
අපේ කඳුළු ලුණු රහවන්නේ ඇයි?
මුහුදු කැස්බෑවන් පිළිබඳ කතාවක් ඔබට කියමින්ම මම පිළිතුරු දීම ආරම්භ කරන්නම්. ටිකක් අමුතු බවක් පෙනෙන්නට තිබුණත්, කලබල නොවී, අවධානය යොමු කරන්නකෝ. ඒ සියල්ල ඉක්මනින් ඔබට අර්ථවත් වේවි.
මුහුදු කැස්බෑ මව්වරුන් බිත්තර දැමීමට රාත්‍රියේදී මුහුදු වෙරළට සෙමින් එනවිට, ඔබ සැබවින්ම පරිස්සමින් බැලුවහොත් ඔවුන්ගෙ දෑස්වලින් කඳුළු ස්වල්පයක් වැගිරෙන බව ඔබට පෙනෙනු ඇති. පුරාණ පුරාවෘත්තවලට අනුව කැස්බෑ මව්වරුන් කඳුළු වගුරුවන්නේ ඔවුන්ට කවදාවත් නැවත තම ළදරුවන් හමුවීමට නොලැබෙන නිසාය.

කොහොමනමුත් විද්‍යාත්මක ක්‍රම වේද යොදාගන්නා විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබ ඇත්තේ මුහුදු කැස්බෑවන් සැබවින්ම අඬන්නේ නැති බවයි. ඒ වෙනුවට, ඔවුන් කරන්නේ අධික ලුණු සහිත කඳුළු හෙළා වැලපීමෙන් ඔවුන්ගේ ශරීරයෙන් අතිරික්ත ලුණු ඉවත් කිරීමයි. මුහුදු කැස්බෑවන් ලුණු සහිත මුහුදු ජලයේ ජීවත් වන අතර ඔවුන්ගේ ප්‍රියතම ආහාරය ලොඩියන් හෙවත් ජෙලිෆිෂ් (මොවුන්ගෙ සිරුරු බොහෝ දුරට සමන්විතවන්නේ මුහුදු ජලයෙනි!) නිසා, ඔවුන්ගේ ශරීරය ඇතුළත අධික ලෙස ලුණු ඒක රාශිවෙයි. එය විෂ විය හැකියි. ඒ නිසා ඔවුන්ට දිවි රැකගෙන ජීවත්වීම සඳහා කඳුළු වගුරුවා අඬා ඔවුන්ගේ ශරීරයෙන් මෙම ලුණු ඉවත් කිරීම අවශ්‍යවෙනවා.
අපි ඕනෑවට වඩා ලුණු ආහාරයට ගත්තොත් හෝ ලුණු අපේ ශරීරයේ වර්ධනය වේ නම්, මුත්‍රා කිරීම පිණිස අප වැසිකිළියට යන විට එම ලුණු බැහැර කිරීමට අපගේ වකුගඩු උපකාරී වෙනවා. නමුත් මුහුදු කැස්බෑ වකුගඩු මිනිස් වකුගඩු තරම් කාර්යක්ෂම නොවන නිසා ඔවුන්ගේ මුත්‍රා මාර්ගයෙන් ඇති තරම් ලුණු ඉවත් කිරීමට නොහැකියි. ඉතින්, මුහුදු කැස්බෑවන්ට ඇස් දෙකෙහිම විශේෂ ලවන ග්‍රන්ථිය ඇති අතර එය ප්‍රමාණයෙන් ඔවුන්ගේ මොළයට වඩා දෙගුණයක් වනවා. අතිරේක ලුණු ඔවුන්ගේ කඳුළු වෙතට පොම්ප කරනු ලබන්නේ එම ග්‍රන්ථි මගිනුයි. මෙම කැස්බෑ කඳුළු ඉතා ලුණු සහිත වන අතර සමනලුන් වැනි සමහර සතුන් මෙම කැස්බෑ කඳුළු ‘ලෙවකමින්’ සිටිනු නිරීක්ෂණයවෙලා තියෙනවා
මිනිසුන් ගැන සලකතොත් අපට කිව හැක්කේ කුමක්ද?
ඔබ කවදා හෝ ඔබේ කම්මුල දිගේ බේරෙන කඳුළක් දිව’ගට ගෙන ඇත් නම්, එය මද ලුණු රස බව දැනී යන්නට ඇති. නමුත් අපේ වකුගඩු කැස්බෑවුන්ට වඩා හොඳින් ක්‍රියා කරයි නම්, ඒ වගෙම අපි උදේ ආහාරය සඳහා අනුභව කරන්නේ ජෙලිෆිෂ් නොවේ නම්, අපගේ කඳුළු ත් ලුණු රහ වන්නේ ඇයි? ප්‍රශ්නයක් තමයි.
ඇත්තවශයෙන්ම, අපේ ශරීරයේ ඇති සියලුම තරලවල ලුණු ස්වල්පයක් තියෙනවා. මෙම ලුණු විදුලිය බවට පරිවර්තනය වී අපගේ මාංශ පේශි හැකිලීමට මෙන්ම අපගේ මොළයට සිතීමට ද උපකාරී වෙනවා. (කඳුළු, දහඩිය සහ ඛේටය හෙවත් කෙළ වැනි) අපගේ ශරීර තරලවල ලුණු ප්‍රමාණය අපගේ රුධිරයේ ඇති ලුණු ප්‍රමාණයට සමාන වේ – සියයට 1 ට අඩු හෝ ලීටරයකට ලුණු තේ හැඳි දෙකක් පමණ වේ. ඉතින් අපේ කඳුළු මදක් ලුණු රස වුණත්, මුහුදු කැස්බෑවුන්ගේ කඳුළුවලට වඩා ඒ ලුණු රස බෙහෙවින් අඩුයි.
/tear-falling-from-woman-s-eye--close-up-200239461-001-59da598a6f53ba001044eb61.jpg)
කඳුළු වර්ග 3 ක්
ඔබේ ඇස් වල කඳුළු වල ලවණතාව(saltiness), ඇත්ත වශයෙන්ම ඔබේ ඇස් මගින් තනනු ලබන්නේ කුමණ කඳුළු වර්ගයක් ද යන්න අනුව වෙනස් වීමට පුළුවන.

අන්න හරි, ඔබේ ඇස් – – නිශ්චිතවම කිව්වොත් අශ්‍රැක ග්‍රන්ථිය(lacrimal gland) ලෙස හැඳින්වෙන ඔබේ ඇස්වල කොටස – – එකිනෙකට වෙනස් විවිධ කඳුළු වර්ග තුනක් සාදනවා. මේවා මූලස්ත කඳුළු, ප්‍රතීක්ස කඳුළු සහ ආවේගපූර්ණ කඳුළු වශයෙනි. ඒවා ඉටුකරන කාර්යයන් අතර:
මූලස්ත කඳුළු(Basal tears) — ඔබේ ඇස් තෙත්ව තබාගැනීමටත් ඔබේ ඇස් ආසාදනය කරවන විෂබීජ නවත්වන්නටත් උපකාරීවෙනවා.
ප්‍රතීක කඳුළු(Reflex tears) — ඔබේ ඇස්වලට දුම හෝ වැලි කැට වැනි හානිකර යමක් ඇතුල් වූ විට ඇස සෝදා දැමීමට අවශ්‍ය වූ විට ප්‍රතීක්ස කඳුළු සාදනු ලබනවා.
ආවේගපූර්ණ කඳුළු(Emotional tears) — ආවේගපූර්ණ කඳුළු යනු ඔබට ඉතා සතුටක් හෝ දුකක් දැනෙන විට ඔබ හඬවමින් ඇද වැටෙන කඳුළු වර්ගයයි.
ආවේගපූර්ණ කඳුළු වලට වඩා මූලස්ත කඳුළු සහ ප්‍රතීක කඳුළු වල ලුණු වැඩි වන අතර එය ඔබේ ඇස් නිරෝගීව තබා ගැනීමට වැදගත් වෙනවා. ස්වාභාවික වේදනා නාශකයක් මෙන් ක්‍රියා කරන හෝමෝනයක් (එනම් ඔබේ ශරීරයේ විශේෂ රසායනික ද්‍රව්‍යයක්) ඇතුළු තවත් බොහෝ දේ ආවේගපූර්ණ කඳුළුවල අඩංගු වෙනවා. කඳුළු වගුරවමින් හොඳ හැටි හැඬීමකින් පසු ඇතැම් විට අපට සහනයක් වගේ දැනෙන්නේ මන්දැයි පැහැදිලි කිරීමට මෙය උපකාරී වනවා කියලා කියන්න පුළුවන්.
ඊළඟ වතාවේ ඔබ තරමක් ලුණු සහිත කඳුළක් වැගිරෙන විට, ඔබේ ශරීරයේ ලුණු මට්ටම පාලනය කිරීමට සමත් වකුගඩු තිබීම මෙන්ම කැස්බෑ මව්වරුන්න්ට මෙන් දිවි රැකගැනීම පිණිස ලුණු කඳුළු වගුරුවන්න අවශ්‍ය නැති වීම කොතරම් වාසනාවක්දැයි සිතා බලන්න. එහෙම හිතද්දී ඉතින් ඇහැට කඳුලක් ආවත් කමක් නැහැනේ?
Curious Kids(The Conversation) හි පළවන Why are our tears salty? යන ලිපිය ඇසුරෙනි