ගින්න සහ මානව වර්ගයා: ගින්දර සොයා ගැනීම
වසර මිලියන 400 කට අධික කාලයක් පුරා ලැව්ගිනි පෘථිවියේ අංග හැඩ ගැස්වීමේ දී පමණක් නොව එහි වෘක්ෂලතාදිය සහ පරිසරයන් පරිණාමයේ දී ද සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත. එසේ නම්, මිනිසුන් පරිණාමය වී ඇත්තේ ගිනිමය භූ දර්ශනයක වන අතර ගින්න සමඟ අපගේ දීර්ඝකාලීන අන්තර් ක්‍රියාකාරිත්වයේ ප්රධාන ලක්ෂණය වන්නේ එයත් සමඟ අපගේ වෙනස්වන සම්බන්ධතාවයයි.
බොහෝ දෙනා දැන් විශ්වාස කරන්නේ හොමිනින් පරිණාමය වූයේ අප්‍රිකාවේ බවත් ඇත්ත වශයෙන්ම නූතන මිනිසුන් (හෝමෝ සේපියන්ස් – Homo sapiens) පරිණාමය වූයේද එහිම බවත් ය. මෙම ප්රයිමේට්වරුන්(primates) ගින්න විවිධාකාරයෙන් අත්විඳින්නට ඇති බව පැහැදිලිය. එමෙන්ම, දේශගුණය වියළී ස්වභාවයකට පත්වීම ඇරඹෙද්දී මතු වෙන්නට පටන් ගත් සැවානා තණ බිම්වල විශේෂයෙන්ම නිතරම ගිනි ඇති වන්නට ඇත.
ගින්දර සොයා ගැනීම
ගින්දර සොයා ගැනීම හා ගින්දර භාවිතා කිරීම ගැන දීර්ඝ සහ සංචලිත ක්‍රියාවලියක් ලෙස ලිවර්පූල් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා සහ මානවවිද්‍යා මහාචාර්ය ජෝන් ගොව්ලෙට් විසින් විස්තර කරනු ලැබ තිබේ. අපේ මුතුන් මිත්තන්ට පළමු වරට ගින්න හදිගැහීම සිතාමතා නොව අවස්ථාවාදීව සිදුවූවක් ලෙස දැක්විය හැකිය. මුල් අවධියේ මිනිසුන්ට දුර බැහැර ගින්නකින් හටගන්නා දුමාරය දැක බලා ගැනීමට දෙපයින් ඇවිදීමේ හැකියාව මගින් ඉඩ සැලසෙන්නට ඇති අතර ස්වාභාවිකව ඇති වන එවැනි ගින්නෙන් වාසි කිහිපයක් සැපයෙන්නට ඇත. ගින්න මගින් පළවා යවනු ලැබීමෙන් සමහර සතුන් පහසුවෙන් දඩයම් කිරීමේ අවස්ථා සපයයි. සතෙකු ගින්නෙන් මිය ගියේ නම් එය අමතර වාසියකි: එනම් (තමන්ගේ මහන්සියකින් තොරවම) පිසිනු ලැබු ආහාර පහසුවෙන් ලබා ගත හැකි වීමයි. මස් පිසීමේ අදහස ප්‍රථමයෙන් හට ගන්නට ඇත්තේ ද මේ ආකාරයට විය හැකිය. ගින්නෙන් පසුව ලැබෙන වර්ෂාව මාර්ගයෙන් සීඝ්‍ර ශාක වර්ධනයක් ඇති කළ හැකි අතර එය උලා කන සතුන් ආකර්ෂණය කිරීමට ඉවහල් වන හෙයින් දඩයම පහසු කරවයි.
මිනිසුන් මුලින්ම ගිනි භාවිතා කළේ කවදාදැයි හරි හැටි දැන ගැනීම අපහසුය. ගිනි උදුන නැතිනම් ලිපක් යැයි කියනු ලබන්නක් තුළ පිළිස්සුණු පස් ඇතිවීම සිදුවන්නේ මීට වසර මිලියන 1.5 කට පමණ පෙර දකුණු අප්රිකාවේ වොන්ඩර්වකර් ගුහාවෙනි. මිනිසුන්ට අවස්ථාවාදී ලෙස හමු වූ ගින්න සංරක්ෂණය කිරීමට හැකි වන්නට ඇත්තේ, සමහර විට ඉන්(මුලින් ගිනි සොයාගෙන) සැලකිය යුතු කාලයක් ගෙවී ගියාට පසුව විය හැකියි. උදාහරණයක් ලෙස ගොම එකතු කිරීම එක් සංරක්ෂන උපායක් වන්නට ඇත. මන්ද, ගොම සෙමින් දැවෙන නිසාවෙනි.
විවිධ හේතූන් මත මුල් මිනිසුන්ට ගින්න වැදගත් වන්නට ඇති අතර අපට ඉන් ප්‍රධාන වාසි පහක් සලකා බැලිය හැකිය. පළමුව, විශාල විලෝපිකයන්ගෙන් යම් ආරක්ෂාවක් ගින්නෙන් සැලසෙන්නට ඇත. ගින්නෙන් හටගන්නා දුම කෘමීන් පළවා හැරීම සඳහා ප්රයෝජනවත් වන්නට ඇතැයි සිතිය හැකිය. සිසිල් බවින් හෙබි ඉහළ අක්ෂාංශයන් හී දී ආලෝකය මගින් පවා සපයනවාට වඩා උණුසුමක් පැහැදිලිවම් ගින්න මගින් සපයන්නට ඇත.
