සැමට විදු නැන නුවණ – Science Literacy for All

පිපාසය සංසිඳවීමට ලවන හරණය කළ සහ ප්‍රතිචක්‍රිය පල්දොරු ජලය

පිපාසය සංසිඳවීමට ලවන හරණය කළ සහ ප්‍රතිචක්‍රිය පල්දොරු ජලය

අපේ ග්‍රහලෝකය එන්ට එන්ටම උණුසුම් වේ. වියළි වෙයි. බීමට සුදුසු ජලය හිඟ ය. ඉතින් අපි මොකද කරන්නේ? මේ ලිපියෙන් කියැවෙන්නේ  මෙතෙක් ඒ සඳහා යොදා නොගත් විශාල මූලාශ්‍ර දෙකක් ගැනැයි: සාගර ජලය සහ පල්දෝරු ජලයයි.

ලවණ හරණය නැතිනම් කරදියෙන් ලුණු ඉවත්කිරීම, වසර දහස් ගණනක් තිස්සේ සිදු කෙරෙන ක්‍රියාදාමයකි. එහි පුරෝගාමින්,  සමහරවිට,  ආදිකාලීන ග්‍රීකයන් විය හැකියි. ක්‍රිස්තු පූර්ව 4 සියවස තරම් ඈත කාලයක දී නාවිකයෝ, ලවණ සහිත ජලය උණු කොට එයින් නැගෙන හුමාලය මේ ක්‍රියාදාමය සඳහා උපයෝගී කර ගත්හ. එම හුමාලය හෙවත් වාෂ්පය, සිසිල් කළ විට ඝනීභූත වී ආපසු ජලය බවට හැරෙන්නේ සියලු අපවිත්‍ර කාරකවලින් මුක්තවය. මේ මූලික සිද්ධාන්තයම. එනම්   ‘තාප  ලවණහරණය'(thermal desalination), ජලය නැටවීම සඳහා අවශ්‍ය ඉන්ධන ලාබයට ගත හැකි  සෞදි අරාබිය වැනි ප්‍රදේශවල තවමත් භාවිතයට ගැනේ.

1960 ගණන්වල සිට ලවණහරණ ක්‍රියාකාරකම් බොහොමයකදී යොදාගැනෙන්නේ ප්‍රති ආස්‍රැතියයි(reverse osmosis). අර්ධ පාරගම්‍ය පටල හරහා දියර (ද්‍රව, තරල) ගලායද්දී අපේ සෛල තුළ සිදුවන විද්‍යාත්මක ක්‍රියාදාමය මෙම ප්‍රති ආස්‍රැති ක්‍රියාදාමය මගින් විඩම්භනය කෙරේ.

පිරිසිදු ජලය ලබා ගැනීම සඳහා ලවණ හරණය සිදු කිරීමේදී, මහා අභියෝගයන්ට මුහුණ දීමට තවමත් සිදුවෙයි. මේවා අතුරෙන් මුලටම එන්නේ බලශක්තිමය වියදමයි. සුප්‍රකට NASCAR  මෝටර් රථ ධාවන තරග සඳහා යොදා ගන්නා ප්‍රබල රථයක ඉන්ධන වැඩියෙන්ම ලබා දෙන අවස්ථාවේ අශ්වබල 700ක් ඇති කෙරෙන අතර ඒ හා සංසන්දනාත්මක්ව ගන්නාවිට ඊශ්‍රාලයේ, ටෙල් අවිව් හී සොරෙක්(Sorek) පොම්පාගාරයේ ඇති පොම්ප පෙළ එක්ව ගත් කල අශ්වබල 7000ක්  (හෝ පීඩන  සෑම වර්ග අඟලකට රාත්තල් 1100ක්) යොදා ගනියි. (සොරෙක් යන්ත්‍රාගාරය යනු දිනකට ජලය ගැලුම් මිලියන  200ක් පිරිසැකසුම් කරන ලෝකයේ විශාලතම ලවණහරන පහසුකමයි).

පොම්පවල, පයිප්ප සැලසුමෙහි සහ පටක වැඩිදියුණු කිරීමෙන් ලවණහරණය සඳහා යොදාගන්නා බලශක්තිය අඩකින් පමණ පසුගිය දශක දෙකේදී අඩුකර ගැනීමට හැකිවී තිබෙන බව සත්‍යයකි. තවද තවතවත් වැඩිදියුණු කිරීම් හඳුන්වා දෙද්දී බලශක්ති ඉල්ලුම පහළ වැටෙයි. එහෙත් එය දිගටම බාධකයක් හැටියට පවතින බවයි බොහෝම දෙනකු අදහස් කරන්නේ.

කැලිෆෝනියාවේ ලවණහරන යන්ත්‍රාගාරය පිහිටුවීමට ගන්නා පියවර පරිසර සංවිධාන බොහෝමයක විරෝධය එල්ල වී තිබේ. California Coastkeeper Alliance එවැනි එක් කණ්ඩායමකි. එහි විධායක අධ්‍යක්ෂිකා  සරා අමිෂාඩේ මෙසේ සඳහන් කරයි: “ලවනහරණය සර්ව රෝග නිවාරණයක් වගේ පෙනී යන්න පුළුවන්. ඒ වුනාට පිරිවැය හා බලශක්ති පැත්තෙන් බලනකොට ඒක තමයි තියෙන නරකම විකල්පය”.

