SARS-CoV-2 වෛරසයේ අලුතින් හඳුනාගත් ප්‍රභේදයක් (වෛරසයේ)ස්ථාපිත ඒවාට වඩා සීඝ්‍රයෙන් බෝවන සුලු බව පෙනේ. ඒ ගැන දැනට විද්‍යාඥයන් දන්නා දේ මෙන්න.
එක්සත් රාජධානියේ කොරෝනා වයිරස් ප්‍රභේදය ගැන ප්‍රශ්නෝත්තර
කොරෝනා වයිරසයේ වඩාත් ස්ථාපිත ප්‍රභේදයන්ට වඩා බෝවනසුලු එමෙන්ම ජානමය වශයෙන් වෙනස් බව පෙනෙන එම වයිරසයේ නව ප්‍රභේදයක් හඳුනාගත් බව එක්සත් රාජධානියේ විද්‍යාඥයින් විසින් විස්තර කරනු ලබද්දී මෑත දින කිහිපය තුල සිට ලෝකයා කුතුහලයෙන් ඒ දෙස බලාසිටින්නේ එන්ට එන්ටම වැඩිවන විමතියෙන් යුක්තවය. කෝවිඩ්-19 මර්දනය පිණිස එතෙක් පනවා තිබූ චර්යා සීමාවන් නත්තල් සමයේ තවත් දැඩි කිරීමට නව ප්‍රභේදය පිළිබඳ මූලික අධ්‍යයනයන් නිසා අගමැති බොරිස් ජොන්සන් පෙළඹවනු ලැබූ අතර නෙදර්ලන්තය, ජර්මනිය සහ අනෙකුත් යුරෝපීය රටවල බලධාරීන් එක්සත් රාජධානියේ සිට ගමන් බිමන් තහනම් කිරීමට නියමයන් පනවන ලදී. නව වයිරස් ප්‍රභේදය දැන්, දැඩි වාද විවාද සහ විවිධ විශ්ලේෂණයන්ගේ ඉල්ලකය ලෙස කේන්ද්‍රිත වී ඇත. විද්‍යාඥයින් මෙතෙක් මේ ගැන දැන උගත් දේ ප්‍රශ්නෝත්තර වශයෙන් මේ ලිපියෙන් දැක්වේ.

එක්සත් රාජධානියෙන් සොයාගත් වයිරස් ප්‍රභේදය කිසියම් නව සුපිරි වෛරසයක්ද?
නැත. නව්‍ය කොරෝනා වයිරසය හෙවත් SARS-CoV-2 ලොව පුරා ව්‍යාප්ත වී යද්දී ඉන් පැන නැගී තවත් එක් ප්‍රභේදයක් පමනකි, එය. වෛරස ප්‍රතිවලිතවන විට වයිරසයේ විකෘතින් පැන නගින අතර B.1.1.7 ලෙස හැඳින්වෙන මෙම ප්‍රභේදය ඊටම ආවේනික සුවිශේෂී විකෘති කට්ටලයක් අත්පත් කරගෙන ඇත.

නව ප්‍රභේදයෙහි අසාමාන්‍ය තාවන් මොනවාද?
දකුණුදිග එංගලන්තයේ ප්‍රදේශවලින් හමුවූ සමහර සාම්පල අතරේ නිතර නිතර සොයා ගැනීමට හැකිවූ මෙම ප්‍රභේදය පර්යේෂකයන්ගේ අවධානයට ලක්වූයේ දෙසැම්බර් මාසයේදීය. එය සැප්තැම්බර තරම් ඈත කාලයකදී රෝගීන්ගෙන් එකතු කර ගත් බව ඉන් පසු හෙලිවිය.
පර්යේෂකයන් එහි ජෙනෝමය දෙස වඩාත් තියුණුව බැලූ විට, සාපේක්ෂව විශාල විකෘති සංඛ්‍යාවක් – එනම් සමස්තයක් ලෙස විකෘති 23ක් එය අත්පත් කරගෙන ඇති බව හෙළිවීම ඔවුන් පුදුමයට කළේය. කොරෝනා වයිරසයයේ සාමාන්‍යයෙන් ඇති වන බොහෝ විකෘතින් එක්කො වෛරසයට හානිකර වේ නැතහොත් කිසියම් බලපෑමක් හෝ ඇති නොකරයි. එසේනමුත් B.1.1.7 හි ඇති විකෘති ගණනාවක්ම වෛරසය පැතිරෙන ආකාරය කෙරෙහි සැලකිය යුතු බලපෑම් ඇති කළ හැකි බවක් පෙණි යයි.
එය වෙනත් වෛරස් වලට වඩා බෝවනසුලුද?
එය එසේ බවක් පෙණී යයි. මූලික ක්‍රියාකාරකම් වලදී, එක්සත් රාජධානියේ පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ දකුණු එංගලන්තයේ සමහර ප්රදේශවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන්නේ, මාස ගණනාවක් තිස්සේ සංසරණය වෙමින් මෙතෙක් පිරී ඉතිරී පැතිරුන වයිරසයේ වෙනත් ප්රභේදයන් විස්ථාපනය කරමින් බවය.
කෙසේ වෙතත්, වෛරස් පෙළැන්තියක් සුලභ වීම එය අනෙක් ඒවාට වඩා වේගයෙන් පැතිරෙන බවට සාක්ෂියක් නොවේ. එය හුදෙක් වාසනාව නිසාවෙන්ම වඩාත් පුළුල් ලෙස වර්ධනය විය හැකිය. නිදසුනක් වශයෙන් නව ප්රභේදයක්, සම්ප්රේෂණය වඩාත් පහසුවෙන් සිදුවීමට ඉඩ ඇති ජනාකීර්ණ නගරමධ්යයකින් ආරම්භ විය හැකි අතර එය (වෛරසයේ) තවත් පිටපත් පහසුවෙන් සෑදීමට ඉඩ සලසයි.
කෙසේ වෙතත්, එංගලන්තයෙන් මෙතෙක් රැස්කර ඇති වසංගත විද්යාත්මක සාක්ෂිවලින් පෙනී යන්නේ මෙම වයිරස ප්රභේදය වඩා සාර්ථකව ව්‍යාප්තවීමට හැකියාවක් දක්වන බවය. එය වඩාත් සුලභ වී ඇති ස්ථානවල, කොරෝනා වෛරස් රෝගීන්ගේ සමස්ත සංඛ්යාව ඉහළ යමින් පවතී. ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි වසංගත රෝග විද්යාඥ නීල් ෆර්ගියුසන් ගණන් බලා ඇති ආකාරයට එක්සත් රාජධානියේ අනෙකුත් ප්රභේද සමඟ සසඳන විට මෙම ප්රභේදය සතුව සියයට 50 සිට 70 දක්වා සම්ප්රේෂණ වේගයක් තිබේ.
නව ප්රභේදයක්
බ්‍රිතාඥ කොරෝනා වයිරසයේ බොහෝ සාම්පලවල දක්නට ලැබෙන ඉතා කුඩා විකෘතීන්, වෛරසය වඩාත් පහසුවෙන් පැතිරීමට උපකාරී වේ. කලින් ද දැක්වූ පරිදි, මෙම කොරෝනා වයිරස් ප්‍රභේදය හැඳින්ව්න්නේ B.1.1.7 ලෙසය .
සමහර විද්‍යාඥයෝ සම්ප්‍රේෂණය වැඩිවීම, අවම වශයෙන් හෝ අර්ධ වශයෙන් ළමයින්ට ආසාදනය වන ආකාරයෙහි ප්‍රතිඵලයක් ලෙස හුවා දක්වති. සාමාන්‍යයෙන්, යෞවනයන්ට හෝ වැඩිහිටියන්ට වඩා ළමයින්ට ආසාදනය වීමේ හෝ වෛරසය වැළඳීමේ ඇති ඉඩකඩ අඩුය. එසේනමුත් මෙම නව ප්‍රභේදයට, “වැඩිහිටියන්ට සමානවම ළමයින් ගොදුරු කරගැනීමේ හැකියාව ඇතැයි” යැයි ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ රජයේ උපදේශක සහ වෛරස් විද්‍යාඥ වෙන්ඩි බාර්ක්ලේ පෙන්වාදෙයි.
ප්‍රභේදය සැබවින්ම වඩා බෝවනසුලු බව සනාථ කිරීම පිණිස, පර්යේෂකයන් දැන් එය (නව ප්‍රභේදය) සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ පවත්වමින්, එය සෛල වලට ආසාදනය කරවන ආකාරය සමීපව නිරීක්ෂණය කරයි.
මීට පෙර අවස්ථාවක 614G නමින් හැඳින්වෙන වසංගතයේ ඇති වූ විකෘතියක් පිළිබඳව සොයා බැලීමට පර්යේෂකයන් දැනටමත් එවැනි අත්හදා බැලීම් කර ඇත. එම ප්‍රභේදය එහි පූර්වගාමීන්ට වඩා සම්ප්‍රේෂණය කළ හැකි බව ඔප්පු වන බව සෛල රෝපණය(cell culture) පිළිබඳ සහ සතුන් යොදා සිදු කෙරුණු අධ්‍යයනයන් මගින් සොයා ගන්නා ලදී.
එහෙත්, ව්‍යාප්තවීම වැලැක්වීම පිණිස ශික්ෂිත ක්‍රියා පටිපාටි අනුගමනය කිරීම වෙනත් අනෙකුත් ප්‍රභේදවලට එරෙහිව මෙන්ම 614G ට එරෙහිව ද සාර්ථකව ක්‍රියාත්මක විය. B.1.1.7 සම්බන්ධයෙන් ද එය එසේම විය හැකිය. “අප දැනටමත් දන්නා පරිදි, එය සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ, අත් සේදීම, සැනිටයිසර භාවිතය සහ සංවාතනයෙහි (ventilation) ඵලදායීතාවය වෙනස් නොකරයි” යැයි ශාන්ත ඇන්ඩෲ ස් වෛද්‍ය විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය මුගේ සෙවික් පවසයි.

එය වඩාත් දරුණු රෝගතත්ත්වයක් ඇති කරයිද?
එවැන්නක් සිදු වන බවට ප්‍රබල සාක්ෂි නොමැත; අඩු තරමින් තවම නම් ලැබීනැත. එසේනමුත් එවැන්නක් සිදුවීමට ඇති හැකියාව බැරෑරුම් ලෙස සැලකීමට හේතුවක් තිබේ. දකුණු අප්රිකාවේ, කොරෝනා වයිරසයේ තවත් පෙළපතක් එක් විශේෂිත විකෘතියක් අත්පත් කරගෙන ඇති අතර එය(විකෘතිය) B.1.1.7 හි ද දක්නට ලැබේ. මෙම ප්රභේදය දකුණු අප්රිකාවේ වෙරළබඩ ප්රදේශ හරහා වේගයෙන් ව්යාප්ත වේ. මූලික අධ්යයන වල දී, වෛද්යවරු සොයාගෙන ඇත්තේ මෙම ප්රභේදයට ආසාදනය වූ පුද්ගලයින් සතුව වැඩි වයිරස භාරයක්(viral load) ඇති බවයි – ඔවුන්ගේ ඉහළ ශ්වසන පථයේ වෛරසයේ වැඩි සාන්ද්‍රණයක් තිබෙන බවයි. බොහෝ වෛරස් රෝග වලදී මෙය වඩාත් දරුණු රෝග ලක්ෂණ සමඟ සම්බන්ධ වේ.
මෙම අසාමාන්‍ය ප්‍රභේදය පැමිණියේ කොයිබින්ද?
එය දැන් දැඩි විවාදයන්ට තුඩු දී ඇති ප්‍රශ්නයකි. එක් කාරණාවක් වීමට ඉඩ ඇත්තේ ප්‍රභේදය විශේෂ ධාරක සමූහයක් තුළ නව විකෘතින් පෙළ අත්පත් කරගනු ලැබීමයි. සාමාන්‍ය ආසාදනයකදී, රෝග ලක්ෂණ පෙන්වීමට පෙර කොරොනා වයිරසය පුද්ගලයෙකුගේ ශරීර ගතවී දින කිහිපයක් බෝවෙන සුලු තත්ත්වයට පත්වේ. (ශරීරයේ) ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්නාවිට ශරීරය තුළ වෛරසයේ බහුලත්වය අඩුවේ. රෝගීන්ට කොවිඩ් -19 බරපතල රෝග තත්ත්වයකින් පීඩා විඳින්නේ නැත්නම්, ඔවුන් තුළින් සාමාන්‍යයෙන් සති කිහිපයකින් වෛරසය සම්පූර්ණයෙන්ම ඉවත් වෙයි.
