අප සිතුවාට වඩා වේගයෙන් පෘථිවිය ප්‍රපාතය කරා ඇදෙමින් සිටියි
දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය නැතිවීම සහ අධික ජනගහනය යන තර්ජන ත්‍රිත්වය පෘථිවිය දැඩිව පීඩාවට පත්කරයි,

මහා නෂ්ටප්‍රාප්තීන්, සෞඛ්ය අර්බුද සහ දේශගුණය හේතුවෙන් සමාජයට නිරන්තරයෙන් සිදුවන බාධාවන්ගෙන් යුත් “භයානක අනාගතයක්” කරා මානව වර්ගයා පාලනයකින් තොරව, වහ වහා ගමන් කරමින් සිටී — එය වළක්වා ගත හැක්කේ ලෝක නායකයින් පාරිසරික තර්ජන බැරෑරුම් ලෙස සැලකීම ආරම්භ කළහොත් පමණක් බවට ජනවාරි මැද, zzz සඟරාවෙහි පළවන නව පර්යේෂණ වාර්තාවක් මගින් විද්යාඥයෝ අනතුරු අඟවති.


එම ලිපියෙන්, එක්සත් ජනපදයේ, මෙක්සිකෝවේ සහ ඕස්ට්රේලියාවේ වෙසෙන පර්යේෂකයන් 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෘථිවියේ ජීවීන් මුහුණ දෙන ප්රධාන අර්බුද තුනක් විස්තර කරති: දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය පිරිහීම සහ මානව අධිපරිභෝජනය සහ අධික ජනගහනය එම අර්බුද තුනයි. මෙයට කලින් සිදුකෙරුණු අධ්යයන 150 කට වැඩි සංඛ්යාවක් උපුටා දක්වමින් කණ්ඩායම තර්ක කරන්නේ (ඉදිරි දශක කිහිපය තුළ උත්සන්න වීමට බොහෝ සේ ඉඩ ඇති ) බොහෝ දෙනා අවබෝධ කර ගෙන සිටිනවාට වඩා මෙම අර්බුද තුන තුළින් පෘථිවිය වඩාත් අස්ථිර තත්වයකට පත් කරනු ඇති අතර මිනිස් සංහතියට පවා තර්ජනයක් විය හැකි බවයි.
මෙම නව පර්යේෂණ ලිපියේ අරමුණ සාමාන්ය පුරවැසියන්ට දෝෂ දර්ෂනයට ලක්කිරීම හෝ සියල්ල වැනසී යන බවට අසුබවාදී අනතුරු ඇඟවීම් කිරීම හෝ නොවේ යයි කතුවරු සඳහන් කරති. ඒ වෙනුවට, අපේ පෘථිවිය මුහුණ දෙන තර්ජන පැහැදිලිව විස්තර කිරීමෙන් මිනිසුන් (සහ දේශපාලන නායකයින්) පර්යේෂකයන්ගේ බස් බැරෑරුම් ලෙස සලකා බැලීමට පටන් ගෙන ප්රමාද වී පසුතැවෙන්නේ නැතිව තත්ත්වය සමනය කිරීමට ක්‍රියා කිරීම අවධාරනය කෙරේ.
“භයානක අනාගතයක් වළක්වා ගැනීමට සැලසුම් කිරීම සඳහා අත්‍යවශ්ය වන පෘථිවියේ තත්ත්වය පිළිබඳ යථාර්ථවාදී විස්තරයක් නායකයින්ට ලබා දීම අපගේ අරමුණයි.” යනුවෙන් ඔවුහු කියා සිටිති.
එම අනාගතය කෙබඳු වේද? ආරම්භයක් හැටියට දක්වන්නේ නම් සොබාදහම, බොහෝ දේ අහිමි කරගෙන බොහෝ සේ ‘තනි’ වනු ඇත. මීට වසර 11,000 කට පෙර කෘෂිකර්මාන්තය ආරම්භ වූ දා සිට පෘථිවියට එහි භූමි ශාක වලින් 50% ක් සහ සත්ව ජෛව විවිධත්වයෙන් දළ වශයෙන් 20% ක් අහිමි වී ඇති බව කතුවරුන් පෙන්වා දෙන්නේ අධ්‍යයන දෙකක් උපුටා දක්වමිනි. ඉන් එකක් 2018 වර්ශයේ දී ද සහ අනෙක 2019 වසරේ දි ද සිදුකෙරුණු ඒවාය. වර්තමාන ප්රවණතා එලෙසම දිගටම පවතී නම්, පෘථිවියේ ශාක හා සත්ව විශේෂ මිලියන 7 සිට 10 දක්වා ප්‍රමානය අතුරෙන් මිලියනයක් පමණ නුදුරු අනාගතයේ දී වඳවීමේ තර්ජනයට ලක්විය හැකිය යි පර්යේෂණ වාර්තාව දක්වයි
මෙතරම් දැවැන්ත අන්දමින් ජෛව විවිධත්වයක් නැතිවීම, ශාක පරාගණය කිරීමට කෘමීන් අඩුවීම, එමෙන්ම වාතය, ජලය සහ පස පෙරීමට ලක් කිරීම පිණිස ශාක අඩුවීම සහ ගංවතුරෙන් සහ වෙනත් ස්වාභාවික විපත්වලින් ජනාවාස ආරක්ෂා කිරීම සඳහා වනාන්තර අඩුවීම කෙරෙහි බල පෑමෙන් පෘථිවියේ සෑම ප්‍රධාන පරිසර පද්ධතියකටම බාධාවක් වනු ඇත.
මේ අතර, ස්වාභාවික විපත් ඇති කරන එම සංසිද්ධීන් සියල්ලම ගෝලීය දේශගුණික විපර්යාස හේතුවෙන් වඩාත් ශක්තිමත්ව හා නිතර නිතර සිදුවන්නට පටන් ගනු ඇතැයි පුරෝකථනය කර තිබේ. මෙම ව්‍යසනයන් හා දේශගුණික බලපෑමෙන් ඇතිවන නියඟයන් හා මුහුදු මට්ටම ඉහළ යාමත් සමඟ 2050 වන විට බිලියන 1 ක ජනතාවක් දේශගුණික සරණාගතයින් බවට පත්වනු ඇත. එහි ප්‍රථිඵලයක් ලෙස ඇතිවන සාමූහික සංක්‍රමණයන් තවදුරටත් මිනිස් ජීවිත අනතුරට හෙළීමට සහ සමාජය අවුල් කිරීමට මග පාදයි.


