අග්නි භූගෝල විද්‍යාව සහ අග්නි විවිධත්වය
චන්ද්රිකා දත්ත වැඩි වැඩියෙන් භාවිතා කිරීම හේතුවෙන් ගින්න පිළිබඳ අපගේ අවබෝධය විප්ලවකාරී ලෙස වෙනස්වීමට ලක් කර ඇති අතර පෘථිවිය මත ගින්න කොතරම් පුළුල්ව ව්යාප්ත ද එමෙන්ම කෙතරම් සුලබව තිබේද යන්න ඉන් පෙන්නුම් කරයි. මෙම විප්ලවය ගින්නෙහි විශේෂ හා කාලික රටාවන් පුළුල් ලෙස පිළිගැනීමට ලක් කිරීමට තුඩු දී ඇති අතර, එය තස්මේනියා විශ්ව විද්‍යාලයේ ඩේවිඩ් බොව්මන්ගේ මෙහෙයවීමෙන් කරළියට පැමිණි නව අග්නිභූගෝලීය විද්‍යාව(pyrogeography) ස්ථාපිත කිරීමට හේතු වී තිබේ. ශුද්ධ ප්‍රාථමික ඵලදායිතාව (දේශගුණය මගින් පාලනය වන) සහ පිළිස්සීමට ලක්වූ ප්‍රදේශය අතර සැලකිය යුතු සම්බන්ධතාවයක් ඇති බව පෙන්නුම් කර ඇත. පැහැදිලිවම කාන්තාර වැනි ඉතා වියළි ප්‍රදේශවල, ප්‍රාථමික ඵලදායිතාව අඩු නිසා අඩු මට්ටමක පවතින ඉන්ධන මගින් සීමා කෙරේ.
තස්මේනියා විශ්ව විද්‍යාලයේ පාරිසරික විපර්යාස ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් බොව්මන් ගින්න, භූ දර්ශන සහ මිනිසුන් අතර සම්බන්ධතාවය ගවේෂණය කරන්නෙකි. හෙතෙම, ‘Fire on Earth – an introduction’ යන පෙළ පොතෙහි සම-කතුවරයෙකු වන අතර මෙම සංකීර්ණ ක්ෂේත්‍රය තුළ ගෝලීය වශයෙන් ක්‍රියාකාරීව සිටින අය අතර ප්‍රමුඛයෙකි.
නමුත් වැසි වනාන්තර වැනි ඉහළ ප්‍රාථමික ඵලදායිතාවයකින් යුත් ප්‍රදේශවල පිළිස්සුණු ප්‍රදේශය දේශගුණය මගින් ද පාලනය වන්නේ වර්ෂාවෙන් ගින්න බැහැර කරමිනි. ප්‍රාථමික ඵලදායිතාවයේ අතරමැදි මට්ටම් සහ වියළි කාල පරිච්ඡේද වඩා නිරතුරුව ඇතිවන ප්‍රදේශවල දිගට පවතින ගිනි වඩාත් ව්‍යාප්තව ඇති විය හැකිය (රූපය බලන්න).
ශාක ඵලදායිතාව, ගින්න සහ ස්විච. (a) ශාක ඵලදායිතාව සමගින් ගින්න වැඩි කිරීම; (b) ඵලදායිතාව සහ ගිනි ඇතිවීමේ සීඝ්‍රතාව; (c) ගිනි ස්විච සහ කාලය.
එවැනි පරිසරයන්ට නිවර්තන සවානා ඇතුළත් වන අතර ඒවා පෘථිවියේ වඩාත් පුළුල්, දැවෙනසුළු පරිසරයන් වේ. මෙම පද්ධතිවල ඉන්ධන බහුලව ද ගින්න පවත්වා ගැනීම සඳහා සුදුසු කාලගුණික තත්ත්වයන් ද ඇත. සවානා තණ බිම්වල වර්ධනය දිරි ගන්වන උණුසුම් තෙත් සෘතු ඇති අතර එය ඉන්ධන බහුල වීමට මග පාදයි. අනතුරුව එන්නේ මෙම බහුල ඉන්ධන වියළීමට උපකාරී වන වියළි කාල පරිච්ඡේදයක් සහ ගින්න ප්‍රවර්ධනය කරන කාලගුණයකි (පහත සවානා තෘණ බිම් සහ ලැව් ගින්න යනුවෙන් ඇති කොටස කොටස බලන්න).