ප්‍රතිචක්‍රීකරණය කරන ලද අපත ජලය

අනාගත ජල සැපයුම කෙරෙහි වඩාත් තීරණාත්මක වන තවත් මූලයක් ඇත. මෙය ප්‍රතිචක්‍රීකරණය කරන ලද අපත ජලය කියන ප්‍රසන්න වදන්වලින් ද හඳුන්වනු ලබන පල්දොරු ජලයයි.  මානව පල්දොරු ජලය යන්නට දැනට අප වැසිකිලි වලින් බැහැර කොට කාණු දිගේ  ගලාගෙන යන ජලය අයත් වෙයි. එම පල්දොරු ජලය අපේ ආහාර වගා කිරීම සඳහා උදව් වෙතැයි යන්න අපට අදහා ගන්නට පවා අපහසුය.  ඉතින්,  එම ජලය බීමට ගන්නවා කීවොත්?

අදාළ රූපය

මේ ආකාරයේ ‘වැසිකිලියේ සිට ජල කරාමය’ වෙත මාදිලියේ විශාල ජලශුද්ධාගාරයක් නිරිතදිග කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් සහ සැන් දියාගෝ අතර පිහිටි ඔරෙන්ජ් ප්‍රාන්තයේ‍  පිහිටා ඇත. මේ මගින් බීමට සුදුසු ජල ගැලුම් මිලියන100ක් දිනකට පොම්ප කරනු ලැබේ.  ජල සැපයුම ප්‍රාන්ත වැසියන් 850,000කට ප්‍රමාණවත්ය. ඒ අනුව මෙය මේ ලෝකයේ තිබෙන එම මාදිලියේ විශාලතම පහසුකමයි.  මෙකී පල්දොරු ජලය අදියර අටක පෙරහන ක්‍රියාදාමයකට ලක්වේ. ඊට බොරළු, වැලි පෙරහනක් මෙන්ම බැක්ටීරියා මඬින ‘ජෛවී ඇතිල්ලීමේ'(“bioscrubbing”) අදියරක්  ද, ‘ක්ෂුද්‍ර පෙරන”(“microfiltration”) අදියරක් ද අයත්ය.

ඔරෙන්ජ් ප්‍රාන්තයේ මෙම ජල පහසුකම, ලවන හරණයෙන් ලබා ගන්නා ජලය තරම් ම පාරිශුද්ධ බීමට සුදුසු ජලය පල්දෝරු ජලයෙන් ලබාගැනීමේ පූර්වාදර්ශ සපයමින් (එවැනි) ජල ශුද්ධාගාර පිහිටුවීමට මගපාදනු  ඇත. ලවණ හරනය හා සසඳන විට මේ ක්‍රියාදාමය වියදම් අඩු ය. පල්දොරු ජලයෙහි මුහුදු ජලයෙහි තරම් ලවන නොමැත. ඒ නිසා පිරිපහදුව පහසුය. “ප්‍රතිචක්‍රීයකරණයට ලක් වූ අපජලය ජල කර්මාන්තයන්ගේ වඩාත් සීඝ්‍රයෙන් ඉදිරියට ඇදෙන අංගයක් බවට පත් වෙලා. ඇයිද දන්නවද?  සෑම නගරයක් ආසන්නයේම සාගරයක් නැහැනේ. හැම රටකම විශාල විල්, ගංගා නැහැනේ.  ඒත් ඕනෑම ප්‍රදේශයක පල්දෝරු ජලය තියනවනේ” යනුවෙන් ස්නේහා දේශායි කියා සිටි. ඇය (මෙහි) පෙර සඳහන් කළ කැලිෆෝනියාවේ පිහිටි ඔරෙන්ජ් ප්‍රාන්තයේ දැවැන්ත පල්දොරු ජල සැකසුම් ආයතනයේ ගෝලීය ව්‍යාපාර අධ්‍යක්ෂවරියයි.

2030 වනවිට තම ජල අවශ්‍යතාවයෙන් (හුදෙක් වාරිමාර්ගය ට පමණක් නොව බීමට ද ඇතුළුව) 35% ක් ප්‍රතිචක්‍රීය පල්දොරු ජලය ලබා ගැනීමට අදහස් කරන බව දකුණු කැලිෆෝනියාවේ මැක්සිකෝ දේශසීමාව ආසන්නයේ පිහිටි සැන්දියාගෝ නුවර මෑතක ප්‍රකාශයට පත් කළේය. එම  යෝජිත පහසුකම ඔරෙන්ජ් ප්‍රාන්තයේ පහසුකමට වඩා විශාලය. එහෙත් විසඳාගත යුතු ප්‍රශ්නයක් ද ඇත. පල්දොරු ජලයට ඇති පිළිකුල ඉන් එකකි. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයක ගඟනගාමියෙකු හැර,  බීමට ගන්නා ජලය සඳහා සිය ප්‍රථම තේරීම වශයෙන් තමන්ගේම මුත්‍රා බීමට පෙළඹෙන්නෝ කවරහු ද? “ඒක හරියට හිට්ලර් ඇඳපු කබායක් අඳින්නැයි කෙනෙකුට කියනවා වගේ. කොච්චර වාරයක් පිරිසිදු කරත් ඒ කබායෙන් හිට්ලර්ව ඉවත් කරන්න අමාරුයි නේ” යනුවෙන් පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥ පෝල් රොසින් කියා සිටී. එහෙත් ගුණාත්මක බවින් ගතහොත්  ප්‍රති ආස්‍රැතිය(reverse osmosis)  යොදා ගන්නා පල්දොරු ජලය සම්ප්‍රදානුකූල ජල පිරිපහදුවලින් සැපයෙන ජලයටත් වඩා, ඒ තබා ඇතැම් බෝතල් කරන ලද ජලයටත් වඩා, පිරිසිදු බව දේශායි පෙන්වා දෙයි. ජල පිරිපහදු තාක්ෂණය සෑම තැනකම කේන්ද්‍ර ගතවනු ඇතැයි ඇය අනාවැකි පළ කරයි.

 

 

IDEAS.TED.COM   හී පළවී ඇති  Would you drink desalinated seawater? Recycled sewage water? යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: