භූ දර්ශනය වෙනස් කිරීම සඳහා ගින්න භාවිත කිරීමේ ඵලවිපාක
ගින්නෙන් භූ දර්ශන වෙනස් කිරීම හුදෙක් වනාන්තර එළි පෙහෙළි කිරීමේ, (උදාහරණයක් ලෙස හේන් ගොවිතැන සඳහා කැලෑ කපා පුළුස්සා දැමීමේ) ප්‍රතිඵලයක් ලෙස අපට සිතිය හැකිය; කෙසේවෙතත්, ගිනි භාවිතය වඩාත් සියුම්ව සිදු විය හැක්කකි. සමහර අවස්ථාවල ගස්වල ඕක් සහ චෙස්නට් වැනි ඇට වර්ගවල ඵලදාව වැඩි කිරීමට පවා ගින්න භාවිත කෙරේ.
ගිනි භාවිතය හා එහි කළමනාකරණයේ දිගුකාලීන බලපෑම් උතුරු ඇමරිකාවේ ද විශේෂයෙන්ම (ස්වදේශික ඇමරිකානු ජනයා බොහෝවිට දඩයම් සතුන් වනයෙන් එලියට ගැනීම සඳහා මතුපිට ගිනි හට ගැන්වූ) එහි නිරිතදිග ද දක්නට ලැබේ . එවැනි ක්‍රියාකාරකම් මර්දනය කිරීම, නූතන යුගයේ ගින්න ඇතිවීම හා එහි තිව්‍රතාව කෙරෙහි සැලකිය යුතු මට්ටමක ප්‍රතිවිපාක ඇති කළ අන්දම ගැන අපි අද සලකා බලමු.

භූ දර්ශනය වෙනස් කිරීම සඳහා ගින්න භාවිතා කිරීම මත්භේදාත්මක ගැටලුවක් ලෙස පවතී. එවැනි භාවිතයන් පිළිබඳ ආකල්ප භූගෝල විද්‍යාව හා සංස්කෘතිය අනුව වෙනස් වේ. දියුණු බටහිර සංස්කෘතීන් බොහොමයක් භූතලය මත ගිනි භාවිතයෙන් සැලකිය යුතු ආකාරයකින් ඈත්වෙමින් සිටියි. ලෝකයේ වෙනත් රටවල භූ දර්ශනය මත ගින්න භාවිතා කිරීමේ බෙහෙවින් වෙනස් ප්‍රවේශයන් හෝ අදහස් දෙකක් තිබෙන අතර ඒවායේ ප්‍රතිවිපාක ද බෙහෙවින් වෙනස්ය.
ඇමසන් වැසි වනාන්තර වැනි ජෛව විවිධත්ව සංවේදී ප්‍රදේශවල වනාන්තර කපා දමා පිළිස්සීමේ කෘෂිකර්මාන්ත භාවිතය හෙවත් හේන් ගොවිතැන පුළුල් ලෙස හෙළා දැකීමට ලක්ව ඇති අතර සාමාන්‍යයෙන් ගින්නක් අත්නොවිඳින වෘක්ෂලතාදියක් හැටියට ගනිද්දී, මෙම ක්‍රියාව වැදගත් ගෝලීය සම්පතක් පිරිහීමට ලක් කිරීමක් ලෙස සලකේ’

