මානව පරිණාමය: අප්‍රිකානු නිම්නයක පාඩම
අප්‍රිකාවේ ඊසානදිග කෙළවරේ පිහිටුවා ඇති අෆාර් විවරය මානව ඉතිහාසයේ සුවිශේෂී වාර්තාවක් උසුලයි. සෘතුමය වශයෙන් එන ගංවතුර, මෙම ද්‍රෝණියට අවසාදිත ගෙන යයි. ඒවා එහි එකතුවන්නේ සහස්‍ර ගණනාවක් තිස්සේය. සෑම වසරකම, Middle Awash (Middle Awash යනු මානව වර්ගයාගේ මූලාරම්භය තීරණය කිරීමේ අරමුණින් ඉතියෝපියාවේ අෆාර් කලාපයේ සිදු කරන ලද ජාත්යන්තර පර්යේෂණ ගවේෂණයකි. එහි මීට වසර මිලියන 6 කට පෙර සිට අවුරුදු 200,000ට පෙර පැවති පොසිල අඩංගු වේ.) ක්ෂේත්‍ර කඳවුර ජලයෙන් යටවීමේ අවදානමකට ලක්වේ. එමෙන්ම එය අනිවාර්‍යයෙන්ම එලෙසම සිදු වේ. ගංවතුර ගෙන ආ ජලය වාෂ්ප වන විට, ඉතිරිව ඇති රොන්මඩ මිලිමීටරය අද වන විට අවසාදිත ස්ථරවල අනුප්‍රාප්තික (කාලය වශයෙන්) ලාබාලම ස්ථරය බවට පත්වේ. එසේ මිලිමීටරයෙන් මිලිමීටරය බැගින් නිතිපතා එකතුවෙන මෙම ස්ථරයන් අද වන විට කිලෝමීටර් 1.5 ක් පමන ඝනවී ඇත

වසර මිලියන 6 ක් තිස්සේ ගංගා සහ විල් ඇතිවී නැතිවී යද්දී මෙම ස්ථර තව තවත් එකතු වි ඇත. මෙලෙස එකකට පසු එකක් ලෙස අනුක්‍රමිකව ගොඩ ගැසී ඇති පාෂාණ පතුලේ වූයේ චිම්පන්සියකු නොවන, මිනිසෙකු නොවන ආඩිපිතෙකස් ය(Ardipithecus ) — නමුත් ආඩිපිතෙකස් නියෝජනය කළේ අපගේ හොමිනිඩ් පවුලේ ගසෙහි ශාඛාවේ මුල්ම කොටසයි. වසර මිලියන 4.2 ක් පැරණි ස්ථර වලදී පර්යේෂකයන්ට පැරණිතම ඔස්ට්‍රොලොපිතෙකස්(Australopithecus) හමු වූ අතර, අනතුරුවව අවුරුදු මිලියන 3.4 ක් පැරණි වැලි ගල් වලදී “ලුසි” විශේෂයේ නටබුන් හමුවිය. මෙයටත් ඉහළ ස්තරවල අවුරුදු මිලියන 2.5 ක් පැරණි අවසාදිතයන්හි, (ඊට යොදා ගනු ලැබුවේ යයි සැලකිය හැකි) ගල් ආයුධ ද සමග මස් කරන ලද විශාල ක්ෂීරපායීන් පිළිබඳ ශේෂ මාත්‍ර හඳුනා ගනු ලැබ ඇත.

මීට වසර මිලියනයකට පෙර මෙම නිම්නයෙහි විසුවේ අත් පොරව සෑදීමේ කුසලතාවයෙන් හෙබි හෝමෝ ඉරෙක්ටස් (Homo erectus) විශේෂයයි. හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ රොඩෙසියන්සිස් (Homo rhodesiensis) ලෙස ද පසුව ආසන්න ලෙස කාය ව්‍යවච්ඡේදමය වශයෙන්නවීන හෝමෝ සේපියන්ස් අයිඩල්ටු(Homo sapiens idaltu) ලෙස ද පරිණාමය විය. කාලවකවානු වශයෙන් සමහර ‘ලාබාලම’ ස්ථරයන්හි, කාය ව්‍යවච්ඡේදාත්මක වශයෙන් කොපමණ නවීන දැයි කියතහොත්, වර්තමානයේ පෘථිවිය මත වසන බිලියන 7 ක් වන මානවයන්ගේ අවශේෂ අතරේ වෙන්කොට හඳුනාගැනීමට අසීරු පොසිල අපට හමු වේ. මෙම පාෂාණ ස්ථර අතර ශිලා(ගල්) ආයුධ තාක්ෂණය පිළිබඳ අසමසම වාර්තාවක් ද අපට හඳුනා ගත හැක.

නිසැකවම ඩාවින්ගේ පිළිගැනීමට ලක් විය හැකි පරිදි, මෙම සාක්ෂි අති ප්‍රබලයි — එනම්, එච්. සේපියන්ස් ලෙස හඳුන්වනු ලබන ක්ෂීරපායී විශේෂය වන අපගේ පරිණාමීය මූලයන් අප්‍රිකාවේ ගැඹුරුටම කිඳා බැස ඇත.

ඉතින් එය වැදගත් වන්නේ ඇයි? අපේ විශේෂයට වැදගත් පාඩම් මානව පරිණාමීය ඉතිහාසය තුළ මුල් බැස ඇත. සාපේක්ෂව වාඩාත් ඈත කාලීන අප්‍රිකානු වානරයන් හැරුණු කොට අපගේ සමීපතම ඥාතීන් සියල්ලම වඳ වී ගොස් අවසන් බව අපි දැන් දනිමු. මෙම දැනුම මගින් සපයනු ලබන ඉදිරි දර්ශනය, ද්වි-පාද, විශාල මොළයක් සහිත, නවෝත්පාදන ශක්තියෙන් හෙබි, තාක්‍ෂණශීලී අග්‍රේෂනයනට(primate) කාලෝචිත හා අත්‍යවශ්‍ය වේ. මන්ද, පෘථිවි ග්‍රහයා මත අපගේ අනාගතය දැන් රැඳි පවතින්නේ සියල්ල සිය ග්‍රහණයට හසු කර ගන්නා එම අග්‍රේෂනයන්ගේ දෑතෙහි හෙයිනි.

කරුණු සලකා බැලීමේදී, දිව්‍යමය මැදිහත් වීමෙන් අපගේ අනාගතය යහපත් අරමුණු කරා මෙහෙයවනු ඇතැයි යන අවදානම් සහගත එහෙත් පුලුල්ව පැතිර පවතින මතය පදනම් කරගෙන සූදු කෙළින්නට යාම ප්‍රඥාගෝචර නොවෙ. ගෝලීය අනාගතයට බලපෑම් කිරීමේ හැකියාව පරිණාමය කරගෙන ඇති අපේ මෙම විශේෂය, ඊට(අපේ විශේෂයට) ගැලපෙන ලෙස ‘මනුෂ්‍ය’ විලාසයෙන් ක්‍රියා කිරීම පටන් ගැනීම පිණිස කාලය එළඹ ඇත.
New Scientist – The Collection (Vol two -issue Five) හි පළව ඇති LESSONS FROM AN AFRICAN VALLEY යන ලිපිය ඇසුරෙනි