ඕනෑම දෙයක් සම්පූර්ණයෙන් ‘විෂබීජ රහිත’ විය හැකිද?
අප සෑම කෙනෙක්ම පාහේ, විශේෂයෙන් මෑතකදී කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමගම වාර සිය ගණනක් එය කර ඇතුවාට සැකයක් නැත – සැනිටයිසර හෝ සබන් යොදා දෑත් අතුල්ලීම, මුළුතැන්ගෙයි මේස හා තට්ටු ප්‍රතිබක්ටීරියා යොදා පිරිසිදු කිරීම, කවුන්ටර, පොදු විවේකාගාරයක වැසිකිළි ආසන අතින් අල්ලන්නේ නැතිවම වාගේ ඉහල හෝ පහලට හෙලගනීම්, නිවසේ හෝ කාර්යාලයේ කාමරයේ දොර වැලමිට හෝ උරහිස් භාවිතා කර විවෘත කිරීමට උත්සාහ කිරීම වගේ දේවල් දැන් හුරුපුරුදුයි. මේ සියල්ලම අප සිදුකරන්නේ එම නපුරු, බියජනක, නොපෙනෙන විෂබීජ ඈත් කර තැබීමේ නාමයෙන්. ඒත් මේ සියල්ල ගඟට ඉනි කැපුවා සේ නිෂ්ඵල ක්‍රියා ද? විෂබීජ අපගෙන් ඈත් කර තැබීම කළ හැකි දෙයක් ද?
” ඇත්ත වශයෙන්ම බැහැ තමයි” යනුවෙනුයි උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ආසාදන වැළැක්වීමේ වැඩසටහනේ අධ්‍යක්ෂකවරියක සහ වෛද්‍ය විද්‍යාලයේ වසංගත රෝග හා බෝවන රෝග පිළිබඳ මහාචාර්යවරියක වන එමිලි සික්බට්- බෙනට් පවසන්නේ.

“සංඛ්‍යාවෙන් ගත්තොත් අපගේ ශරීරය මත සහ ශරීරය තුළ සෛල වලට වඩා බැක්ටීරියා තියෙනවා” යැයි සික්බට්- බෙනට් පෙන්වා දෙයි, “ජලයෙහි හා පසෙහි මෙන්ම අනෙකුත් සතුන් මත ස්වභාවිකව හටගන්නා බැක්ටීරියා විශාල ප්‍රමාණයක් දැකිය හකියි”. නමුත් මෙම ක්ෂුද්‍ර ජීවීන් සියල්ලම අපට වින කරන අයම නොවෙ යයි ඇය කියා සිටියි. ඇත්ත වශයෙන්ම, ඒවායින් බොහොමයක් වැරදි තැනකට ඇතුල් වන්නේ නැතිනම් නම් පීඩාවක් ඇති වෙන්නේ නැහැ.. නිදසුනකට staphylococcus බැක්ටීරියාව පුද්ගලයෙකුගේ නාසයේ හානියක් නොකර ජීවත්වන නමුත් රුධිර ප්‍රවාහයට ඇතුල් වුණොත් මාරාන්තික විය හැකි ය.

“අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් නිරන්තරයෙන් ව්‍යාධිජනක වේ, එයින් අදහස් වන්නේ ඒවායි සැමවිටම රෝග අවදානමක් ඇති බවයි. කොවිඩ්-19 ට හේතු වන වෛරසය මෙයින් එකක්. අප “විෂබීජ” වලින් මිදීමට උත්සාහ කරන විට මෙවන් වඩාත් ගැටළු සහගත ක්ෂුද්‍ර ජීවීන් ගන තමයි බොහෝ විට බොහෝ දෙනා විමසිලිමත්වෙන්නේ, කනස්සල්ලට පත්වන්නේ” යයි සික්බට්- බෙනට් සඳහන් කරයි.
ඉතින්, මෙම අන්වීක්ෂීය ක්ෂුද්‍ර නරකයන් අපගේ පරිසරයෙන් ඈත්කර තබා ගැනීමට බලාපොරොත්තුවක් තිබේද? හැබැයි සික්බර්ට්-බෙනට් නම් කියා සිටින්නේ ඔය ප්‍රස්නේ වෙනුවට ඇසිය යුතු වඩාත් යෝග්‍ය ප්‍රශ්නය වන්නේ අපේ පරිසරය විෂබීජ රහිතව තබා ගන්නේ කෙසේද යන්න නොව, අපේ පරිසරයේ ඇති විෂබීජවලින් ආසාදන ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද යන්නයි. “එදිනෙදා පිසදැමීම් හෝ ඉසින මගින් පෘෂ් ඨයන් විෂබීජහරණය කලහම ඒ පෘෂ්ඨන්හි ඇති ක්ෂුද්‍ර ජීවීන් නිසැකවම ඉවත් කරයි” යනුවෙන් ඇය කියයි. ඒත් මේ පෘෂ්ඨ නිරන්තරයෙන්ම යලි යලිත් විෂබීජ වලින් දූෂණය වෙනවා. පෘෂ්ඨ දෙකක් අන්තර්ක්‍රියා කරන ඕනෑම වේලාවක –අපි හිතමුකෝ දොර අඟුල සහ ඇඟිල්ලක් වගේ පෘෂ්ට දෙකාක් ගැටෙන කොට — ක්ෂුද්‍ර ජීවීන් හුවමාරු වෙනවා. වාතයේ ඇති ක්ෂුද්‍රජීවීන් මේ දැන් විෂ්බීජහරනය කළ පෘෂ්ඨයක වුණත් මොහොතින් නැවත පදිංචි විය හැකිය.