ගින්නක් තිබේද නැද්ද යන්න මත පදනම්ව කලාපයක් තුළ විකල්ප ස්ථාවර වෘක්ෂලතා තත්වයන් පැවතිය හැකි බව කියනු ලබේ. ‘ස්වාභාවික’ ගින්න සහ ‘මිනිසුන් මුල පුරන’ ගින්න අතර වෙනස වඩ වඩාත් බොඳ වෙද්දී, සංරක්ෂණය සඳහා අපගේ ප්‍රවේශයට අග්නි භූගෝලය පිළිබඳ අවබෝධයක් අත්‍යවශ්‍ය වන බව පැහැදිලිය. අප දන්නා පරිදි, මිනිසුන් වෘක්ෂලතාදිය වෙනස් කරමින් සිටින අතර එය ගිනි පාලන රෙජිමයන්ට දැඩි ලෙස බලපායි. ගින්න පිළිබඳ අපගේ අවබෝධයට හේතුවන ප්රධාන අංගයක් වන්නේ දැවෙනසුළු (pyrophylic) සහ අඩුවෙන් දැවෙන සුළු (pyrophobic) වෘක්ෂලතාදිය අතර මායිම් ය.
මෑත කාලීනව ගොඩනැගුණු අග්නි භූගෝල විද්‍යාව පිළිබඳ සංකල්පයට අපට, ඩේවිඩ් බොව්මන් විසින්ම නැවතතත් වරක් ඉදිරිපත්කරණු ලබන අග්නි විවිධත්වය පිළිබඳ අදහස ද එකතු කළ හැකිය. ආහාර ජාලයන්හි ජෛව විවිධත්වය හා ගිනි පාලන රෙජිමයන් සම්බන්ධ කිරීම මෙම සංකලපයෙහි අර්ථ දැක්වීම ලෙස අපට පෙන්වා දිය හැකිය. ගිනි පාලන තන්ත්‍ර(fire regimes), ජෛව විවිධත්වය සහ පාරිසරික ක්‍රියාවලීයන්(ecological processes) සම්බන්ධ ප්‍රතිපෝෂණවල වැදගත්කම මෙම ප්‍රවේශය තුළ අවධාරණය කරනු ලැබේ. මෙම සන්දර්භය තුළ තබා සලකද්දී, මිනිසුන්ට ගින්න හැසිරවීම තුළින් අග්නි විවිධත්වය වෙනස් කිරීම හා හැඩ ගැස්වීම යන දෙකම සිදු කළ හැකි බව පෙණී යයි. ඒ, දැවෙන වාර ගණන සහ එහි බරපතලකම පමණක් නොව, දැවීමේ කාලය හා ප්‍රමාණයද අනුව ගින්න හසුරුවීම තුළිනි. ඊට අමතරව, විදේශීය හෝ ආක්‍රමණික විශේෂ හඳුන්වා දීමෙන් ද ගිනි පද්ධති වෙනස්කිරීමට ලක් කළ හැකිය. පැහැදිලිවම කිවයුත්තක් ඇත: ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම පිළිබඳ ඕනෑම කතිකාවකදී අග්නි විවිධත්වය අවශ්‍යයෙන්ම සැලකිල්ලට ගත් යුතු අතර ගින්න, පෘථිවිය මත ඉටු කර ඇති හා තවමත් ඉටු කරන කාර්යභාරය ඇගැයීමට ලක් කළ යුතුය.
සවානා තෘණ බිම් සහ ලැව් ගින්න
සවානා තෘණ බිම් සහ ලැව් ගිනි සවානා තෘණ බිම් විවිධ මහාද්වීප පුරා ව්‍යාප්තව ඇති නමුත් ඒ සියල්ලම විවිධ ස්වරූප ගන්නා තණකොළ – ගිනි චක්‍රයක(grass-fire cycle) කොටසකි. අප්‍රිකාවේ මධ්‍යම හා දකුණු ප්‍රදේශවල, ඕස්ට්‍රේලියාවේ, විශේෂයෙන් උතුරු නිවර්තන කලාපවල, ඉන්දියාවේ සමහර කොටස්වල සහ දකුණු ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල — විශේෂයෙනම් බ්‍රසීලයේ සවානා තණබිම් දක්නට ලැබේ. බ්‍රසීලය තුළ සැවානා වර්ග විශාල පරාසයක් ඇති අතර, ඒ සෑම එකකින්ම වෙනස් වෙනස් ආකාරයේ ගිනි හටගනියි. මේවා අතුරෙන් වඩාත් ප්‍රචලිත වර්ගය සෙරාඩෝ (Cerrado ) ලෙස දැක්වේ. සියළුම සැවානා වල සිදුවන්නාක් මෙන්, ගින්නෙහි සීඝ්‍රතාව හෙවත් නිරන්තර බව, පරිසර පද්ධතියේ පඳුරු හා ගස්වල වර්ධනය පාලනය කරයි. සමහර අවස්ථාවල අවුරුද්දේ වියළි කාලවලදී කොළ හැලී යන කුඩා ගස් තිබේ නම්, තණකොළ බහුල බිම් ආවරණය වඩාත් පැහැදිලිව දෘශ්‍යමාන වේ.
