර්තමාන අධ්‍යනයේ දැක්වෙන කාලය වන කාලයට වසර 200ක්ට පමණ පෙර 1200ක්ට පමන කාලයේ දී,  දකුණු අමරිකානු සම්භවයක් සහිත මනුෂ්‍යයන් රපා නුයි වෙත එන්නට ඇති බව යයි ස්විඩනයේ උප්සාලා විශ්වවිද්‍යාලයේ  පුරාවිද්‍යාඥ පෝල් වලින් මේ ගැන අදහස් දක්වමින් කියා සිටියි.  DNA හුවමාරුවන්නට කලින් දකුණු ඇමරිකාව සහ රපා නුයි අතර වෙළඳ සහ සස්කෘතික සම්බන්ධතා තිබෙන්නට ඇතැයි යනු ඔහුගේ අදහසයි.

කෙසේවෙතත්, මේ ප්‍රශ්න විසඳා ගත හැක්කේ වඩාත් විශාල ප්‍රවේණිවිද්‍යාත්මක අධ්‍යයනකිනි.

 

Science News හී පළ වූ  South Americans may have traveled to Polynesia 800 years ago යන ලිපිය ඇසුරෙනි

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: