ලුණු කෑම ඇත්තටම අගුන ද?

Posted by

ලුණු කෑම ඇත්තටම ඇඟට අගුනද? නැද්ද?

සාමාන්‍යයෙන් ප්‍රකාශයට පත්ව තිබෙන අන්දමට ලුණු සෞඛ්‍යයට අහිතකර ලෙස සැලකුණත් නව අධ්‍යනයක් පෙන්නුම් කරන්නේ ලුණු, හිතන තරම්  අගුණ නොවන බවයි.  ලුණු ආහාරයට ගැනීම තවදුරටත් අඩු කරනු වස් ජනතාව පෙලඹවීමේ ප්‍රචාරක ව්‍යාපාර වලින් වැඩක් සිදු වේ නම් ඒ සෝඩියම්(sodium) පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක ඇති චීනය වැනි රටවල දී පමණක් බවය මේ මතභේදාත්මක පර්යේෂණයෙන් කියවෙන්නේ.  සෞඛ්‍ය සංවිධානය දිනකට ආහාරයට ගන්නා ලවණ ප්‍රමාණය ග්‍රෑම් 2 ( ඒ කියන්නේ මේස ලුණු ග්‍රෑම් 5ක්) නොඉක්මවිය යුතු යැයි නිර්දේශ කරයි. මීට හේතුව ලුණු හා අධික රුධිර පීඩනය අතර ඇති සම්බන්ධයයි. අධික රුධිර පීඩනය  ආඝාතයට (stroke) සම්බන්ධ වේ.

NEGATIVE IMPACT OF HIGH SALT INTAKE - Healthonics

එහෙත් ලෝකයේ කිසිම රටක ජනතාව, සිය දෛනික ලුණු හෝ සොඩිඋම් ගැනීම එ පමණ අඩු මට්ටමක  ගෙන ඒමට සමත්ව නැතැයි Lancet  වෛද්‍ය සඟරාවෙහි පළ කරන ලද මෙම වාර්තාවෙහි කතුවරු කියා සිටිති. මෙම කැනේඩියානු පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේ අන්දමට ලුණු පරිහරණය අඩුකිරීමට එක්සත් රාජධානිය හෝ එක්සත් ජනපදය වැනි රටවල මේසා වෑයමක් දැරීම තේරුමක් රහිත කාර්යයක් බවයි. හැමිල්ටන්හි ජනගහන සෞඛ්‍ය පර්යේෂණ ආයතනය සෞඛ්‍ය විද්‍යා ආයතනයේ සහ  මැක්මාස්ටර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩෲ මෙන්ටේ සහ සගයන් විසින් සිදු කරන ලද මෙම අධ්‍යනය විශාල එකකි. රටවල් 18 ක තුන්සියයකට අධික ප්‍රජාවක් තුළ 90,000කට වැඩි පිරිසක් ඊට සම්බන්ධ කර ගැනිණ. මොවුන් ඉදිරිපත් කර ඇති නව මතය,  ලුණු පරිභෝජනය බෙහෙවින් සීමා කිරීමට දැඩි සේ වෙහෙසෙන විද්‍යාඥයන්ගේ  මතය හා ගැටුමකට ක්ෂණිකව තුඩු දී ඇත.

Pass the salt, please. It's good for you. - The Washington Post

මෙන්ටේ සහ සගයන් විසින් සොයාගනු ලැබ ඇති අන්දමට සෝඩියම් වල හානිකර බලපෑම් – අධික රුධිර පීඩනය හා අඝාතය – ඇතිවන්නේ චීනය වැනි රටවල ය. එහි සෝයා සෝස් භාවිතය බහුල වීමෙන් දිනකට අයකු ගන්නා සෝඩියම් මට්ටම ග්‍රෑම් 5 ඉක්මවයි.  ඒ කියන්නේ ලුණු ග්‍රෑම් 12 කට සමාන ප්‍රමාණයකැයි මෙන්ටේ සහ සගයෝ පෙන්වාදෙති. තවද අඩු ලුණු මට්ටම් ඇත්තටම හෘදයාබාධ හා මරණ වැඩි ප්‍රමාණයකට මගපාදන බව ද ඔවුන්ට පෙනී ගියේය. ඉන් හඟවෙන්නේ මධ්‍යස්ථ මට්ටමක ලුණු පරිහරණය ආරක්ෂිත විය හැකි බවයි.