එහෙත්, සමහර විට වෛරසය, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට ආසාදනය කරයි. ඔවුන්ගේ ශරීර තුළ වෛරසය මාස ගණනක් වර්ධනය විය හැකිය. මෙම ප්‍රතිශක්තිකරණය හීන පුද්ගලයින් පිළිබඳ සිද්ධි අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ වෛරසයට දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන්ගේ ශරීරයේ ප්‍රතිවර්තනය වන බැවින් විකෘති විශාල ප්‍රමාණයක් අත්පත් කරගත හැකි බවයි.
කාලයාගේ ඇවෑමෙන්, පර්යේෂකයන් සොයාගෙන ඇති පරිදි, ප්‍රතිශක්තිකරණ පද්ධතිය මග හැරිය හැකි විකෘති වෛරස් වලට ස්වාභාවික වරණය(natural selection) මඟින් අනුග්‍රහය දක්වනු ලැබිය හැකිය. පර්යේෂකයන් යෝජනා කර ඇති තව සාධකයක් වන්නේ ප්‍රභේදයේ පරිණාමය එවැනි රෝගීන්ට ලබා දෙන ඖෂධ මගින් ද මෙහෙයවනු ලැබිය හැකි බවයි. සමහර විකෘති වලට නුමුහුන් ප්‍රතිදේහ(monoclonal antibodies) වැනි ඖෂධ වලට ඔරොත්තු දිය හැකිය.
වෙනත් විද්‍යාඥයන් යෝජනා කර ඇත්තේ නැවතත් මනුෂ්‍යයන් වෙත ඇතුල් වීමට පෙර මින්ක්ස් වැනි සත්ව ගහනයක් හරහා පැතිරීමෙන් වෛරසය නව විකෘති අත්පත් කර ගත හැකි බවයි. සත්ව ආසාදන වැඩි ප්‍රමාණයක් සොය ගැනීමත් සමගම එවැනි “සත්වාශයන්” (“animal reservoirs”) විද්‍යාඥයින් අතර දැඩි උනන්දුවක් දක්වන කේන්ද්‍රස්ථාන බවට ලක් වී තිබේ.
නව ප්‍රභේදය දැනටමත් එක්සත් ජනපදයේ(USA) සංසරණය වෙමින් පවතීද?
දන්නා පරිදි තවම නැත. එනමුත් එයින් අදහස් වන්නේ එය දැනටමත් එක්සත් ජනපදයට ළඟා වී නැති බව නොවෙයි. නව විකෘති හඳුනාගැනීම සඳහා කොරෝනා වෛරස් නිරීක්ෂණය කිරීම පිණිස බ්රිතාන්ය විද්යාඥයන් වඩාත් ශක්තිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කර ඇත. එක්සත් රාජධානියේ සිට යමෙකු එය(නව ප්‍රභේදය) ගෙන ආවා යැයි සිතිය හැකිය. සෙවිය යුතු ප්‍රභේදය ගැන දැන් ලෝකයාට අවබෝධයක් ඇති නිසා, එය තවත් රටවල් වලින් ද මතුවනු ඇතම්විට දක්නට ලැබීමට ඉඩ තිබේ.

ප්‍රභේදය, නව එන්නත් අකාර්යක්ෂම බවට පත්කරයිද?
නැත. බොහෝ ප්‍රවීණයන් සැක කරන්නේ එය එන්නත් සඳහා විශාල බලපෑමක් ඇති නොකරනු ඇති බවටයි.
එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (U.S. Food and Drug Administration) එන්නත් දෙකක් අනුමත කර ඇත. එකක් මෝඩර්නා සහ අනෙක ෆයිසර් – බයෝඑන් ටෙක්. මෙම එන්නත් දෙකම කොරෝනා වයිරසයට ප්‍රතිශක්තියක් ඇති කරන්නේ වෛරසයේ මතුපිට ඇති ප්රෝටීනයකට ප්රතිදේහ නිපදවීමට අපගේ ප්රතිශක්තිකරණ පද්ධතියට උගන්වමින්ය. මෙහිදී ස්පයික් ප්රෝටීන් සෛල මතට ඇතුළු වී ඇතුළත ගමන් මාර්ගයක් විවෘත කරයි. එවිට එන්නත් වලට ප්රතිචාර වශයෙන් නිපදවන ප්රතිදේහ ස්පයික් තුඩට ඇලී සිටී. මෙහි ප්රතිඵලය වන්නේ වෛරස් වලට සෛල ඇතුළට යා නොහැකි වීමයි.
කිරීටක(කොරෝනා) වයිරසයකට ඇතිවන විකෘතියක් මගින් එහි ස්පයික් ප්රෝටීන වල හැඩය වෙනස් කරණු ලැබීමට හැකි යැයි සිතිය හැකි අතර එවිට ප්රතිදේහ වලට ඒවා තදින් නතු කර ගැනීමට අපහසු වේ. B.1.1.7 හි විකෘති වලට ස්පයික් ජාන අටක් ඇතුළත් වේ. නමුත් අපගේ ප්රතිශක්තිකරණ පද්ධතියට එක් වෛරස් ප්රෝටීනයකට එරෙහිව ප්රතිදේහ පරාසයක් නිපදවිය හැකි අතර එමඟින් වෛරස් වලට පහසුවෙන් ඔවුන්ගේ ප්රහාරයෙන් බේරීමට ඇති ඉඩකඩ අඩු වේ. මේ මොහොතේ, විශේෂඥැයන් සිතන්නේ මෙම වයිරස් ප්රභේදයට එන්නත් මග හැරිය නොහැකි බවයි.
එය සනාථ කිරීම සඳහා වෝල්ටර් රීඩ් හමුදා පර්යේෂණ ආයතනයේ(Walter Reed Army Institute of Research) පර්යේෂකයෝ එහි ස්පයික් ප්රෝටීන වල ව්යුහයේ වෙනස්කම් විශ්ලේෂණය කරමින් සිටිති.
ඇමරිකානු මහජනතාවට එන්නතක් ලබා දීමේ ෆෙඩරල් ප්‍රයත්නය වන Operation Warp Speed හි ප්‍රධාන විද්‍යාත්මක උපදේශක වෛද්‍ය මොන්සෙෆ් ස්ලාවුයි පවසන්නේ බ්‍රිතාන්‍යයේ වාර්තා වූ නව ප්‍රභේදය එන්නතක කාර්යක්ෂමතාවයට බලපාන්නේ නැති බවයි.
මතු දවසක යම් අවස්ථාවක දී – “යම් දවසක, කොහේ හරි” – වෛරසයේ ප්‍රභේදයක් මගින් වර්තමාන එන්නත අකාර්යක්ෂම කළ හැකිවන්නට ඉඩ තිබේ. නමුත් මෙම එන්නත සම්බන්දයෙන් එය සිදුවීමේ අවස්ථාව ඉතා අඩුය. එසේ වුවද, “අපි පරෙස්සම් විය යුතුයි” යනුවෙන් ඔහු පවසයි.

නමුත් ස්ක්‍රිප්ස් පර්යේෂණ ආයතනයේ(Scripps Research Institute) වෛරස් විද්‍යාඥ යෙකු වන ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සිතන්නේ එන්නත් කෙරෙහි ඇතිවන අවදානම බැහැර කිරීමට තවම ඉක්මන් වැඩි බවයි. ප්‍රතිශක්තිකරණ දුර්වලතා ඇති රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මග හැරීම සඳහා එක්සත් ජනපද ප්‍රභේදය පරිණාමය වූවා නම්, එම අනුවර්තනයන් එන්නත්වල බලපෑම මගහරවා ගැනීමට වයිරස ප්‍රභේදයට උපකාරී වේ. එවිට එන්නත් මුළුමනින්ම නිෂ්ඵල නොවන නමුත් ඒවායෙ ඵලදායීතාව අඩු වනු ඇත. වාසනාවකට මෙන්, එම හැකියාව පරීක්ෂා කිරීම සඳහා අත්හදා බැලීම් සිදු වෙමින් පවතී.
“අපි (දැනට)නොදනිමු, නමුත් අපි ඉක්මනින් දැන ගන්නෙමු,” වෛද්‍ය ඇන්ඩර්සන් පවසයි.
The New York Times හී පලවූ The U.K. Coronavirus Variant: What We Know යන ලිපිය ඇසුරෙනි