“වැදගත්ම දෙය නම් සැබවින්ම ‘ආසාදන දාමය’ ගැන සිතීමයි,” සික්බර්ට් බෙනට් පෙන්වා දෙයි. වෛරසයක් වැනි ක්ෂුද්‍ර ජීවියෙකු යමෙකුට ආසාදනය වීම සිදුවන කුඩා කුඩා පියවර තමයි ඒ. එය නැවැත්විය හැක්කේ දාමයේ කුමන ස්ථානයේ දී ද? යනුවෙන් ඇය ප්‍රශ්න කරයි.
වෙනත් වචන වලින් කිවහොත්, සමහර හානිකර ක්ෂුද්‍ර ජීවීන් ඔබේ නිවසට හෝ ඔබේ සමට ඇතුළු විය හැකි නමුත්, වැදගත් කාරණය වන්නේ ඔවුන් ආසාදනයක් ඇතිවිය හැකි ස්ථානයකට නොපැමිණවීමයි. නිදසුනක් ලෙස, COVID-19 වෛරස වෙනත් පෘෂ්ඨයකින් පුද්ගලයෙකුගේ ශ්වසන පද්ධතියට හෝ ඇස්වලට මාරුවිය හැකියි. එබැවින් නාසය, මුඛය හෝ ඇස් ස්පර්ශ කිරීමට පෙර අත් සේදීමෙන් – COVID-19 සඳහා සම්ප්‍රේෂණ දාමය කැඩී යයි. එබැවින් නිසි ලෙස ආහාර පිසීමෙන් E. Coli බැක්ටීරියම ඔබේ කුසයෙන් ද, දෑත් හොඳින් සේදීමෙන් අනතුරුව ඇස් නොඅල්ලා සිටීමෙන් අක්ෂී ආසාදන ඇතිකරවන adenovirus(pink eye) ඈත්කර තැබීම ගැන සිතා බලන්න.

ඒ හැරුණු කොට මිනිසුන් වන අප ද, ක්ෂුද්‍ර ජීවින් ද ජීවත්වන මේ ලෝකය ගැන “සැලකිල්ලෙන් සිටිය යුතු නමුත් ඕනෑවට වඩා පීඩනයකට පත්වෙන්න වුවමනා නැහැ” යයි මහාචාර්යවරිය පෙන්වා දෙයි. මෙම විෂබීජ වලින් බහුතරයකට යම් කාර්ය භාරයක් ඇති අතර එකක් නෑර ඒවා සියල්ලම මනුෂ්‍යයන්ගේ සෞඛ්‍යයට අවදානමක් ඇති නොකරයි. ඇත්ත වශයෙන්ම, බොහෝ ක්ෂුද්‍ර ජීවීන් සතුන්ගේ අභිවෘද්ධියට හා පැවැත්මට උපකාරී වන බව, ලොස් ඇන්ජලීස් හී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඒකාබද්ධ ජීව විද්‍යාව හා කායික විද්‍යාව පිළිබඳ පශ්චාත් ආචාර්ය විද්‍යාර්ථී හෙලන් වුඕන්ග් පවසන්නේ විෂබීජ වලින් තොර මීයන් පිළිබඳ අධ්‍යයනයන්ට අනුවය.
“අපගේ ශරීර තුළ පවා හොඳ බැක්ටීරියා රාශියක් ඉන්නවා. වඩාත් ව්‍යාධිජනක ද්‍රව්‍ය යටපත් කරමින් අපව නිරෝගීව තබා ගැනීමට ඒවා උපකාරී වෙනවා” යයි සික්බර්ට් බෙනට් පෙන්වා දෙයි.
livescience.com(Life’s Little Mysteries) හී පළ වී ඇති Is it possible for anything to be ‘germ-free’? යන ලිපිය ඇසුරෙනි