Sodium Chloride - Assignment Point

Structure of NaCl (Sodium chloride) - YouTube

“මධ්‍යස්ථ ප්‍රමාණයකට ලුණු ගැනීම හෘදවාහිනී සෞඛ්‍යයට හිතකර වන බවට අපේ අධ්‍යනයෙන් ඕන තරම් සාක්ෂි සොයා ගන්නට පුළුවනි. ඒත් ලුණු පරිභෝජනය ඉතා ඉහල හෝ ඉතා පහළ මට්ටමක තිබීම හානිකර බලපෑමට ඉඩ තියෙනවා. අත්යවශ්‍ය පෝෂකයක් හා සෞඛ්‍යය අතර අප බලාපොරොත්තු වන සම්බන්ධය මෙයයි. අපේ ශරීරවලට සෝඩියම් වගේ අත්‍යවශ්‍ය පෝෂක ඕන කරනවා. ඒත් ප්‍රශ්නය තියෙන්නේ කොපමණ ප්‍රමාණයක් ද කියන එකයි” යනුවෙන් මෙන්ටේ කියා සිටියි.

වසර දෙකකට කලින් මෙම කණ්ඩායමම සමාන ප්‍රතිඵල සහිත අධ්‍යන වාර්තාවක් පළ කළහ. එයද පළවුයෙ Lancet සඟරාවෙහි මය. ඊට විචාරකයන්ගේ දැඩි දෝෂ දෝෂාරෝපණ එල්ල වූ අතර ඇමරිකානු හෘද සංගමය අධ්‍යනයෙහි  සොයාගැනීම් ප්‍රතික්ෂේප කළේය.

එම අධ්‍යනයේ දී සොයා බැලූනේ පුද්ගලයන් ගැන ය. නිරීක්ෂණය අධ්‍යනයක් වූ නව අධ්‍යනය මගින්  පුද්ගලයන් වෙනුවට ප්‍රජාවන් ගැන සොයා බැලීණි. මෙම අධ්‍යනයට ද දැඩි විවේචන එල්ල වී ඇත.  “මේ අයගේ 2016 අධ්‍යනය වෙත එල්ල වූ පුළුල් පරාසයක  විද්‍යා ප්‍රජාවගේ දැඩි විවේචන ගැන තැකීමක් කර නැහැ” යයි ලන්ඩනයේ, මේරි බිසව් විශ්ව විද්‍යාලයේ හෘදවාහිනී වෛද්‍ය ආයතනයේ මහාචාර්ය ග්‍රැහැම් මැක්ග්‍රෙගෝර් පවසයි. හෙතෙම Cash (Consensus Action on Salt and Health) යනුවෙන් හඳුන්වනු ලබන ලුණු පරිහරණය අඩු කිරීමේ ව්‍යාපාරයේ ප්‍රාරම්භකයා ය. ” මේ අධ්‍යයනයට විවේචන එල්ල වෙනවා. හෘදයාබාධ වලින් පෙලෙන අය කොහොමටත් ආහාර ගන්නවා අඩුයි. එනිසා ලුණු ද ශරීරයට ඇතුළු වීමත් අඩුයි. ඉතින් රෝගියා මිය යාමට බලපාන්නේ ලුණු අඩුවෙන් ගැනීමට වඩා හෘදරෝගයමය” යයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ලන්ඩනයේ කිංග්ස් කොලිජියේ  පෝෂණවේදය පිළිබඳ සම්මානිත මහාචාර්ය ටොම් සෑන්ඩර්ස් කියා සිටින්නේ ලුණු ගැනීම අඩු කරලීම පිණිස වූ ව්‍යාපාරයෙන් ඇතැම් රටවලට සෙත සැලසී ඇති බවයි.එක්සත් රාජධානිය එක උදාහරණයකි. ලුණු කෑම අඩුවීම සමගම  ජනගහනයෙන් සාමාන්‍ය අධික රුධිර පීඩන මට්ටම පහළ ගොස් තිබේ. අධික රුධිර පීඩනය සහ ආඝාත ඉහල අනුපාතයක පැවැති රටකි ජපානය. එහෙත් 1970 ගණන් වල ලුණු කෑම අඩු කිරීමට ගත් ප්‍රයත්නයන් හි ප්‍රතිඵලයක් ලෙස අද එරට මෙම ආබාධ දෙකෙහිම පහත වැටීමක් දක්නට ඇත.