(රූපය: බ්‍රසීලයේ වැසි වනාන්තර කපා දැමීම සහ ගිනි තැබීම )
එසේ වුවද, ඇමේසන් ද්‍රෝණියේ වෙනත් ප්රදේශවල, උදාහරණයක් ලෙස, වෙනිසියුලාව, බ්රසීලය සහ ගයනා වැනි ප්රදේශවල සමහර ආදිවාසී ප්රජාවන් ගින්න සහ වාසස්ථාන අහිමිවීම ප්රවර්ධනය නොකරන ගිනි කළමනාකරණය පිළිබඳ අවබෝධයක් වර්ධනය කර ගෙන ඇත. කෙසේ වෙතත්, බොහෝ අවස්ථාවන්හීදී, ‘එක හැන්දකින් බෙදීමේ’හෙවත් ගිනි මැඩීම සම්බන්ධයෙන් සැමවිටම, සැමතැනම එකම ප්රතිපත්තියක් අනුගමනය කිරීම පිළිතුර නොවිය හැකිය.
කෙසේ වෙතත්, බ්‍රසීලය වැනි සමහර ප්‍රදේශවල ඉඩම් පරිහරණය ව්‍යාප්ත කිරීමට ඇති පෙළඹවීම නැතිනම් බලපෑම අවධානයට ලක් විය යුතු කාරණාවක් වේ. මෙය ආකාර දෙකක් ගනී. පළමුවැන්න, වනාන්තර එළිපෙහෙළි කිරීම සහ පසුව එම වනාන්තර සතුන් සඳහා තෘණ තණබිම් හැටියටට ආදේශ කරණු ලැබීම හෝ සමහර අවස්ථාවල වගා කළ හැකි ඉඩම් සංවර්ධනය කිරීම ය. ජනගහන වර්ධනය හේතුවෙන් එවැනි ප්‍රදේශවල සංවර්ධනය සඳහා ද පීඩනයක් ඇතිවිය හැකිය. දෙවැන්න විශාල ගස් කපා හෙළීම හා කප්පාදු කොට පුළුස්සා දැමීම ඇතුළුව දැව සඳහා ගස් කැපීමය.

මෙම ඉඩම් පරිහරණයේ ප්‍රතිවිපාකය පෙන්නුම් කිරීමට ඉන්දුනීසියාවට වඩා හොඳ තැනක් නැති තරම්ය. නැවතත්, තරඟකාරී අවශ්‍යතා දෙකක් ඉස්මතුවේ.. පළමුවැන්න සාමාන්‍යයෙන් ගින්නක් ඇති නොවන නිවර්තන වනාන්තරවල දැව කැපීමයි. බොහෝ අවස්ථාවල දී ඉන්දුනීසියාවෙ ක්ලිමන්තන්(බෝනියෝ) සහ සුමත්‍රා වැනි ප්‍රදේශවල එය බලාපොරොත්තු නොවූ ප්‍රතිවිපාක ගණනාවකට හේතු වී තිබේ. මෙයට හේතුව බොහෝ ගස් තෙත පීට් මත වැඩීමයි. දැව සඳහා ගස් කැපීමෙන් පසු පීට් වියළී යා හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස හටගන්නා වියළි පීට් ගින්නක් සඳහා කදිම ඉන්ධන සපයයි. සෑම වසර හතකට වරක් වාගේ කාලයක දී එවැනි ප්‍රදේශ දැඩි වියළි බවට පත්කරවන එල් නිනෝ ආචරණය මගින් ගැටළුව තවත් උග්‍ර වේ. බෙල්ජියම, ඕලන්දය සහ ලක්සම්බර්ග් එකට එක් කළ භූමි ප්‍රදේශයකට සමාන ප්‍රදේශයක් පුරා ගින්නක් 1982/3 දී කලිමන්තන් හී ඇති විය.

මීට අමතරව, කටු පොල්(oil palm) වගාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා අනෙකුත් පීට්-බිම් ප්‍රදේශවල ජලය සිඳ ගස් කපා දමා ඇත. ලීසෙස්ටර් විශ්ව විද්‍යාලයේ සුසාන් පේජ් විසින් පෙන්නුම් කර දෙනු ලබන පරිදි, කාබන් ඩයොක්සයිඩ්, හරිතාගාර වායුව විශාල ප්‍රමාණයක් මෙන්ම කිලෝමීටර් දහස් ගණනක් දුර යා හැකි දුමාරය වැනි ගෝලීය ප්‍රතිවිපාක ඇති කරන විශාල ගිනි ඇතිවීමට ද මෙය හේතු වී තිබේ. . තව ද එවැනි දුමාර මගින් මිනිස් සෞඛ්‍යයට බරපතල බලපෑම් ඇති කළ හැකි යයි ටස්මේනියා විශ්ව විද්‍යාලයේ ෆේ ජොන්සන් පෙන්වා දී ඇත.
ගින්න හසු කර ගැනීම සහ ගිනි පාලනය කිරීම ගැන අපි ලබන සතියේ කතා කරමු.
FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි