ශරීරයෙන් පිටත මායාරූප (භ්‍රාන්ති) මොළයේ දෝෂයකට සම්බන්ධයි
පොදු ජනගහනයෙන් සියයට 10 ක් පමණ ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක දී ශරීරයෙන් බැහැර අත්දැකීම් ලබා ඇත.
ශරීරයෙන් පිටත භ්‍රාන්තිය(Out-of-body hallucinations) හෙවත් මායාරූප, විකාර සහගත විය හැකි අතර බොහෝ විට ඒවා මානසික හෝ ශාරීරික රෝග සමඟ සම්බන්ධ වේ. නව පර්යේෂණ මගින් මෙම අත්දැකීම්, නිරෝගී පුද්ගලයන් තුළ පවා ශංඛක ඛණ්ඩිකාව (temporal lobe ) ලෙස හැඳින්වෙන මොළයේ කොටසේ අස්ථායීතාවයන් හා ශරීරය පිළිබඳ ශරීරයේ ඉන්ද්‍රීය හැඟීමෙහි (body’s sense of itself ) දෝෂ සමඟ සම්බන්ධ කරනු ලැබ ඇත . “අපගේ ශංඛක ඛණ්ඩිකාව කෙතරම් අස්ථායී හෝ අක්‍රමවත්ද යන්න මත පදනම්ව, අප සියල්ලන්ම අනුක්‍රම පරිමාණයක(a sliding scale) කොතැනක හෝ තැබිය හැකි බව පෙනී යන අතර සමහර අය මෙම අත්දැකීම් වලට වැඩි නැඹුරුවක් දක්වයි” යනුවෙන් බර්මින්හැම් විශ්ව විද්යාලයේ පර්යේශකයෙකු වන ජේසන් බී. රේත්වෙයිට් පවසයි.
ශංඛක ඛණ්ඩිකාව ශරීරයෙන් එන සංවේදක සහ වෙනත් තොරතුරු අර්ථ නිරූපණය කර එය ශරීර සිතියමක තබන අතර අප, අපගේ ශරීරය තුළ පැවතීම පිළිබඳ හැඟීමක්, අපගේ ඇස්වලින් පිටත බැලීම පිළිබඳ හැඟීමක් ලබා දෙයි. මෙම අර්ථ නිරූපණය වැරදුනහොත්, පුද්ගලයෙකු තම ශරීරයෙන් පිටත සිට දකින මායාවක් ඇතිවිය හැකි අතර එය ශරීරයෙන් පිටත අත්දැකීමක් හෙවත් අනුභූතියක් (Out-of-body experience – OBE) ලෙසද හැඳින්වේ.
ශංඛක ඛණ්ඩිකාව – Temporal Lobe
ශංඛක ඛණ්ඩිකාව පාර්ශවික නිඛාතයට එක්කම පහළින් සහ අපර කපාල ඛණ්ඩිකාවට වහාම ඉදිරියෙන් පවති. ශංඛක ඛණ්ඩිකාව සංවේදන තොරතුරු ස්මරණ ලෙස සකසනු ලැබන අතර, ශ්‍රවනයේදී, කියැවීමේදී, සහ මුහුණුවර හඳුනා ගැනීමේදී වැදගත් වේ.( මොළයේ කොටස් පිළිබඳ තතු පෝස්ටුවක් මෙතැනින් කියවන්න. එය මෙම ලිපිය මනාව අවබොද කරගනීමට උපකාරී වේවි).
ශරීරයෙන් පිටිත අනුභූතීන් සම්ප්‍රදායිකව මරණය සිදුවීමට ඔන්න මෙන්න කියා ඇතිවන හෙවත් මරණයට ආසන්න අත්දැකීමක් තුළ සිදුවනු ඇතැයි කල්පනා කරනු ලැබේ. කෙසේනමුත්, ශරීරයෙන් පිටිත අනුභූතීන් (OBEs) සිදුවන එකම අවස්ථාව මේවාම නොවේ. ඒවා බොහෝ විට සිදුවන්නේ ලිහිල් හා අවදිවන තත්ත්වයන් තුළ හෝ ඉරුවාරදය හෝ ශංඛක ඛණ්ඩිකාව ග්‍රස්ථ වලදී ය(temporal lobe seizures). පොදු ජනගහනයෙන් සියයට 10 ක් පමණ ශරීරයෙන් පිටිත අනුභූතීන් Oඹ්E අත්දැක ඇත. උපාධි අපේක්ෂකයින් තුළ, මෙම සංඛ්‍යාව දෙගුණයක් වේ (ඒ ඇයි දැයි පර්යේෂකයෝ නොදනීති), සාමාන්‍යයෙන් එය සියයට 20 ත් 25 ත් අතර අගයකට වැටේ
උපාධි අපේක්ෂකයින් 63 දෙනෙකුගෙන් සමන්විත වන පර්යේෂකයන්ගේ නියැදියෙන් පුද්ගලයන් 17 දෙනෙක් (සියයට 26 ක්) තමන් OBE අත්දැකීමක් ලබා ඇති බව වාර්තා කළහ. ඔවුන්ගේ මානසික තත්ත්වය තක්සේරු කිරීම සඳහා ප්‍රශ්නාවලියක් පුරවන ලෙස ස්වේච්ඡාදායකයන්ට දන්වනුලබීය. ස්වේච්ඡාදායකයන් අතුරෙන් ශරීරයෙන් පිටිත අනුභූතීන් ඇති බවට වාර්තා වූ අයගේ ප්‍රශ්නාවලියේ කොටස් දෙකක පමණක් වෙනස්කම් පෙන්නුම් කෙරිණ: මොළයේ ශංඛක ඛණ්ඩිකාවේ අස්ථාවරත්වය සහ ශරීරයේ ඉන්ද්‍රීය හැඟීමෙහි දෝෂ පෙන්නුම් කරන අය.
ස්වේච්ඡාදායකයන්ගේ ශංඛක ඛණ්ඩිකාවේ ස්ථායිතාව මැනීම සඳහා, සමීක්ෂණයන්ට මතු දැක්වෙන ආකාරයේ ප්‍රශ්න ඇතුළත් විය: “කිසිදු සාක්ෂියක් දැකිය නොහැකි වුවද, වෙනත් ජීවියෙකු සිටින බව ඔබට කවදා හෝ දැනී තිබේද?” ශරීර දුර්රූපණ පියවර ගැන උදාහරණ ප්‍රශ්නයක් වූයේ: “ඔබේ ශරීරය හෝ එහි කොටසක් වෙනස් වෙමින් පවතින බවට හෝ හැඩය වෙනස් වී ඇති බවට ඔබට කවදා හෝ හැඟීමක් ඇතිවී තිබේද?”
පරිගණක මත පදනම් වූ කාර්යයක් ද ස්වේච්ඡාදායකයන් විසින් සම්පූර්ණ කරන ලද අතර එහිදී තිරයේ රූපයක් පවතින ස්ථානය ගැන පරිකල්පනය කිරීමටත්, ශරීරයේ කොටස් හඳුනා ගැනීමටත් (“රූපයේ අත්වැසුම් තිබෙන්නේ කුමන අතෙහිද?” වැනි) දන්වනු ලැබිණ. සිය ප්‍රතිචාර දැක්වීමේ දී ශරීරයෙන් පිටත අත්දැකීම් (OBEs) අත්විඳ ඇති පුද්ගලයින්ගේ ප්‍රතිචාර මන්දගාමී වූ අතර ඔවුන්වැරදි හෙවත් දෝෂ සිදුකිරීමට කිරීමට වැඩි ප්‍රවණතාවක් දැක්වූ බව පෙණී ගියේය.
විකෘති දත්ත
අපගේ ශරීරගතව ඇති ආත්මීය හැඟීම විකෘති වීම නැතිනම් දුර් රූපණය, ශරීරයෙන් ලැබෙන එකිනෙකට වෙනස් හෙවත් ගැටුම්කාරී තොරතුරු හෝ මෙම තොරතුරු ශරීර සිතියමකට සැකසෙන ශංඛක ඛණ්ඩිකාවේ සන්නිවේදනය කඩාකප්පල් වීම නිසා ඇතිවිය හැකි බව රේත්වෙයිට් Live Science වෙබ් අඩවිය වෙත පැවසීය.
” ඔබේ ආත්මීය හැඟීම, ඔබ අවකාශය තුළ සිටින ස්ථානය පිළිබඳ හැඟීම ඉබේ ඇත්වන්නක් නොවේ. ඔබේ මොළය සෑම විටම එය නිර්ණය කළ යුතුය,” රේත්වෙයිට් පවසයි, “එය නිරන්තරයෙන් එම තොරතුරු නියැදි සලකා බලනන අතර ඔබ අභ්‍යවකාශයේ සිටින ස්ථානය පිළිබඳව නිරන්තරයෙන් එම අර්ථ නිරූපණය කිරීම සිදු කරයි. එහෙත් සමහර විට එම අර්ථ නිරූපණය වැරදී යන්නේ යයි. එම අර්ථ නිරූපණය වැරදී ගිය විට, එය ශරීරයෙන් බැහැර අත්දැකීමකට හේතුව විය හැකිය.
මෙම අධ්‍යයනය Cortex සඟරාවේ පළකෙරිණ.
Live Science හී පළ වූ Out-of-Body Hallucinations Linked to Brain Glitch යන ලිපිය ඇසුරෙනි