සංක්රමණිකයෙකු නොවන කිසිවෙකුත් මිහිපිට ඇත්ද?
මානවයෝ ඔවුන්ගේ මූලාරම්භය සම්බන්ධයෙන් මෝහනයට පත්වීමේ නැඹුරුවක් දක්වති. සම්භවය පිළිබඳ මෙම වෘත්තාන්ත භේදයකින් තොරව, සංස්කෘතීන්, ආගම්, ජනවර්ග හා ජාතිකත්වයන් පුරාවට දක්නට ලැබේ – එමෙන්ම ඒවා සියල්ලම ඉතා වැදගත් වේ. ඔවුන් පැමිණෙන්නේ කොහෙන්ද, ඔවුන් සෙසු සියල්ල හා සුසංගත වන්නේ කෙසේද සහ සෑම සියලුදෙනාම එකට ගැලපී, කැලති පවතින්නේ කෙසේද යන්න මේ වෘත්තාන්ත, මේ කතාන්දර ඔවුනට කියා දේ.
මෙම කථා අතුරෙන් එකක්, ඇත්ත වශයෙන්ම, මිනිස් ජාන පිළිබඳ කතාව වන අතර, එය මිනිස් ඩීඑන්ඒ ඇති ඕනෑම අයෙකුට පොදු කතාවකි.
විද්යාඥ යන් වඩාත් පැරණි මානව ඩීඑන්ඒ සොයාගනිත්ම, වඩාත් නවීන ඩීඑන්ඒ නියැඳි ලෙස පරීක්ෂා කරත්ම, මෙම ජානමය ද්රව්ය විශ්ලේෂණය කිරීම සඳහා තවත් ක්රම වැඩි දියුණු කරත්ම, මුල් මිනිසුන් තැනින් තැනට යමින්, ලොව පුරා සංක්‍රමණය වෙමින් සහ තව තවත් සංක්‍රමණය වෙමින් පෘථිවිය මත සෑම අස්සක් මුල්ලක් නෑරම වාගේ සිය වාසස්ථානයන් පිහිටුවා ගත් ආකාරය පිළිබඳ බොහෝ දේ හෙළි කරයි.

අවුරුදු දහස් ගණනක්, දහස් දහස් ගණනක් තිස්සේ නිරන්තරයෙන්ම වාගේ සංක්රමණය වීමෙන් පසුව, හෝමෝ සේපියන්ස් පරිණාමය වූවා යැයි විද්‍යාඥයන් අදහස් කරන් තැනින් පිටව ගොස් නැති අය තවත් සිටීද? මෙයම වෙනත් ක්‍රමයකින් කියතහොත්, සංක්රමණිකයෙකු නොවන කිසිවෙකු මේ මිහිපිට සිටීද?
“විද්යාත්මක දෘෂ්ටි කෝණයකින් බලන විට, සංක්රමණිකයන් නොවන බව ඔබට සිතිය හැකි එකම ජනතාව, දකුණු අප්රිකාවේ කොයි-සැන් බස කතා කරන කණ්ඩායම් විය හැකිය” යැයි ටෙක්සාස්හි බේලර් විශ්ව විද්යාලයේ මානව විද්යාව පිළිබඳ සහකාර මහාචාර්ය ඔස්ටින් රෙනෝල්ඩ්ස් පැවසීය. හෙතෙම, මානව ජනගහන ජාන විද්යාවේ(human population genetics) විශේෂඥයෙකු වේ. කොයි-සැන් යනු බොට්ස්වානා, නැමීබියාව, ඇන්ගෝලාව සහ දකුණු අප්රිකාව යන ප්රදේශවල සමානතා සහිත භාෂාවන් කත කරන අප්රිකානු ප්රජාවන්ය.
කොයි-සැන් කණ්ඩායම් යනු මුල්ම මානවයන්ගෙන් පැවත එන සංක්‍රමණික නොවන පිරිසක් විය හැකි බවට ප්‍රධාන සාධක දෙකක් ඇතැයි රෙනෝල්ඩ්ස් පවසයි: ඔවුන් ජීවත් වන්නේ මිනිසුන් මුලින්ම බිහිවූ වේ යයි සැලකීමට ඉඩ ඇති ස්ථානයේ වන අතර ඔවුන්ට අධික ජාන විවිධත්වයක් ඇත. ඉහළ ජාන විවිධත්වය, මුල් පෙළපත පෙන්නුම් කරන්නේ ඇයිද යන්න තේරුම් ගැනීමට හොඳ ක්‍රමයක් වන්නේ, ජාන යනු විවිධ වර්ණයෙන් හෙබි දෝසි අඩංගු බඳුනකට සංසන්දනය කිරීම යයි රෙනෝල්ඩ්ස් පවසයි. බඳුනෙන් ඉවතට ගත් අතලොස්සක් – එනම් මුල් මිනිස් ජනගහනයෙන් බිඳී ගිය පුද්ගලයින්ට – බඳුනේ දෝසි වල ඇතුළත් වර්ණ කිහිපයක් පමණක් තිබිය හැකි නමුත් මුල් බඳුනේ සියලු වර්ණ ඇත.

කොයි-සැන් කණ්ඩායම් සිටි ස්ථාන “මානව වර්ගයාගේ තොටිල්ල” යන ප්‍රඛ්‍යාත නැතිනම් ඉත ප්‍රකට කියමනෙන් දැක්වෙන ප්‍රදේශයට ආසන්නව තිබිමත්, ඔවුන්ගේ සැලකිය යුතු ජානමය විවිධත්වයත් සලකිල්ලට ගත්ත ද, ඔවුන් ජානමය වශයෙන් ආදිවාසී ජනයා අතුරෙන් අවසාන පිරිස ලෙස හඳුනා ගැනීම පෙනෙන තරමට නිශ්චිත හෝ පහැදිලි කාරණාවක් නොවේ.
පළමුවෙන්ම, දකුණු අප්‍රිකාව මානව වර්ගයාගේ තොටිල්ල බව පර්යේෂකයන් නිසැකවම නොදනී. සමහර විද්‍යාඥයන් සිතන්නේ මිනිසුන් ප්‍රථමයෙන් පරිණාමය වූයේ නැගෙනහිර අප්‍රිකාවේ යයි සලකන බව පෙන්වාදෙන රෙනෝල්ඩ්ස් පවසන්නේ හෝමෝ සේපියන්වරුන් මුලින්ම මතුවූයේ කොතැනින් ද යන්න පිළිබඳව නිශ්චිතවම තහවුරු කර ගැනීමට තරම් විද්‍යායින් මේ ප්‍රදේශ දෙකෙහිම ප්‍රමාණවත් පුරාවිද්‍යාත්මක සාක්ෂි රැස් කර නොමැති බවයි.
මානවයන් බටහිර අප්‍රිකාවේ පරිණාමය වන්නන්ට හැකියාවක් පවා පවතින බව ජර්මනියේ ලයිප්සිග්හි මැක්ස් ප්ලෑන්ක් පරිණාමීය මානව විද්යාව පිළිබඳ අණුක ජාන විද්‍යාඥ මාක් ස්ටෝන්කින් පවසයි. පොසිල නටබුන් සංරක්ෂණය කිරීමේදී විවිධ පරිසරයන් ඊට වඩාත් හොඳින් හෝ වඩාත් අසාර්ථකව දායක විය හක., එබැවින් මිනිස් අවශේෂ නිශ්චිත ස්ථානවල තිබී සොයා ගැනීමට හැකිවීම හෝ නොහැකිවීම නිසාවෙන් මිනිසුන් බොහෝ කලකට පෙර එම ස්ථානවල වාසය නොකළ බවක් ඉන් අදහස් නොවේ.
“මිනිසුන් සෑම විටම සංක්‍රමනය කරමින් සිටියි,” යනුවෙන් ස්ටෝන්කින් පවසයි. ආසියාව පුරා ජනගහනයන් පිළිබඳ ඔහු විසින් මෑතකදී කරන ලද ජානමය පර්යේෂණයන් පෙන්වා දී ඇත්තේ සෑම කෙනෙකුම, අන් සියල්ලන්ට යාන්තමින් හෝ සම්බන්ධයක් ඇති බවයි. කොයි-සැන් ජනයා ද ඇතුළුව “සියලු මානව ජනගහනයන් අන් අය සමඟ සම්බන්ධ වී ඇත” ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.”එය ඔවුන්ගේ ජාන, ඔවුන්ගේ සංස්කෘතීන් සහ ඔවුන්ගේ භාෂාවන්හි ඇති සාක්ෂි මගින් දැක්වේ.”


මුල්ම මානවයන් (අප්‍රිකාවෙන්) පිටත්ව යාමට පෙර වසර 100,000 කට වඩා වැඩි කාලයක් තිස්සේ අප්‍රිකාව පුරා විශාල වශයෙන් සංචාරය කරමින් සිටි අතර, එම අවස්ථාවේදී ඔවුන් නැගෙනහිර අප්‍රිකාවෙන් මැද පෙරදිගට සංක්‍රමණය වී ඇති බව ස්ටොන්කින්ගේ අදහසයි. ඉන් තවත් බොහෝ කලකට පසු, ඉන්දියානු වෙරළ තීරය ඔස්සේ ගිනිකොන දෙසට මිනිසුන් ගමන් කළ අතර, තවත් දස දහස් ගණනක් පුරා මෙම මුල් ‘වික්‍රමාන්විතයන්’ පසුපස තවත් සංක්‍රමණික රැළි රැසක් පැමිණෙන්නට ඇත. ඒ අතරම, ඩීඑන්ඒ විශාල හුවමාරුවක් සිදුවීමට ඉඩ තිබූ අතර, මෙම සංඝටක දෙක – සංචලනය හා අන්තර් මිශ්‍රණය – ඔහු දකින්නේ මිනිස් විශේෂය නිර්වචනයවන ලක්ෂණය හැටියටයි. .
“මිනිසුන් ගත් කල ඔවුන් කිරීමට කැමති දේ සංක්‍රමණය වීමයි; එමෙන්ම ලිංගිකව හැසිරීමයි” ස්ටොන්කින් පවසයි. ඉතින් ඈත අතීතයේ සිටම සිදුවන්නේ එය බව පෙනේ.
Live Science හී පළවී ඇති Is anyone on Earth, not an immigrant? යන ලිපිය ඇසුරෙනි