ඔටුවන්ගේ මොල්ලියේ ඇත්තටම වතුර තිබෙනවාද?
කාන්තාරයේ ජීවත් වෙන්නට නම් ඔටුවන්, ඔවුන්ගේ මොල්ලියේ වතුර ගබඩා කර ගත යුතුයි, එහෙම නේද? එහෙමත් ම නැහැ. හැබයි, කාන්තාරයේ ගමන් බිමන් යන විට සිය පිපාසය නිවා ගන්න පුලුවන් වෙන ආකාරයට ඔටුවන්ගේ මොල්ලියෙ වතුර පිරිලා තියෙනවා කියලා තමයි සමහරු නම් හිතන්නේ. තමන්ට ලබාගන්න පුළුවන් වතුර ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඔටුවන්ට දක්ෂකමක් තිබුණා වුණත්, ඔවුන්ගේ මොල්ලියේ තියෙන්නේ වතුර නම් නෙවෙයි ඇත්තට? එහෙමනම් ඔටුවන්ට මොල්ලියක් තියෙන්නේ කුමකටද? ඒකට දෙන්න පුළුවන් උත්තරය තමයි, වතුර නෙවෙයි මේදය ගබඩා කර ගන්න කියන එකයි.
“ ඔටුවන්ට ආහාර හෝ ජලය බෙහෙවින් හිඟ වියළි කාල වකවානුවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා” සැන්දියාගෝ සත්වෝද්‍යානයේ සත්ව සත්කාරක අධීක්ෂක සහ ජාතික ප්‍රකාශක රික් ෂොවෝර්ට්ස් (Rick Schwartz) ප්‍රකාශ කරනවා, ” ආහාර හිඟ අවස්ථාවල දී ප්‍රයෝජනයට ගන්නා හැකිවෙන පරිදි ආහාර තිබෙනවිට ඔවුන්ගේ මොල්ලි පුළුවන් තරම් කැලරිවලින් පුරවා ගන්න කෑම කනවා. එහෙම කැලරි එකවරක් එකතු කරගත්තහම ඔටුවෙකුට මාස හතරක්, මාස පහක් පවා ආහාර නැතිව ගත කරන්න පුළුවන්”.

ඇති තරම් ආහාර ගත් විට ඔටුවන්ගේ මොල්ලි පිරීලා පවතිනවා වගේම ඔවුන්ගේ මොල්ලිවල ඇති මේදය ප්‍රයෝජනයට ගැනීම අවසන් වෙනකොට මොල්ලිය හැකිළී යන්නේ හරියට සුළං බැස්ස බැලුමක් හැකිළී පැත්තට වැටෙනවා වගේ. ආයෙත් එය කෙලින් වෙන්න නම් හුලං ගහා ගන්ඩ ඕනේ වගේ ඔටුවනුත් ආයෙත් පුළුවන් තරම් කෑම කන්න ඕනේ.
ඔටුවන්ගේ පැටවුන්ට උප්පත්තියෙන්ම මොල්ලියක් ලැබෙන්නේ නැහැ. ඔවුන් කිරි බොන අවධියේදී මේ මේදමය මොල්ලිය වැඩෙන්නේ නැහැ. මවගෙන් ලැබෙන ශක්තිය මේ පැටවුන්ගේ ශරීර වර්ධනයට ප්‍රමාණවත් බව ෂොවෝර්ට්ස් පෙන්වා දෙනවා.. කෙසේවෙතත් ඔටු පැටවුන් ඉපදී මාස හතරක් සිට හය දක්වා කාලය තුළ කිරිවරනවා. ඒ වුනත් ඔවුන්ගේ මොල්ලි වැඩීම ආරම්භවෙන්නේ ඔවුන්ට මාස දහයක් දොළහක් පමණ කාලයක් ගතවෙද්දියි.
‘’ඒත් නිදැල්ලේ ඇති දැඩිවෙන් ඔටුවන්න්ට සෘතු චක්‍රවලට මූණ දීමට සිදුවන නිසා සිය ජීවිතයේ ප්‍රථම වර්ෂය ගෙවී නිමවන්නට පෙර යම් ආකාරයක මොල්ලියක් උන්ට අවශ්‍ය වෙනවා. ඔව්, කොහොමහරි මුල්ම වියළි සෘතුව ගෙවා දමන්න ඔවුන්ටත් සිද්ධ වෙනවා නේ” ෂොවෝර්ට්ස් සඳහන් කරනවා..

ලෝකයේ ඔටුවන් විශේෂ දෙකක් දැකිය හැකිය. Bactrian camels (Camelus bactrianus) හෙවත් බැක්ටීරියානු ඔටුවන් බටහිර චීනයේ සහ මධ්යම ආසියාවෙ ප්‍රදේශවල ජීවත් වෙන අතර ඔවුන්ට මොල්ලි දෙකක් තිබෙනවා. Arabian camels (Camelus dromedarius) හෙවත් අරාබිකරයේ ඔටුවන් වඩාත් සුලබ වන අතර ඔවුන්ට ඇත්තේ අප කවුරුත් දන්නා පරිදි එකම මොල්ලියකි. ඒත් හැබැයි මොල්ලි දෙකක් තිබුණා කියලා බැක්ටීරියානු ඔටුවන්ට අරාබි ඔටුවන්ට වඩා වැඩි කාලයක් කෑම නැතුව ඉන්න බැරි බව ෂොවෝර්ට්ස් පෙන්වා දෙනවා.
බොහොමයක් සත්තු මේදය ඔවුන්ගේ උදරය සහ දෙපැත්තේ ගබඩා කොට තබා ගන්නා නමුත් ඔටුවන්ගේ මේදය ගබඩා කර තැබෙන්නේ උඩ අතට සිරස්වයි. මෙය පැහැදිලි කරන එක් න්‍යායකින් කියවෙන්නේ ඔටුවන්ගේ උදරයේ කඨෝර හමක් තිබෙන අතර එය ඔවුන් සෘජුවම වැල්ලේ රඳවන්න පුරුදුව සිටිනා බවයි. ඉතින් උදරයේ මේදය තැන්පත් වුනොත් ඔවුන්ට මෙලෙස රැඳවීම උගහට වෙනවා යයි ෂොවෝර්ට්ස් ප්‍රකාශ කරනවා.. මේ සම්බන්ධයෙන් තවත් අදහසකුත් තියනවා. ඔටුවන් උස වගේම හීන්දෑරී නිසා, ශරීරයේ දෙපැත්තේ වෙනුවට උඩ පැත්තේ මේදය ගබඩා කර ගනීමෙන් ඔවුන්ට සූර්යාලෝකයට සහ තාපයට නිරාවරණය වීම අඩුයි යනුවෙනුයි ඉන් කියැවෙන්නේ.

ඉතින් ඔටුවන්ගේ මොල්ලියේ ගබඩා කර ගැනෙන්නේ ජලය නොව මේදය නිසා ජල හිඟය මගහරවා ගන්න වෙනත් ක්‍රියාමාර්ග ගන්න ඔවුන්ට සිද්ධ වෙනවා. උදාහරණයක් දක්වතොත් ඔටුවෙකුට එක වරකට ගැලුම් තිහක් (ඒ කියන්නේ ලීටර් 114ක්) දක්වා ජලය පානය කළ හැකියි. එමෙන්ම, ජලය සංරක්ෂණය කිරීම පිණිස ඔවුන් පහ කරන්නේ වියලි අසූචියි. ඒ වගේම ඔවුන්ගේ සිරුරේ ඇති ජලය උපරිම අයුරින් සංරක්ෂණය කිරීම පිණිස ඔවුන් සතුව තවත් උපක්‍රම තියනවා යයි ෂොවෝර්ට්ස් කියා සිටිනවා. ඉන් එකක් තමයි, සිය නාසයෙන් හුස්ම පිටකරන (ප්‍රාශ්වාස කරන) සෑම වාරයක දීම එහි ඇති තෙතමනය හසුකරගැනීම.
ඉතින්, “ වතුර අඩුවෙන් වැඩි කාලයක් ගතකිරීමට ඔටුවන්ට ඇති මේ සුවිශේ හැකියාවන් නිසා සමහරවිට ඔවුන්ගේ මොල්ලියේ ජලය ගබඩා කර ගන්නවා යන වැරදි මතය ගොඩ නැගෙන්න ඇති” යයි ෂොවෝර්ට්ස් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Life’s little Mysteries(Live Science) හී පළවන Do camels really have water in their humps? යන ලිපිය ඇසුරෙනි