ඇතැම් ගස් අවුරුදු 1000 කට වඩා ජීවත්වන රහස
ලෝකයේ පුරාණ ගස් ගැන කෞතුක සහ බොහෝ විට වන්දනාත්මක අදහසක් තමයි ඒ ඒ සංස්කෘතීන් දරන්නේ. ශ්රි ලංකාවේ ජය ශ්රි මහ බෝධිය අවිවාදයෙන්ම වැටෙන්නේ ඒ ගණයටයි. සමහර ගස් සුළු කාලයකුත්, ඇතැම් ඒවා තරමක කාලයකුත් සමහරක් වන්දනීය තත්ත්වයට පත්වෙන තරමට අදහාගන්න බැරි තරම් කාලයක් නොනැසී පවතින්නේත් කෙසේද?
චීනයේ මුල්බැස ගත් ගින්කෝ(Ginkgo biloba) යනු ජීවමාන පොසිලයක් යයි කිවොත් වැරැද්දක් නැහැ. වසර මිලියන 200 ක් පමණ සාපේක්ෂව නොවෙනස්ව නොනැසී පවතින පෘථිවියේ ඉතිරිව ඇති පැරණිතම ගස් විශේෂය(species) මෙයයි. ජින්කෝ විශේෂයේ තනි ගසක් අවුරුදු සිය ගණනක් ජීවත් විය හැකිය. සමහර විට දහසකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඩයිනෝසෝරයන් වඳ වී යාමේ සිට හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙලීම දක්වා අපේ ලෝකයේ සිදු වූ විශාලතම ව්‍යසනයන්ගෙන් ගැලවී පැවතීමට එම ශාකවලට හැකිවී තිබෙනවා.

ඉතින් ගින්කෝ ශාකයට දීර්ඝායුෂ විඳගැනීමට හැකිවීමේ රහස කුමක්ද?
සමහරක් ඒවා අවුරුදු 1000 ට වඩා පැරණි බව සනාථ වී ඇති, චීනයේ ගින්කෝ බිලෝබා(Ginkgo biloba) ගස් වල වලයන්(rings) සහ ජාන අතරේ මෙ ගැටළුවට පිළිතුර දකින්නට විද්යාඥයන් පටන් ගෙන තිබෙනවා. උතුරු ටෙක්සාස් විශ්ව විද්යාලයේ ජීව විඥයෙකු වන රිචඩ් ඩික්සන් පවසන්නේ මෙන්න මේ වගේ අදහසක්: “මිනිසුන් වන අපගේ වයස යන්ට යන්ට, අපේ ප්රතිශක්තිකරණ පද්ධතිය එතරම් යහපත් නොවීමට පටන් ගන්නවා. නමුත් එක්තරා විදියකට, මෙම ගස්වල ප්රතිශක්තිකරණ පද්ධතිය අවුරුදු 1000 ක් පැරණි වුවත්, එය මිනිසුන්ට සමාන කර බලද්දී අවුරුදු 20 ක දරුවෙකුට සමානයි කියන්න පුළුවනි.”

ඔහු සහ චීනයේ සහ එක්සත් ජනපදයේ සිටින ඔහුගේ සගයන් අවුරුදු 15 සිට 1,300 දක්වා වයසැති තරුණ හා මහලු ගින්කෝ ගස් සංසන්දනය කරමින් අධ්‍යනයක් කර ඇති බව Proceedings of the National Academies of Science හී පළ කර තිබෙන අධ්‍යයන වාර්තාවක සඳහන් වෙනවා. ගසක පොත්ත ඇතුලෙන් (පිටුපස) පිහිටි ජීව සෛලවල තට්ටුවක් හෝ සිලින්ඩරයක් වන සනාල කැම්බියම්(vascular cambium) වල ජාන විද්‍යාව පරීක්ෂා කිරීමෙන්, ගින්කෝ මහලු විය දක්වා ම දින නියමයක් නොමැතිව පුළුල් ලෙස වර්ධනය වන බව පර්යේෂකයන් සොයා ගත්තා.
එයට හේතුව කැම්බියමේ ජාන වල වැඩිහිටිභාව්යට හෝ මරණයට අදාල කිසිදු ප්‍රවේණි වැඩසටහනක් නොමැති නිසා යයි ඔවුන් පෙන්වා දෙනවා . ඉතින් වසර සිය ගණනකට පසුව පවා ආරක්ෂාව සලසා ගත හැකි වන අයුරින් මෙම ශාක ඒවායේ වැඩසටහන අඛණ්ඩව කරගනු ලබනවා. පැරණි ගස් ද වයසට ගියා කියලා නොවෙයි බහුලව බීජ නිපදවනවා. ඒවගේම ඒවායේ(පැරණි ගස්) පත්‍ර තරුණ ගස්වල පත්‍ර මෙන් ම එකසේ කාර්ය ශූරයි. . තවම පරීක්ෂන මගින් සනාථ කරනු ලැබ නැතත්, පර්යේෂකයන් විශ්වාස කරන්නේ වෙනත් පැරණි ගස් — නැගෙනහිර කැලිෆෝනියාවේ මෙතුසෙලා(Methuselah) ලෙස හැඳින්වෙන අවුරුදු 4,800 ක් පැරණි bristlecone ගැන සිතන්න — ඒ හා සමාන ප්‍රවේණි වැඩසටහන් රටාවක් තිබිය හැකි බවයි.

ජින්කෝ ශාක දිගු කලක් ජීවත් වුණත්, ඒවා ද වයසට යාම නොවැළැක්විය හකියි. ගස් වර්ධනය ඉහළට(උඩ අතට) හා පිටතට(වටේට) සිදුවෙනවා: ඉහළට- – අග්රස්ථ විභාජකය (apical meristem) ලෙස දැක්වෙන සෛල උත්පාදනය කරන කලාපයක් සමඟ සහ පිටතට – – සනාල කැම්බියම් සමඟ වර්ධනය සිදුවෙනවා. කාලයාගේ ඇවෑමෙන්, කාලගුණය හෝ වෙනත් දේ ගසක උස සීමා කරමින් අග්රස්ථ විභාජකයකට හානි කරනවා. සෑම වසරකම පත්‍ර මිය ගොස් වැටීයනවා. කෙසේනමුත් ගසෙහි කඳ තුළ අඩංගු කැම්බියම් නොවෙනස්ව හා ක්රියාකාරීව පවතී. වයස අවුරුදු 200 න් පසු සෛල බෙදීම මන්දගාමී වන බව පර්යේෂකයන් සොයා ගත්තා. නමුත් සෛල තවමත් ජීව්‍ය වේ. ඒවා ආරක්ෂාව ජනනය කරන අතර ජලය හා පෝෂ්ය පදාර්ථ රැගෙන යමින් ගස සෞඛ්ය සම්පන්නව වැඩී මට දායකවෙනවා. සමහර විට ගස් හුදු හිස් හිස් කුහරයක් ලී කොටයක් බවට් පත්විය හැකි නමුත්, කැම්බියම් නොවෙනස්ව තිබියදීත්, ඔවුන්ට තවදුරටත් පත්‍ර සහ මල් නිපදවීමට හෝ හුදු ගස් කොටයක් ලෙස ජීවත් වෙන්නත් පුළුවනි.
අවසානයේදී ජින්කො ගස් පවා මිය යන නමුත් විශාල ප්රශ්නයක් ඉතිරිවෙනවා: ඒ ඇයි?
Rocky Mountain Tree Ring Research යන ආයතනය පවත්වාගෙන යන ජීව විද්යාඥ යෙකු වන පීටර් බ්රවුන් පවසන්නේ ගින්කෝ වැනි ගස් සදාකාලිකව ජීවත් විය හැකි බවයි. “මොඩියුලර් ජීවීන් වනහෙයින්, සෑම වසරකම නව ශෛලම පටක, නව මුල්, නව පත්‍ර, නව ලිංගික අවයව දරා සිටීනවා” ඔහු පැවසීය. “ඒවා අප වැනි සතුන් නොවෙයි. අප ඉපදුණු පසු, අපගේ සියලු ශරීර කොටස් එලෙසම තිබෙන අතර එක්තරා අවස්ථාවකදී එම කොටස් අක්‍රිය වෙන්න පටන් ගන්නවා. ”
The New York Times (Trilobites)හී පලවූ The Secret That Helps Some Trees Live More Than 1,000 Years යන ලිපිය ඇසුරෙනි