අධික ජනගහනය ප්‍රශ්න තවත් නරක අතට හරවයි.
“2050 වන විට ලෝක ජනගහනය ඩොලර් බිලියන 9.9 ක් දක්වා වර්ධනය වනු ඇති අතර එම වර්ධනය ඉදිරි ශතවර්ෂය දක්වාම පවතිනු ඇතැයි බොහෝ දෙනා පුරෝකථනය කර ඇතැයි” අධ්‍යයනයේ කතුවරු දක්වති
මෙම ඉහළ යන වර්ධනය, ආහාර අනාරක්ෂිතතාවය, නිවාස අනාරක්ෂිතතාවය, රැකියා විරහිතභාවය, තදබදය සහ අසමානතාවය වැනි සමාජ ගැටලු උග්‍ර කරනු ඇත. විශාල ජනගහනයක් වසංගත රෝග ඇතිවීමේ අවදානම ද වැඩි කරයි. මිනිසුන් වෙන කවරදාටත් වන අවකාශයන්ට ඇතුළු වන විට, — COVID-19 ට හේතු වන SARS-CoV-2 වෛරසය වැනි — සත්වපාදක නව මාරාන්තික රෝග මතුවීමේ අවදානම වෙන කවරදාටත් වඩා විශාල වන බව 2020 සැප්තැම්බර් මාසයේදී World Development (ලෝක සංවර්ධන) සඟරාවේ පළවූ අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි.
ලොව පුරා වාර්තාගත ලෙස උෂ්ණත්වය ඉහලයාම සහ වැඩි වැඩියෙන් ක්රියාකාරී සුළි කුණාටු බහුල සෘතු වැනි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ප්රථිඵල අපට දිනපතාම දැක ගැනීමට, දැන ගැනීමට හැකිවන්නා සේම, අනෙක් අතට මෙකී අනකුත් අර්බුදවල බරපතලම බලපෑම් පැහැදිලිව පෙනෙන්නට දශක ගණනාවක් ගත විය හැකි බව කණ්ඩායම සඳහන් කරති. මෙලෙස ‘හේතුව සහ බලපෑම’ අතර ඇති ප්රමාදය, මෙම ආක්රමණශීලී පාරිසරික තර්ජනවලට විසඳුම් සෙවීම සඳහා (කතුවරුන් දක්වන අන්දමට) “මුළුමනින්ම ප්රමාණවත් නොවන” උත්සාහයට වගකිව යුතුවේ.
“ලෝක ජනගහනයෙන් බහුතරයක් අප මෙහි සාරාංශගත කර ඇති අර්බුදවල දරුණුකම සහ අනිවාර්‍යයෙන්ම නරක අතට හැරෙන තත්වයන් සැබවින්ම වටහාගෙන නිසි ඇගැයීමට ලක් කරන්නේ නම් පැවැත්මේ තර්ජනවල බරපතලකමට ගැලපෙන පරිදි දේශපාලනයේ හා ප්රතිපත්තිවල ධනාත්මක වෙනස්කම් තාර්කිකව අපේක්ෂා කළ හැකිය” යනුවෙන් කණ්ඩායම අදහස් කරති.
එහෙත් දැනට පවතින නැඹුරුව ප්රතිවිරුද්ධ දිශාවටය.
2015 පැරිස් ගිවිසුම මගින් නියම කර ඇති ගෝලීය උනුසුම් ඉලක්ක පසුකර අපි මේ වන විට පූර්ව කාර්මික යුගයේ සාමාන්ය උෂ්ණත්වයට වඩා ෆැරන්හයිට් අංශක 4.1 (සෙල්සියස් අංශක 2.3) සහිත ලෝකයක වාසය කිරීමට සූදානම්ව සිටින බවක් පෙන්නුම් කරයි.
එහෙත් ලෝක නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් වහාම අප ඉදිරියේ ඇති ගැටළු බැරෑරුම් ලෙස සලකා බැලීමට පටන් ගන්නේ නම් විසඳුම් සෙවීම ඇරඹිය හැකියයි පර්යේෂක කණ්ඩායම පෙන්වාදෙති. එහි පළමු පියවර අධ්‍යාපනයයි.
“එබැවින් ජෛවගෝලයේ අනාගතය සහ මානව යහපැවැත්ම පිළිබඳව කටයුතු කරන ඕනෑම ශික්ෂණයක් විශේෂඥයන්ගෙ වගකීම වන්නේ, ඉදිරියේ ඇති දැවැන්ත අභියෝගවලට සීනි ආලේපනය කිරීමෙන් වැළකී, ඒවා යථාතථ්‍යව ඉදිරිපත් කිරීමයි’”යනුවෙන් කණ්ඩායම පෙන්වාදෙති, “වෙනත් ඕනෑම දෙයක් නොමඟ යවන සුළුය … එහෙයින් ඒවා මානව වර්ගයාට මාරාන්තික විය හැකිය.”
Live Science හී පල වී ඇති The planet is dying faster than we thought යන ලිපිය ඇසුරෙනි