ගෙදර දොරේ ජල භාවිතය අඩු කිරීමෙහිලා සමාගම්, රජයන් සහ පුද්ගලයන් ක්‍රියාකාරී විය යුතු බව අපි පසුගිය සතියේ ලිපියෙහි සඳහන් කළෙමු. ගෙදර දොරේ ජල භාවිතය අඩු කිරීමේ වගකීම නිවාස හිමියන්ට පැවරීම පහසුවුවද ඇත්ත වශයෙන්ම වඩාත් වැදගත් වන්නේ ජලය සඳහා ඇති ඉල්ලුම අඩු කිරීමෙහි ලා සමාගම් සහ රජයන් පිළියම් ලබාදීම, ආයෝජනය කිරීම සහ දිරි ගැන්වීම පිණිස ක්‍රියා කිරීමයි. ගෘහස්ථ ජල ඉල්ලුම පහත හෙලීමේ ලා අනුගමනය කළ හැකි පියවර කීපයක් ගැන අද අපි කතා කරමු.
නවෝත්පාදනය: අමුතුවෙන් හිතන්න
ජල භාවිතය අඩුකර ගැනීමෙ ඉලක්කය ඇතිව ලෝකයේ ප්‍රකට සමාගම් මගින් නිෂ්පාදනවල සමස්ත ජීවන චක්‍රය හෙවත් ඒවා පවතින කාලය තුළ ඒවායේ ජල භාවිතය ඇගයීමට ලක්කෙරෙයි. යම් නිෂ්පාදනයක ජල භාවිතයෙන් විශාල කොටසක් එය නිෂ්පාදනය කරන අවස්ථාවේ නොව ගෘහස්ථව සිදුවන විට නව නිෂ්පාදන බිහි කිරීමෙන් සහ තිබෙන ඒවා සියුම් ලෙස වැඩි දියුණු කිරීමෙන් නිවසේ ජල භාවිතය අඩුකිරීම කෙරෙහි විශාල බලපෑමක් ඇති කළ හැකියි. එක් නිදසුනක් ලෙස ඉහල කාර්යක්ෂමතාවයකින් ක්‍රියාකරමින් වෙලාව ඉතිරි කර දෙන පිඟන් සෝදන යන්ත්‍ර පාරිභෝගිකයන්ට පූර්ව සේදීම මගහරවා ගත හැකිවන අන්දමට සැලසුම් කර තිබීම දැක්විය හැකිය. මේ අනුව, එක් පිඟන් තොගයක් සේදීමේ දී ගැලුම් 15 දක්වා(ලීටර 67.5ක් පමන) ප්‍රමාණයක ජලය ඉතිරි කර ගත හැකි වේ. වියළි ෂැම්පූ සහ කන්ඩිෂනර් වර්ග, ජලය රහිත හෝ ද්විත්ව-ෆ්ලෂ්(ගලායන) වැසිකිලි, අඩු ගලායාමක් සහිත නානවතුර මල් සහ භාවිත නොකරන විට ඉබේටම වැසීයන ජල කරාම, ජලය ඉතිරි කර ගැනීමේ තවත් සමහර නවෝත්පාදන ලෙස දැක්විය හැකිය.
නියාමනය
ජලය භාවිතයේදී අරපිරිමැස්මෙන් ක්‍රියා කළ යුතු බව දැක්වෙන නීතිරීති නවෝත්පාදන දිරි ගැන්වෙන අතර එවැනි නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව ඉහළ නංවයි. බොහෝ රටවල් බලශක්තිය ඉතිරි කිරීම එමෙන්ම ජල භාවිතය කාර්යක්ෂම කිරීම උදෙසා ඇති උපකරණ සඳහා ප්‍රමාණනය හා සහතික නිකුත්කිරීමේ ක්‍රම අනුගමනය කරයි
යුරෝපා සංගමය තුළ පිඟන් සෝදන යන්ත්‍ර සඳහා නව බලශක්ති හා ජල භාවිත ප්‍රමති ලබන වසරේ සිට බලගැන්වේ. එමගින් 2030 වනවිට ජල ඝන මීටර මිලියන 16 ක ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකිවෙතැයි ගණන් බලා ඇත මෙම ප්‍රමාණය යුරෝපීයයන් 300,000කගේ වාර්ෂික ජල අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත්ය.
පරිපූර්ණ පිගන් සෝදන යන්ත්‍ර, පිඟන් සෝදන සෑම වාරයකදීම ගැලුම් පහකට වැඩියෙන් ජලය යොදා නොගත යුතු යැයි එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුව නියම කර තිබේ. පසුගිය වසර 20 තුළ නීතිරීති සහ සහතිකනිකුත් කිරීමේ හේතුවෙන් ඇමරිකාවේ දැනට භාවිත කරන පිඟන් සෝදන යන්ත්‍රවල ජල භාවිතය, එක්දහස් නවසිය අනූ ගණන් වල තිබූ පිගන් සෝදන යන්ත්‍ර හා සසඳන විට අඩකින් පමණ අඩුය. එසේම වර්තමානයේ එරට පිඟන් සෝදන යන්ත්‍ර භාවිතය සදහා ජලය වැයවීම, ඇත්තවශයෙන්ම අතින් රෙදිසෝදන විට දී වැයවන ප්‍රමාණයටත් වඩා අඩුය. ඇතැම් උපකරණ ඉහළම කාර්යක්ෂම ප්‍රමිතීන් අනුගමනය කරන බවට සත්‍යාපනය(verify) කිරිම හෙවත් ඇත්ත නැත්ත විමසා බැලීමට හැකිවන අයුරින් එක්සත් ජනපදයේ මෙන්ම යුරෝපයේ සමාගම් ද රජයන්ට යම් ආකාරවල යාන්ත්‍රණ සපයයි
දැනුවත් කිරීම
නව නිශ්පාදන නිර්මාණය කිරීම සැමවිටම චර්යාමය වෙනසකට මග පෑදිය යුතුම නොවේ. චර්යාවන් නැතිනම් හුරුපුරුදු පහසුවෙන් වෙනස් කළ නොහැකි හෙයිනි. නවෝත්පාදන යෙන් ද ඔබ්බට ගොසින් මුදල් හා අනෙකුත් සම්පත් ඉතිරි කරගනු වස් තමන්ගේ ජල භාවිත චර්යාවන් වෙනස් කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීමෙන් සමාගම් වලට මෙන්ම රජයන්ට ද වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකියි. උදාහරණයක් දක්වන්නේ නම් ඇමරිකා එක්සත් ජනපදයේ ගෘහස්ථ ජල භාවිතයෙන් අති විශාල කොටසක් වැයවන්නේ නිවෙස්වල ගෙවත්තේ තණ මළු(lawn) සඳහා ජලය සැපයීමටය. එම කාර්‍ය සඳහා එරට නිවෙස් වල ජල භාවිතයෙන් දළ වශයෙන් 30%ක්ම භාවිත වේ. (එක්සත් ජනපද නිරිතදිග ප්‍රදේශවල එම ප්‍රතිශතය 60ක් දක්වා ඉහළ යා හැකිය.) තණ මළු සදහා වතුර යෙදීම අඩුවෙන් සිදු කිරීමට හෝ පලාත්බද කාලගුණික තත්ත්වයන්ට යෝග්‍යවන ප්‍රාදේශික ශාක පැල කිරීම විධිමත්ව සිදු කිරීම සඳහා අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාවට නැංවිය හැකි වේ. ගෙමිදුලේ භූ නිර්මාණ(landscape) සකස් කරන විටදී අවශ්‍ය වන ජල ඉල්ලුම අඩුකිරීමේ වැඩසටහන් සඳහා මාර්ගෝපදේශ හා පර්යේෂණ සටහන්, Alliance for Water Efficiency යන ලාභාපේක්ෂාවෙන් තොර ආයතනය මගින් සකස් කර තිබේ.
වැසි ජලය ප්‍රයෝජනයට ගැනීම ආදී ක්‍රම මගින් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම දිරිගන්වන සුළු දැනුවත් කිරීමේ වැඩසටහන් සෑම මට්ටමක දීම ක්‍රිරියාත්මක කළ යුතු යයි කිරීම සම්බන්ධයෙන් ලෝකයේ දැඩි ජල පීඩනයකට ලක්ව ඇති රටක් වන ඉන්දියාවේ අගමැති නරෙන්ද්‍ර සිං මෝඩි පෙන්වා දී තිබේ. පාසල් දරුවන් හා ගුරුවරුන් දස දහසකට වැඩි පිරිසක් පාසලට රැගෙන යන වතුර බෝතලයේ දවස අවසානයේ ඉතිරි වන කොටස පාසල් භූමියේ ගස් වලට යෙදීමට මෙවන් අධ්‍යාපනික ප්‍රචාරක ව්‍යාපාර හේතුවෙන් පුරුදුව සිටිති
අදෘෂ්යමාන ජලයත් සැලකිල්ලට ගන්න
ගෘහස්ත ජල භාවිතය පහළ දැමීමේ ප්‍රයත්නයන් හිදී ජල පාරිභෝගිකයන්ට ද ඉටු කළ හැකි කාර්යභාරයක් තිබේ. නිවසේ ජල භාවිතය අඩු කිරීම සම්බන්ධයෙන් කල්පනා කිරීමේදී ජල කරාමයෙන් එන ජලය ගැන පමණක් නොහිතා ඉන් ඔබ්බට කල්පනා කළ යුතු වේ. ජල භාවිතය ගත්තොත් පුද්ගලයන්ගේ වැඩි පා සටහනක් ඇත්තේ නිවසේ ජල කරාමය තුළින් එන ජලය භාවිතා කිරීම තුළ නොව ඔවුන් භාවිත කරන භාණ්ඩ සහ සේවා මෙන්ම ඔවුන් ආහාරයට ගන්නා දේවල් මතිනි. නිදසුනක් ගනිමු. නිවසට ගෙන එන එක් ගවමස් කිලෝග්රෑමයක් නිපදවීම සඳහා ජලය ලීටර 7,000 (හත්දහසකට) වැඩියෙන් වැය වෙන බව ඔබ දන්නවා ද? එක් කපු ටී ෂර්ට් එකක් නිපදවීම සඳහා ජලය ලීටර 2700 ක් වැය වේ.
එමෙන්ම නිවෙස් පාසල් සහ කාර්යාල බොහොමයක බලශක්ති මූලයන් වනුයේ තාප බලාගාරය. ඒවායේ සිසිලනය සඳහා සාමාන්‍යයෙන් විශාල පිරිසුදු ජලය ප්රමාණයක් අවශ්ය වේ. බලශක්තිය සංරක්ෂණය කිරීම, රතු මස් අඩුවෙන් අනුභව කිරීම, අවශ්‍යටත් වඩා ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමෙන් වැළකී සිටීම ආදී පිළිවෙත් අප නොසිතන අන්දමකින් අපේ ජල භාවිතය අඩු කිරීමට මග පාදනු ඇත. අද ලෝකයේ ප්රධාන පුරවර තුනෙන් එකක්ම දැනටමත් ඉහළ හෝ ඉතාමත් ඉහළ ජල පීඩනයකට මුහුණ දී සිටී. සම්පත් හිඟ වනවිට එමෙන්ම ජනගහනය සහ ආර්ථිකය වර්ධනය වන විට ජලය සඳහා ඇති තරඟය අනිවාර්යයෙන්ම ඉහළ යයි. එක් එක් පුද්ගලයා භාවිත කරන ජලය ප්‍රමාණය අඩු කිරීම ඇත්ත වශයෙන් සමස්ත ජල පීඩනය අඩුකිරිමෙහි ලා වැදගත් වනවා පමණක් නොව පිරිසිදු ජලය සඳහා ඇති ඉල්ලුම සහ සමාජ ආර්ථික වර්ධනය අතර ඇති බන්ධනය වියෑඳීම ට හේතු විය හැකිය
World Resources Institute වෙබ් අඩවියෙහි පළ වූ Domestic Water Use Grew 600% Over the Past 50 Years යන ලිපිය ඇසුරෙනි