බ්‍රිතාඥ ජාතික මානවවිද්‍යාඥයෙකු සහ ප්‍රිමේටවිද්‍යාඥ 72 හැවිරිදි රිචඩ් රැන්ග්හැම් ගේ පර්යෙෂණ කටයුතු වලට වානර චර්යාව, මානව පරිණාමය සහ ආහාර පිසීම ඇතුළත්වේ. ඔහු තර්ක කරන අන්දමට ගින්නෙහි වැදගත්ම අංගය වන්නේ එය ආහාර පිසීම සඳහා භාවිතා කිරීමයි. කෙසේ වෙතත්, මෙය පළමු වරට සිදු වූයේ කවදාද යන්න පැහැදිලි නැත. මීට වසර 400,000 සිට 300,000 දක්වා කාලයක සිට ගින්න භාවිතා කළ බවට සාක්ෂි වැඩි වැඩියෙන් ලැබේ. මේවායින් සමහරක් ලැබෙන්නේ ඊශ්‍රායෙලයේ ගුහා වලිනි. මීට වසර 10,000 සිට 50,000 ත් තරම් ඈත පැලියොලිතික් යුගයේ අග භාගය වන තෙක් ආහාර පිසීම සාමාන්ය කටයුත්තක් නොවන්නට ඇතැයි අදහස් වී තිබේ. පැහැදිලිවම ආහාර පිසීම ගින්න භාවිතා කිරීමේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. පිසීමෙන් මස් වඩාත් පහසුවෙන් ජීර්ණය කළ හැකි වන අතර විෂ හා ව්‍යාධිකාරක උදාසීන කෙරේ. ආහාර එකතු කරන ආකාරය මෙන්ම භාවිතා කරන ආකාරය ද ඉවුම් පිහුම් හේතුවෙන් විපර්යාසයට බදුන් වන්නට ඇත. ධාන්‍ය පිස ආහාරයට ගැනීම සාපේක්ෂව මෑත කාලයක් –බාගදා මීට වසර 10,000ක් වනතුරුත් සිදු නොවන්නට ඇත. හැබයි එය, මානව ප්රජාවන් මත විශාල බලපෑමක් ඇති කළේය.
බෝග වගා කිරීම බාගදා බටහිර ආසියාවෙන් ආරම්භ වූවක් විය හැකි නමුත් නිශ්චිත දිනයක් තීරණය කිරීම දුෂ්කර ය. එය ඉක්මණින්ම මැද පෙරදිග පුරාවට හා යුරෝපයේ ව්‍යාප්ත නොවීය. යුරෝපයෙන් ක්‍රි.පූ. 7000 පමණ වන තෙක්ම දැවුණු ධාන්‍ය පිළිබඳ සාක්ෂි නොලැබේ.
ගින්දර භාවිතා කිරීම පිළිබඳ තවත් තීරණාත්මක වර්ධනයක් මේ අතරතුර සිදුවෙමින් පැවතුනා විය හැකිය: එනම්, ගින්න සංරක්ෂණය කිරීමෙන් ඔබ්බට ගොස් ගින්නකට මුලපිරීම හෙවත් සිතාමතා ආරම්භ කිරීමට ඉගෙන ගැනීමයි. ගින්නක් ඇතිවීම සඳහා ගිනි පුපුරක් නිපදවීමට පිණිස ගිනිගල්(ෆ්ලින්ට්ස්) භාවිතා කිරීම මීට වසර 40,000 කට පමණ පෙර දක්නට නොලැබුණි.
මුලින් විලෝපිතයන් වළහා ගැනීමට ද සහ පසුව ආහාර පිසීම සඳහා ද ගින්න සංරක්ෂණය කර ගැනීම පිණිස ලිප් නැතිනම් උදුන් වැඩිදියුණු කිරීම, වෙනත් වැදගත් බලපෑම් ඇති කිරීමට ද තුඩු දෙන්නට ඇත. ‘ දිනය’ තුළ වැඩකරන කාලය දිගු කිරීමට ආලෝකය ඉඩ සලසන්නට ඇති අතර මෙවලම් සෑදීමට ද එය උපකාරී වන්නට ඇත. ගින්නෙන් ඇති වන තාපය, හෙල්ලෙහි තුඩ පන්නරය තැබීම, මැස්ටික් මිශ්‍රන නිෂ්පාදනය වැනි අග්නි-තාක්ෂණ පරාසයක් සඳහා උපකාරී වන්නට ඇත. –
ගින්න වටා ගොඩ නැගුණු ක්‍රියාකාරකම්වල තවත් ප්‍රතිඵලයක් වන්නට ඇත්තේ සමාජ අවධානයක් බිහි කිරීමයි. මෙය, කණ්ඩායම් අන්තර්ක්‍රියාකාරිත්වයට, චාරිත්‍ර වාරිත්‍ර සහ ඇත්ත වශයෙන්ම භාෂාවේ වර්ධනයට උපකාරී වෙමින් මොළය විශාලවීමට හා සංවර්ධනය කිරීම සඳහා කාර්යභාරයක් ඉටු කරන්නට ඇති බව ජෝන් ගොව්ලෙට් අදහස් කරයි.
FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි