සමහර අයගේ බර කවදාවත්ම වැඩි නොවෙන්නේ ඇයි?

Posted by
සමහර අයගේ බර කවදාවත්ම වැඩි නොවෙන්නේ ඇයි?

මේක ජීවිතයේ මහත් අසාධාරණයක් කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. මොකද සමහරු කන්නේ බොන්නේ ඉතාම පරිස්සමින්, තමන්ගේ බර වැඩි වෙයි කියලා බයයි. තව කොටසක් ඉන්නවා ආයේ දෙවරක් හිතන්නේ නැතුව ඕනෑම දෙයක් කනව බොනව. ඒත් ඒ   අයට කිසිම ප්‍රශ්නයක් නෑ මොකද කොපමණ කෑවත් බර වැඩි වෙන්නෑ. එක පිරිසකට එක විදිහක්, තවත් පිරිසකට තව විදිහක්! ඉතින් මෙතන තියෙන රහස කුමක්ද? සමහරු ඔය විදියට (කෑමෙන් පරෙස්සම් නොවී)  තමන්ගේ බර පාලනය කර ගන්නේ කොහොමද? මේක සිඝ්‍රයෙන් සිදුවන  පරිවෘත්තියට වඩා සංකීර්ණ කාරණාවක්. මේ ප්‍රශ්නයට සරල උත්තරයක් දෙන්න අමාරුයි කියලා රෝඩ් දූපත් විශ්වවිද්‍යාලයෙහි පෝෂණ සහ ආහාර විද්‍යා මහාචාර්යවරියක් වන කැත්ලීන් මෙලැන්සන් කියා සිටිනවා.  මෙහිදී ජානමය හෙවත් ප්‍රවීණි විද්‍යාත්මක,  පෝෂණමය සහ චර්යාමය සාධක පවා සම්බන්ධ වෙන බව පෙන්වා  දෙන ඇය කියා සිටීන්නේ,  ඒ ඒ පුද්ගලයා ගත්තොත් මෙම සාධක  ඔවුන්ට කොපමණ දුරට බලපාන්නේ ද යන්නත් එකිනෙකාට වෙනස් වෙන බවයි.

මෙයට බලපාන වඩාත්ම වැදගත් සාධක අතරට පුද්ගලයාගේ ශරීර ස්වභාවය, පරිවෘත්තිය එහෙමත් නැත්නම් සඳ ඇති රැයක සිදුකරන මායමක් වැනි දේ අයත් වන්නේ නැහැ. එහෙම නම් වඩාත්ම වැදගත් සාධකය සංජානනයයි(perception). අප තේරුම් ගන්නා  ආකාරයයි. කුමන දෙයක් කෑවත් බීවත් කොහොමටවත්  බර වැඩි වෙන්නේ නැති ඇයෙකු ලෙස  අපි හිතෙන පුද්ගලයා අනෙක් අයට වඩා ඇත්තටම වැඩිපුර කන අය නෙවෙන්න පුළුවන්. හැබැයි අපට ඒ විදිහට තමයි පෙනී යන්නේ. අපි තේරුම් ගන්නේ ඒ විදිහට. උදාහරණයක් ගමුකො. ඔබ හොඳටම දන්නා අන්දමට දිනපතා අයිස් ක්‍රීම් කන මිතුරියක් ඔබට ඉන්න පුළුවන්. ඉතින් අයිස් ක්‍රීම් වගේ දේවල් ඉඳ හිට කෑවත් ඔබගේ බර වැඩි වුනත් අර මිතුරියගේ  බර වැඩි වෙන්නේ නැහැ. ඒත් මෙතනදි  සිද්ධ වෙන්න පුළුවන් දේ මේකයි: ඔබ දකින්නේ දිනපතා, ඔව් හැමදාම මිතුරිය අයිස්ක්‍රීම් කන බවනේ? එහෙම කෑමෙන් එයාගේ සිරුරට එකතුවෙන අතිරේක කලරි ප්‍රමාණය, දවසේ වෙනත් අවස්ථාවල දී කැලරි අධික ආහාර නොගැනීමන් හෝ  ආහාර අඩුවෙන් ගැනීමෙන් තුලනයක් ඇතිවෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම්, පිට්සා කන්න ගියා කියලා හිතමුකෝ. සමහරු ඉක්මණින් ඒවා කා දමන අතර තවත් අය හෙමින් හෙමින් කද්දී ඒ අයගෙ බඩ පිරි අනෙක් අයට වඩා කෑල්ලක් දෙකක් අඩුවෙන් කනවා වෙන්න පුළුවන්. එත් අපට තේරුම් යන්නේ අපි කවුරුත් පිට්සා කෑවා නේ ද යනුවෙන්. වෙන විදිහකට කිව්වොත්, සමහරු වැඩිපුර කැලරි ප්‍රමානයක් ගන්නවා වගේ අපට තේරුණාට ඇත්තම කතාව ඒක නොවෙන්න පුළුවනි.

අදාළ රූපය

“ඔය මොනවා කෑවත් බර වැඩිවෙන්නේ නෑ කියල අප හිතන  පුද්ගලයන්ගේ කැලරි මැන බැලුවොත් ඒ අය ඔබ හිතන තරම්  කෑම කන්නේ නැතුව ඇති”. එහෙම කියන්නේ පෙනින්ග්ටන්  ජෛවීවෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයෙහි ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ෆ්‍රෑන්ක් ග්‍රීන්වේ යි. “ඒ අය කන වෙලාවට කැලරි වැඩි ආහාර ගන්නවා ඇති. හැබැයි ඒ තමන් සාමාන්‍යයෙන්  කන ප්‍රමාණය  පමණයි.  ඒ වගේ ආහාර සමහර අයට ප්‍රමාණයට වඩා  වැඩිපුර කන්නේ නැතුව පාලනය කර ගන්න බෑ. එතකොට අපට හිතෙන්නේ අරයා කෑවෙත් අපි කෑවෙත් එකම ආහාර වුනත් අපේ බර වැඩි වෙනවා එයාගේ බර වැඩි වෙන්නෑ කියලායි”. වෙනත් ආකාරයට කියනවා නම් සංජානනයේ ප්‍රශ්නයක්.

ශාරීරික ක්‍රියාකාරකම් වලින් වුණත් යම් වෙනසක් ඇතිවෙන්න පුළුවන්; ඒත් ඒක ඔය ජිම් එකකට(ක්‍රීඩාගාරයකට) ගිහින් කරන් ව්‍යායාම් ම වෙන්න ඕන නැහැ.  ” සමහරුන්ගෙ ස්වභාවයෙන්ම චලනයන්, එහා මෙහා වීම් වැඩියි. නිවසේ, කාර්යාලයේ කොතැනක සිටියත් කුසීතව එක් විදිහකට තැන්පත් වෙලා ඉන්නවා අඩුයි. සමහරු නිතර අතපය සොලවනව. එහෙමෙහෙ ඇවිදිනවා. නිරන්තරයෙන්ම හරිම ක්‍රියාකාරීයි. සමහරුන්ගේ රැකියාවේ ස්වභාවයන්ම ක්‍රියාකාරී වෙන්න පුළුවන්. මහන්සි වෙන්න පුළුවන්. එහා මෙහා නොවී මහන්සි නොවී  ඉන්න බැරි නොවෙන්න ජානමය වශයෙන් පූර්ව හැඩගැස්මකුත්  තියෙන බවට පවා සාක්ෂි තිබෙනවා යයි මෙලන්සන් පවසනවා.  ඉතින් සමහරුන් තුල ස්වභාවයෙනම ඇති අතිරේක චලනය අපේ ශරීරයේ පරිවෘත්තිය බල ගන්වනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ව්‍යායාම නොකරාට දවස පුරා අප වැය කරන ශක්තිය තීරණය කරන්න උපකාරී වෙනවා.

“ඔබ වැඩිපුර එහා මෙහා යත්ම මාංශ පේශි වල සෛල තුළ මයිටොකොන්ඩ්‍රියා (බොහෝ සෛලවල විශාල සංඛ්‍යාවලින් දැකිය හැකි ශ්වසන සහ ශක්ති නිෂ්පාදන ජෛවරසායනික ක්‍රියාදාමය සිදුවන්නාවූ ඉන්ද්‍රිකාවක්)  සංඛ්‍යාවෙන් වැඩි වෙනවා පමණක් නොව ඒවායේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා. ඒවා තමයි චලනයට අවශ්‍ය ශක්තිය නිපදවන බලාගාර”  මෙලන්සන් පවසනවා. මයිටොකොන්ඩ්‍රියා වැඩිවෙනවා කියන්නේ කැලරි වැඩියෙන් දහනය වනවා කියන එකයි.

සමහර පුද්ගලයන් ව්‍යායාම නොමැතිවම අනෙක් අයට වඩා කැලරි දවන ආකාරයට උත්ත්පත්තිය ලබා ඇති බවක් ඔප්පු කරන්න තියෙන සාක්ෂි දුලබ බව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඉනෙ බැරෝසො පෙන්වා දෙනවා. ඔහු ස්ථූලතාවයේ(තරබාරුකමෙහි) ජාන  විද්‍යාත්මක අධ්‍යනයන්හි නිරත පර්යේෂකයෙක්.  එහෙත් අධික ස්වයං පාලනයක් නොමැතිව තමන් පරිභෝජනය කරන කැලරි ප්‍රමාණය ස්වභාවිකව යම් පාලනයකට ගෙන එන්නට ඇතැම් පුද්ගලයන් සතුව භෞතවේදී හැකියාවක් තියෙන්න පුළුවන් කියලා මෙලන්සන් කියනවා. අපේ රුධිර  ස්නායු පද්ධතිය තුල සංසරනය වෙන  ස්නායු පද්ධති සංඥා සහ හෝමෝන තමයි  අපට බඩගිනි ද නැත්නම් බඩ පිරිලා ද කියන්න අන්තර්ක්‍රියා කරන්නේ.  ඒකට කියන්න ක්ෂුද්‍රා නියාමක පද්ධතිය(appetite regulatory system) කියලයි.  මෙය ඇතැම් පුද්ගලයන්ගේ අනෙක් අයට වඩා සංවේදී වෙන්ට පුළුවන්.

මෙහිදී අදාළ වන එක් වැදගත් හෝමෝනයක් තමයි ලෙප්ටින්(leptin). අපගේ ඊළඟ කෑම වේලට  පමණක් නොවෙයි දිගු කාලයක් තුල අපිට කන්න ඕන ප්‍රමාණය නියාමනය කරන්න ලිප්ටන් ආධාර වෙනවා. ඉතින් එකට කෑම ගනිද්දී  වඩාත් සංවේදී පද්ධතියක් තියෙන පුද්ගලයෙක් දෙතුන් වතාවක් බෙදාගෙන කන්න පුළුවන් අතර පස්සේ දින දෙක තුනක් කෑම අඩුවෙන් කන්න පුළුවන්.

පුද්ගලයෙක්ගේ බර වැඩිවීම හෝ අඩුවීම සම්බන්ධයෙන් ජාන විද්‍යාව ද යම් කාර්යයක් ඉටු කරනවා විය හැකියි. ස්ථූලතාවය හා සම්බන්ධ  විවිධ DNA කලාප 250 කට වැඩියෙන් පර්යේෂකය්යන් හඳුනාගෙන ඇතැයි PLOS Genetics හි ප්ලවූ 2019 අධ්යයන් වාර්තාවක් දක්වනවා. එහෙත් එහි සම කතෘ බැරෝසො කියන විදිහට කෙනෙකුගේ බර තීරනය කිරීම ජාන මගින්ම පමණක් සිද්ධ වෙන්නේ නැහැ.

ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ බර වැඩිවීමට හෝ එක ගණනකට පවත්වාගෙන යාමේ ප්‍රවණතාව කලින්ම තීරණය වූවක් නොවුණත් තනිකරම අපේ පාලනය යටතේ තියෙන්නක් ද නොවන බවයි. “ඉතින් බර වැඩිවීම හුදෙක් ස්වයං පාලනයක් නැතිකම නිසාම සිදුවෙන්නක් නොවෙය්” මෙලන්සන් ප්‍රකාශ කරනවා.

 

Live Science හී පළවූ Why do some people never gain weight?  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.