එවැනි කලාපවල විවිධ සත්ව ප්‍රජාවන් සිටින අතර ගින්නෙන් විවිධ වු පරිසර පද්ධති රටාවන් නිපදවයි. බ්‍රසීලයට උතුරේන්, වෙනිසියුලාවේ සහ ගයනාවේ දේශසීමාවල, ආදිවාසීන් ඔවුන්ගේ දේශීය කෘෂිකාර්මික භාවිතයන් පවත්වා ගැනීම සඳහා සාර්ථකව ගින්න භාවිතා කර ඇත. එසේ නමුත්(එවැනි ප්‍රදේශ වැසි වනාන්තර මායිම්ව ඇති හෙයින්) දැව කැපීම හෝ වැසි වනාන්තර ආරක්ෂාව වැනි වෙනත් තරඟකාරී ක්‍රියාකාරකම්වල පීඩන පරාසය කොපමණ ද යත් පාලනය කළ හැකි හා පාරිසරික වශයෙන් සංවේදී ආකාරයකින් ගින්න භාවිතා කරන විටදී පවා ප්‍රදේශ බද ගිනි චර්යා හෙවත් පුරුදු තර්ජනයට ලක්ව ඇත. ආදිවාසී ප්‍රජාවන් විසින් යොදා ගනු ලබන ගිනි භාවිතයන් සඳහා ඉඩම් ශුද්ධකිරීම සහ උපයෝජනය කරගැනීමේ ක්‍රියා වලියක් පමණක් නොව වඩාත් විශාල ගිනිවලින් ආරක්ෂා වීමේ ක්‍රියාවලියක් ද ඇතුළත් වේ. ගිනි ප්‍රතිපත්තියක් සැකසීම මධ්‍යම රජයක යුතුකමක් ද? එසේ නැතහොත් ගිනි දැනුමක් ඇති ප්‍රාදේශීය ප්‍රජාවන්ට එවැනි තීරණ ගත හැකිද?
මුල් අවස්ථාවේ, බ්‍රසීල භූමිභාගයෙන් සියයට 25 ක් පමණ ආවරණය කළ සෙරාඩෝ යනු දකුණු ඇමරිකාවේ විශාලතම සැවානා ප්‍රදේශයයි. අප්‍රිකානු සැවානා මෙන් නොව එය තණකොළ තට්ටුවකින් සංලක්ෂිත වන අතර කුඩා ගස්, ගස් හා පඳුරු ද අඩංගු වේ. ගිනි ඇවිලීමට නැඹුරු වෙනත් බොහෝ කලාප මෙන් එය ද, ඉහළ ජෛව ස්කන්ධ (ඉන්ධන) නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන තෙත් වකවානුවක් ද සහ දිගු වියළි කාල පරිච්ඡේදයකින් සමන්විතය. මෙහි ද තණකොළ ගින්නට බෙහෙවින් ප්‍රතිරෝධී වීම සහ ගින්නෙන් පසු වේගයෙන් නැවත දළු ළෑම එවන් වෙනත් කලාප වලට පොදු කාරණායි
මෙහි ඇති වන ගින්න, ස්වාභාවික හෝ මිනිසුන් පැතිරූ වේවා, මතුපිට ගිනි වේ. එවැනි කලාපවල ඇති ප්‍රධාන ගැටළුවක් වන්නේ ස්වදේශික වෘක්ෂලතාදිය සැලකිය යුතු ලෙස ප්‍රතිස්ථාපනය වීමයි. ස්වාභාවික ගිනි පාලන රෙජිමය නිතර නිතර ඇතිවන ගිනි බවට හැරවූ හඳුන්වා දෙන ලද විදේශීය තණකොළ හා යාන්ත්‍රික කෘෂිකාර්මික භාවිතයේ මගින් මේ ප්‍රතිස්ථාපනය, සිදුකෙරුණු අතර එය පරිසර පද්ධතියට සැලකිය යුතු බලපෑමක් ඇති කරන්නකි.
FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි