සීනි ඇබ්බැහිවීම මොළයට බලපාන හැටි

ඔබ හුඟාක්ම ආශා කරන, තළු මර මර රස බැලීමට අතිශය කැමැති පැණි රස කැවිළි පෙවිලි ජාති ගොඩාක් වර්ග පිරුණු කෑම මේසයක් ගැන මදකට හිතට නගාගන්න. මතක් කරන කොටත් ඔබේ කටට කෙළ උනනවානේ ද? ඔබ අතුරුපසට බෙහෙවින් ආශා කරනවා නේද? එසේ පැණි රසට ආශා කරන්නේ මන්ද? සීනි සහිත ආහාර එපා කියන්න බැරි තරමට ආශාවක් ඇතිකරවන්න අපේ මොළයේ සිදුවන්නේ කුමක් ද?
සීනි යනු කාබෝහයිඩ්‍රේට් නමින් හැඳින්වෙන අණු වර්ගයක් විස්තර කිරීමට භාවිතා කරන පොදු යෙදුමක්. විවිධාකාර ආහාර පාන වර්ග වල සීනි දකින්න ලැබෙනවා. ඔබ මිලදී ගන්නා මිහිරි රස පිරි නිෂ්පාදනවල ලේබල පරීක්ෂා කරන්න. ග්ලූකෝස්, ෆෘක්ටෝස්, , සුක්‍රෝස්, මෝල්ටෝස්, ලැක්ටෝස්, ඩෙක්ස්ට්‍රෝස් සහ පිෂ්ඨය යන සියල්ලම සීනි වර්ග තමයි. ෆෘක්ටෝස් අධිකව ඇති කෝන් සිරප්, පළතුරු යුෂ, සාමාන්ය සීනි සහ මී පැණි ද එසේමය. සීනි කියන්නේ රසකැවිලි සහ අතුරුපසවල පමණක් අඩංගු දෙයක් නොවෙයි., එය තක්කාලි සෝස්, යෝගට්, වියළි පලතුරු, රසකාරක ජලය හෝ ග්‍රැනෝලා බාර්(මුසෙලි ආකාරයේ පාතරාසය සඳහා ගන්න රස ආහාරයකි) වලටද එකතු කරනවානේ.

සීනි සෑම තැනකම ඇති නිසා එය මොළයට බලපාන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම වැදගත්ය. ඔබේ දිවට සීනි වැටුණ විට කුමක් සිදුවේද? සීනි ස්වල්පයක් අනුභව කළ පමණින් සීනි සඳහා තව තවත් ඔබේ අශාව වැඩි කරයිද?
ඔන්න ඔබ උදේ කෑමට හෙවත් පාතරාසයට(breakfast) ගන්නා ධාන්‍යමය කෑමකින් ටිකක් කටට හලා ගත්තා කියලා හිතන්න. එතකොට, එහි අඩංගු සීනි දිවේ රස අංකුරවල(taste buds) කොටසක් වන පැණිරස රස ප්‍රතිග්‍රාහක(sweet-taste receptors) සක්‍රිය කරනවා. මෙම ප්‍රතිග්‍රාහක මගින් මොළ කඳ දක්වා සං ඥාවක් යවන අතර එතැන් සිට එය දෙකට බෙදී නළලේ බොහෝ ප්‍රදේශ කරා ගමන් කරනවා. ඉන් එකක් වන්නේ මස්තිෂ්ක බාහිකයයි(cerebral cortex). මස්තිෂ්ක බාහිකයේ විවිධ කොටස් විවිධ රසයන් පැසරුමට ලක්කරයි: තිත්ත, ලුණු, උමාමි සහ අප දැන් කතාකරමින් සිටින පැණිරසයයි. මෙතැන් සිට, සංඥාව මොළයේ ඉෂ්ටඵල පද්ධතිය(reward system) සක්‍රීය කරයි. මෙම විපාක ක්‍රමය යනු මොළයේ විවිධ කලාප ගණනාවක් හරහා ඇති විද්‍යුත් හා රසායනික මංපෙත් මාලාවකි.


එය සංකීර්ණ ජාලයකි, නමුත් එය උපවිඥානයේ රැඳෙන, එක් තනි ප්රශ්නයකට පිළිතුරු සැපයීමට උපකාරී වේ: “මම එය නැවත කළ යුතුද?” ඔබ මිත්තණිය හදන චොකලට් කේක් රස බැලූ විට ඔබට දැනෙන එම රසවත් එහෙත් නොපැහැදිලි හැඟීම? ඒක තමයි ඔබගේ ඉෂ්ටඵල පද්ධතිය, ” ම්ම්ම් , ඔව්!” එය හුදෙක් ආහාර මගින් සක්රීය වන්නක්ම නොවෙයි. ඉෂ්ටඵල පද්ධතිය සක්රීය කරන දේවල් සහ අත්දැකීම් සඳහා උදාහරණ කිහිපයක් හැටියට සමාජානුගතකිරීම, ලිංගික චර්යාව සහ මත්ද්‍රව්‍ය ද දක්වන්න පුළුවන්. එහෙම නමුත් මෙම ඉෂ්ටඵල පද්ධතිය අධික්‍රියාකාරීවීම නිසා අවාසනාවන්ත සිදුවීම් මාලාවකට මුල පිරෙනව: පාලනය අහිමි වීම, තදබල ආශාව(කෑදරකම), සහ සීනිවලට ඇති අධිවාසනය වර්ධනය වීම.

අපි නැවතත් අර කටට හලා ගත්ත රසවත් ධානයමය ආහරය වෙත යොමුවෙමු. එය ඔබේ බඩට හා අවසානයේ ඔබේ බඩවැලට ගමන් කරයි. එතකොට සිද්ධවෙන්නේ කුමක්ද කියලා අනුමාන කරන්න පුළුවන්ද? එහි ද සීනි ප්‍රතිග්‍රාහක ඇත. ඒවා රස අංකුර නොවන නමුත් ‘දැන් නම් සීනි හොඳටෝම ඇති’ එහෙමත් නැතිනම් ‘කන අතිරේක සීනි සම්බන්දයෙන් ක්‍රියා කිරීමට ඔබේ ශරීරය වැඩියෙන් ඉන්සියුලින් නිපදවිය යුතු බව’ ඔබේ මොළයට දන්වන සං ඥා යවනවා .
අපගේ ඉෂ්ටඵල පද්ධතියේ ප්‍රධාන හුවමාරු මාධ්‍යය වන්නේ, වැදගත් රසායනික හෝ ස්නායු සම්ප්‍රේෂකයක් වන ඩොපමයින් ය(dopamine). පෙර මොළයේ බොහෝ ඩොපමයින් ප්‍රතිග්‍රාහක ඇත. නමුත් ඒවා ඒකාකාරව බෙදී ගොස් නැහැ.. සමහර ප්‍රදේශවල ප්‍රතිග්‍රාහකවල ඝන පොකුරු අඩංගු වන අතර මෙම ඩොපමයින් බහුල ස්ථාන අපගේ ඉෂ්ටඵල පද්ධතියේ කොටසකි. ඇල්කොහොල්(ම්ද්‍යසාරය), නිකොටින් හෝ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ඩොපමයින් අධික්‍රියාකාරිත්වයකට යොමු කරන්නේ සමහර පුද්ගලයන් නිරන්තරයෙන් එම අධික්‍රියාකාරී තත්ත්වයට,( වෙනත් වචනවලින් කියතොත්) ඇබ්බැහි වීමට මග පාදමිනුයි. මත්ද්ව්‍ය තරමටම නොවුණත්, සීනි ද ඩොපමයින් මුදා හැරීමට හේතු වේ. ඩොපමයින් උත්ප්‍රෙරණය කරන ආහාර අතර සීනි දුර්ලභවේ. නිදසුනක් වශයෙන්, (මල්ගෝවා සමාන එලවළුවක් වන) බ්‍රොකොලි (broccoli)කිසිදු බලපෑමක් ඇති නොකරයි. ඒ නිසා තමයි බොහෝ විට ළමයින්ට (බ්‍රොකොලි ඇතුළු) එළවළු ආහාරයට ගැනීමට පොළඹවන්න එතරම් අපහසු වන්නේ.

සෞඛ්‍ය සම්පන්න ආහාර ගැන සඳහන් කරන්නේ නම්, අපි හිතමු ඔබට බඩගිනි සෑදී සමබර ආහාර වේලක් ගැනීමට තීරණය කරා කියලා. ඔබ කෑම කන අතර, ඉෂ්ටඵල පද්ධතියේ අධික්‍රියාකාරී ස්ථානවල ඩොපමයින් මට්ටම් ඉහළ යයි. නමුත් ඔබ එක දිගට එකම ආහාරය අනුභව කරන්නේ නම්, ඩොපමයින් මට්ටම අඩු වන අතර අවසානයේදී එය සමමට්ටම් වී යන්නේය. එයට හේතුව ආහාර සම්බන්ධයෙන් ගත් විට මොළය පරිණාමය වී ඇත්තේ නව හෝ වෙනස් රසයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම සඳහා වීමය. මන්ද? හේතු දෙකක් ඇත: පළමුව, නරක් වූ ආහාර හඳුනා ගැනීමට. දෙවනුව, අපගේ ආහාර වේලෙහි විවිධත්වය වැඩිවූ තරමට අපට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට ඇති ඉඩකඩ වැඩිවීමයි.. එලෙස විවිධත්වය ඉහළ මට්ටමක තබා ගැනීම සඳහා අපට නව ආහාරයක් හඳුනා ගැනීමට හැකිවන අතර ඊටත් වඩා වැදගත් වන්නේ අළුත් ආහාර අනුභව කිරීමට දිගටම ක්‍රියාකරගෙන යාමයි. ආහාර නීරස වූ විට ඩොපමයින් මට්ටම අඩු වන්නේ එබැවිනි.
ඔබට බඩගිනි සෑදී සමබර ආහාර වේලක් ගැනීමට ඉහත ගත් ඔබේ තීරණය වෙත දැන්, නැවත යොමුවෙමු. එකී සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාරය වෙනුවට ඔබ සීනි බහුල ආහාර අනුභව කරන්නේ නම් කුමක් සිදුවේද? ඔබ කලාතුරකින් සීනි අනුභව කරන්නේ නම් හෝ එක වරක දී වැඩිපුර සීනි ආහාරයට නොගන්නේ නම්, එහි බලපෑම සමබර ආහාර වේලකට සමාන වේ. නමුත් ඔබ වැඩිපුර (සීනි) ආහාරයට ගන්නේ නම්, ඩොපමයින් ප්‍රතිචාරය සමමට්ටම් නොවේ. වෙනත් වචන වලින් කිවහොත්, සීනි ගොඩක් ආහාරයට ගැනීම ඉෂ්ටඵල දායී යයි ඔබට දැනෙනු ඇත. මේ ආකාරයෙන් සීනි ක්‍රියා කරන්නේ, හැසිරෙන්නේ මද වශයෙන් මත්ද්‍රව්‍ය හැසිරෙන ආකාරය මෙනි. මිනිසුන් සීනි සහිත ආහාර වලට ඇබ්බැහි වී ඇති බව පෙනී යාමට එය එක් හේතුවකි.

ඉතින්, එම විවිධ සීනි වර්ග ගැන නැවත සිතන්න. ඒ එක් එක් ඒවා සුවිශේෂී වෙන නමුත් ඕනෑම සීනි වර්ගයක් පරිභෝජනය කරන සෑම අවස්ථාවකදීම, එය ඉෂ්ටඵල දායී හැඟීමක් අවුළුවන මොළයේ වැලක ආකාර(domino) ප්‍රතිචාරයකට මුලපුරනවා. ඕනෑවට වඩා නිතර නිතර ගැනීම අධික්‍රියාකාරිත්වයට මුල පුරනවා. ඉතින්, ආන්න ඒ හේතුව නිසා සීනි අධික ලෙස පරිභෝජනය කිරීමෙන් මොළය තුල ඇබ්බැහිවීමේ බලපෑමක් ඇතිකළ හැකි නමුත් ඉඳහිට කේක් කෑල්ලක් රස බැලීම ඔබට හානියක් ගෙනදෙන්නක් නොවන්න පුළුවන්.
Ted Talk.Com හි පළවන How sugar affects the brain යන ලිපිය ඇසුරෙනි