එහෙත්,  ලුණු නැතිව ආහාර ගැනීමට මිනිසුන් පෙළඹවීම අසීරු කාරණයක් බව ප්‍රාන්ස්  මෙසර්ලි හා ලුවී හොෆ්ස්ටෙටර් යන ස්විස්ටර්ලන්ත සහ නිව්යෝර්ක්හි විශේෂඥයෝ, නව අධ්‍යයනය ගැන අදහස් දක්වමින් කියා සිටීති. මෙහිදි ඔවුහු ඔක්ස්ෆර්ඩ් සරසවියේ  වෛද්‍යවිද්‍යා  මහාචාර්ය ශ්‍රීමත් ජෝර්ජ් පිකරිං වසර පනහකට පමණ කළ කියමනක්  උපුටා දක්වති.  “ලුණු නැති කෑම මෙලෝ රහක් හැහැ. ලුණු නොමැති ආහාර දිගටම  කන්න පුළුවන් ආගමික භක්තියකින් එහෙම කරන්නෙකුට පමණයි”.

“ලුණු ආහාරයට ගැනීම අඩු කිරීමට කැසකවන්නන් හා ආහාරයට ලුණු එකතු කිරීමට උපදෙස් දෙන්නන් යන දෙපිරිසම  කුලල් කා ගැනීම මදකට නතර කොට  ලුණු අඩු කිරීමට ආක්‍රමණශීලීව දරණ වෑයමට වඩා පොටෑසියම් බහුල ආහාර සෞඛ්‍යයට වඩාත් වාසි ගෙන එන්නක් යන උපන්‍යාසය පිළිගැනීමට ක්‍රියාකරන්නේ නම් හොඳය” යි  නව අධ්‍යනයේ   පර්යේෂකයෝ කියා සිටිති.


වැදගත්ම සාධක:

දශක ගණනාවක් තිස්සේ සෞඛ්‍ය බලධාරීන් අපට කියා සිටින්නේ අප ආහාරයට ගන්නා සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් මහජනතාවගේ භාෂාවෙන් කියනවා නම් ලුණු ප්‍රමාණය අඩු කරගන්නා ලෙසයි. ඔවුන් අපට කියන්නේ දිනකට කෙනෙකු පරිභෝජනයට ගන්නා සෝඩියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 2300කට අඩු විය යුතු බවත් සහ ඊටත් අඩු නම් වඩාත් හොඳ බවයි.

ඒ කියන්නේ ලුණු(සෝඩියම් 40%ක්) තේ හැන්දක් හෙවත් ග්‍රෑම් 6ක් පමණය.

සාමාන්‍යයෙන් වැඩිහිටියන්ගෙන් සියයට 90ක් පමණම මෙයට වැඩියෙන් පරිභෝජනය කරන බව වාර්තාවේ.
ලුණු වැඩියෙන් කෑමෙන් රුධිර පීඩනය වැඩිවිය හැකි බවත් එමගින් හෘදයාබාධ සහ ආඝාතය පිළිබඳ අවදානම වැඩිවෙන බවත් කියැවේ.

කෙසේවෙතත්, සෝඩියම සීමා කිරීමේ සැබෑ වාසිය නැතිනම් යහපත ගැන දැඩි සැක සංකා මතුවේ.
ලුණු සංවේදී අධ්‍යාතතිය(අධික රුධිර පීඩනය) යන තත්තවය පවතින පුද්ගලයන් අතරේ ලුණු භාවිතය අඩු කිරීමෙන් රුධිර පීඩනය අඩු කල හැකි බව ඇත්තකි.

එහෙත්, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන්ට සමාන්‍ය අඩුවීම ඉතා සීමිතය.

එපමණක් ද නොව පසු සමාලෝචන අධ්‍යයන සමහරකින් පෙණී ගියේ ලුණු ආහාරයට ගැනීම සීමා කිරීම සහ හෘදයාබාධ, ආඝාතය හෝ මරණයට පත්වීම අතර සම්බන්ධයක් පවතින බවට ප්‍රබල සාක්ෂී නොමැති බවයි.

ඊටත් අමතරව ලුණු අඩු ආහාර වේලකට පුරුදු වීම සෘජුවම අහිතකර ප්‍රතිඵල ගෙන ආ හැකි බවට යම් සාක්ෂි ඇත:
එල්ඩීඑල් ක්ලොරෙස්ටෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් ඉහලයාම,

හෘදයාබාධයෙන් හා හෘදය අක්‍රීය වීමන් මියයාමේ අවදානම් වැඩිවීමට,

ඉන්සියුලින් ප්‍රතිරෝධය ඉහළයාම,

දියවැඩියා රෝගින් අතරේ මරණයට පත්වීමේ අවදානම වැඩිවීම

එම අහිතකර ප්‍රතිඵල අතර වේ


 

healthline හී පළවූ Salt: Good or Bad? යන ලිපිය සහ The Guardian – Science හි පළවූ  Salt not as damaging to health as previously thought, says study යන ලිපිය ඇසුරෙන් යළි සැකසිණ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.