
පුරවරයන්ට සැපයෙන ජලය සුරක්ෂිතකිරීම වනාන්තර මගින් සිදු කෙරේ
ළඟපාත වේවා, දුර ඈත වේවා වනාන්තර මහා නගරවලට සැපයෙන ජලයෙහි සංචලනය, ගුණාත්මක බව මෙන්ම ලබාගනීමේ පහසුව කෙරෙහි බලපායි.

ජලය, මනුෂ්‍යන්ගේ සෞඛ්‍යය මෙන්ම යහපැවැත්ම පිණිස අත්‍යවශ්‍යය. මහනගරවල පුරපතියෝ නගර වැසියනට පිරිසිදු, ආරක්ෂාකාරී සහ වැඩි වියදමකින් තොර ජලය සැපයීම සහතික කරණු වස් පියවර ගැනීමට වෙහෙසෙති. ගම්බද ප්‍රදේශ ගතහොත් ප්‍රමාණවත් වැසිජලය මෙන්ම හොඳින් දිය පිරි ගංගා ඔවුන්ගේ බව භෝග සරු සාර කිරීමට ඉවහල් වෙතැයි ගොවියෝ අපේක්ෂාකරති. නිතර අත් පිරිසිදු කරන්නැයි කොරෝනා ගෝලීය වසංගතය මධ්‍යයේ මහජන සෞඛ්‍ය නිලධාරීන් නගන හඬ අපට මතක්කර දෙන්නේ සෞඛ්‍යයට සහ සනීපාරක්ෂාවට ජලය කොපමණ නම් වැදගත් දැයි යන කාරණාවයි.
ඒවා එසේ වුවද, අද මුලු ලෝකයම පවතින්නේ ඓතිහාසික ගෝලිය ජල අර්බුදයක අගාධය අභිමුඛයෙහිය. ඉහළ යන උෂ්ණත්වයන් සහ දේශගුණ විපර්යාසයන්ට සම්බන්ධ අන්ත කාලගුණ තත්ත්වයන් ජල පද්ධති කෙරෙහි තවදුරටත් පීඩනයක් ඇතිකරනු ලබන අතර නාගරික ජල ව්‍යුහ යටිතල පහසුකම් වික්‍රියාවට පමුණුවයි. සමහරක් දේශගුණ තත්ත්ව පිළිබඳ කරුණු කාරණා මගින් පුරෝකථනය කරනු ලබන්නේ 2025 වෙද්දී බිලියන 1.8ක් තරම්වන ජනතාවක් ජල හිඟයට මුහුණ පානු ඇති බවයි.
තත්ත්වය අතිශය භයානකය.
එහෙත් එක් විසඳුමක් අපේ අත් පොවන ඉසව්වේය: ඒ විසඳුම නම් වනාන්තරයි.



නගර සීමා ඇතුළත, පළාත්බද ජලග්‍රහ ප්‍රදේශයන් අතරේ සහ සැතපුම් දහස් ගණන් ඈතක පවා ජලයෙහි සංචලනය, ගුණාත්මක බව මෙන්ම ලබාගනීමේ පහසුව වනාන්තර මගින් විපර්යාසයට ලක් කෙරේ. නගරවාසීන්ට පිරිසිදු ජලය ලබා දීමේ දී සහ නගරවාසීන් ආහාර සඳහ යැපෙන කෘෂිකාර්මික ඉඩම් සඳහ ජල පහසුව සැපයීමේ දී ලෝකයේ නාගරික ප්‍රදේශ භාර නායකයෝ වනාන්තර ඉටුකරන කාර්ය භාරය සැලකිල්ලට ගත යුත්තාහ.
මහ නගර, ජලය සහ වනාන්තර අතර සම්බන්ධය ක්‍රියාත්මකවන්නේ මට්ටම් තුනකදීය: ඇතුළු වනාන්තර, අසල්වැසි වනාන්තර සහ දුර ඈත වනාන්තර යනුවෙනි. මේ එක් එක් මට්ටමේ දී කොපමණ දුර වුවත් ජලය ආරක්ෂාවෙන ආකාරය ගැන සොය බලමු.
වැහිකුණාටු ජලය(Stormwater = අධික වර්ෂාව හේතුවෙන් එක්කාසුවන අසාමන්‍ය ලෙස විශාල ජල ප්‍රමාණයක්) පරිපාලනයේ දී අපට නාගරික වනාන්තර සහායවෙයි
නාගරිකව ඇතිවෙන ජල ප්‍රශ්න හුදෙක් ජල හිඟයට ම සීමා නොවේ. Aqueduct Floods හි නව පර්යේෂණ දක්වන්නේ 1980 සිට මෙතෙක් ඇතිවූ ජලගැලීම්වලින් ගෝලීය වශයෙන් ඩොලර් ට්‍රිලියනයකට වැඩියෙන් හානි සිදුවී ඇති බවයි. තවද, වඩාත්ම අවදානම්ග්‍රාහී වන්නේ බොහෝවිට වෙරළබඩව සහ ගංගා අද්දර පිහිටි පුරවර බවද එහි දැක්වේ.
නාගරික වනාන්තර යන්නට වීදි වල ඇති ගස් සහ තැනින් තැන ස්වභාවිකව පිහිටි සහ සිටවන ලද කැලෑ ප්‍රදේශ, මෙන්ම ඒවා යට පිහිටි වෘක්ෂලතාදිය හා පස් ද ඇතුළත්වේ. ස්වභාව ධර්මයා පදනම් කරගත් විසඳුමක් හැටියට නාගරික වනාන්තර මගින් වඩාත් දියුණු නාගරික වැහිකුණාටු ජලය කළමණාකරණයකට මග පාදන අතර ගංවතුරෙන් සිදුවෙන හානි හා දුෂ්කරතා අඩු කර ගැනීමට ද පහසුකම් සපයයි. එපමණක් ද නොව සමගාමීව අනෙකුත් පාරිසරික සහ සාංස්කෘතික වාසි ද සලසා දෙයි.
වැසි වැටෙද්දී ගස්, පත්‍ර සහ අතු රිකිළි උපයෝගී කරගනිමින් කෙළින්ම වැසිජලය පොළවට පතිතවීම වළක්වාලීම තුළින් භූ තලයට පැමිණෙන හානි අවම කරයි. ඒ අනුව මතුපිට ගලන දියදෝර සමස්ත පරිමාව අඩුවෙන අතර පාංශු ඛාදනය ඇණහිටුවමින් භූගත ජලය පුනරාරෝපණය වැඩි කරයි. මෙහි ප්‍රතිපලයක් ලෙස, දිය බස්සවන කානු හා ඩයික වේලි වැනි සාම්ප්‍රදානුකූල ජලාපවාහන පද්ධති කෙරෙහි වැසිකුණාටු සහ ගංවතුරෙන් ඇතිවන බලපෑම තුනීකිරිමට හේතුවේ.
තවද, කැළිකසල එකතුවී පිටාරගැලීම් මගින් නාගරික ප්‍රජාවන්ගේ සෞඛ්‍යය සහ ජලචර පාරිසරික පද්ධති කෙරෙහි එල්ලවන තර්ජන අවදානම ද මෙ මගින් පහත හෙළනු ලැබෙයි. මේ අන්දමේ වාසි සැලකිල්ලට ගනිමින් පිලඩෙල්ඵියා සහ නිව්යෝක් වැනි එක්සත් ජනපද නගරත් චීනයේ විවිධ ‘ස්පොන්ජ’ නගරත් වැසි කුණාටු සහ ගංවතුර අවදානම් කළමනාකරණය සහ නගර පුරා නිවේශන ශීඝ්‍රතාවන් වැඩිවර්ධනය පිණිස ගහකොළ සහ වෙනත් පරිසර හිතකාමී යටිතල පහසුකම් එක්කාසු කරගැනිමට යුහුසුළුවෙයි.
මහ නගර, ජලය සහ වනාන්තර අතර සම්බන්ධය ක්‍රියාත්මකවන අනෙකුත් මට්ටම් දෙක ගැන ලබන සතියේ කතාකරමු.
World Resources Institute වෙබ් අඩවියෙහි Forests Near or Far Can Protect Water for Cities යන ලිපිය ඇසුරෙනි