බළල් පවුලේ අනෙකුත් විශාල සාමාජිකයන්ට නොමැතිව කොටින්ට පමණක් ලප වෙනුවට සමෙහි ඉරි වැටී ඇත්තේ ඇයි?
කොටින්ගේ සමෙහි ඇති ලස්සන ඉරි සහිත සලකුණු බළල් පවුල තුළ සුවිශේෂී වේ. කොටින්ට සමීප සම්බන්ධයක් ඇති (දිවියන්, ජගුවර් සහ ඇතැම් වර්ගවල දිවියන් ආදී) වෙනත් විශාල බළලුන්ට පැල්ලම් සහිත සෙව්වන්දි පුෂ්ප හෝ වලාකුළු හැඩැති ශරීර සලකුණු හෝ (සිංහයන්ට මෙන්) පැල්ලම්,ඉරි නොමැති සරල, චාම් රටාවක් තිබෙන බව එකවරම නොසිතුනත් මදක් කල්පනා කර බලන විට ඔබටත් මතක් වෙනවා විය හැකිය.
එක්සත් රාජධානියේ, බ්රිස්ටල් විශ්ව විද්යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරන ලද අධ්‍යනයක දී පෙන්නුම් කර ඇත්තේ බළලුන්ගේ විශේෂිත වාසස්ථාන සහ හැසිරීම් රටා වලට ගැලපෙන පරිදි සමෙහි රටා පරිණාමය වී ඇත්තේ ඔවුනට වේශාන්තරයක් නැතිනම් ව්‍යාජවේශයක්(camouflage) සලසා දීමටය. විශල බලලුන් සලකතොත් මෙම ව්‍යාජවේශය වඩාත් ඵලදායී ලෙස ගොදුරු අල්ලා ගැනීමට ඔවුන්ට උපකාරීවේ, කුඩා බළලුන් සම්බන්ධයෙන් නම් එය, විලෝපිකයන්ගෙන් බේරීමට උදව්වෙන ශරීර ලක්ෂණයකි. පොදුවේ ගත් කල, සිංහයන් වැනි සමෙහි චාම් රටා සහිත බළල් විශේෂයන් විවෘත පරිසරයන් හී ජීවත් වන අතර දඩයමෙහි යෙදෙන්නේ දිවා කාලයේදීය. එහෙත් ඒ අතර දිවියන් හා කොටින් වැනි සමෙහි සංකීර්ණ රටා ඇති බළලුන් නිශාචර ජීවිතයක චර්යාවන්ට පුරුදුව ඇති අතර ඔවුහු, ගස් බහුල වශයෙන් ඇති පරිසරවල ජීවත්වෙති. මීට අදාළ සංඛ්‍යාලේඛන විශ්ලේෂණය වැටහෙන නුවණ ස්වාභාවික ඉතිහාසයට මනාව සහාය වේ.


අවාසනාවකට මෙන්, කොටින්ට අමතරව වෙනත් ඉරි සහිත විශාල බළලුන් නොමැති හෙයින්, කොටින් විශල බළල් මුතුන් මිත්තන්ගේ රටාවෙන් ඉවත්ව වෙන මගක යාමට හේතු වූ පරිණාමීය සාධකය හඳුනා ගැනීමට අපට එකම ක්‍රම භාවිතා කළ නොහැක. කොටින් ජගුවර් හා දිවියන්ට වඩා විශාල ය. එසේ නමුත් පොදුවේ ඔවුන් සතු වන්නේ ද සමාන පරිසර විද්‍යාවකි. එමෙන්ම, කොටින්ගේ ඓතිහාසික අඩවි හා වාසස්ථාන දිවියන්ගේ ඒවා සමඟ සැළකිය යුතු ලෙස උපරිපතනය හෙවත් අතිපිහිතවීම ද (එකක් මත එකක් වැටීම) වේ. ඉතින් එසේ නම් ඔවුන් සමෙහි සලකුණු රටා අතින් සමාන නොවන්නේ ඇයි?
දශක ගණනාවකට පෙර ඉදිරිපත් කරන ලද නමුත් නමුත් තවමත් සාක්ෂි නොමැති එක් අදහසක් වන්නේ දිවියන් සාමාන්යෙන් දිවි ගෙවන වාසභූමි හා සසඳන විට, සාමාන්ය කොටි වාසස්ථාන උණ ගස් වැනි සිරස් අතට ඇති ලක්ෂණ රාශියක් අඩංගු වේ. කොටින්ගේ අඩවි දැන් හැකිලී ඇති නිසා නොවන්නට මෙය ගණනය කිරීම සරල වන්නට ඉඩ තිබුණි. එහෙයින්, ඔවුන්ගේ සමෙහි ඉරි පරිණාමය වී ඇත්තේ කුමන ආකාරයේ වනාන්තරවල දී දැයි හරියටම දැන ගැනීම දුෂ්කර ය. පැහැදිලිවම කොටි සිය පරිසරයන් තුළ ව්‍යාජ වේශයෙන් හොඳින් සැඟවී සිටිති. එහෙත් ඔවුන්ගේ පෙනුම පිටුපස ඇති සාධක අභිරහසක් ලෙස පවතී.

කුතුහලය දනවන කරුණ නම්, විශාල බළලුන්ගේ සිරුරේ රටා සාපේක්ෂව පරිණාමීය කාල පරිමාණයන්ට වඩා වේගයෙන් වෙනස් වන බව යයි පර්යේෂකයෝ පෙන්වා දෙති. බාගදා අපෙන් පසුව එන අපේ පරපුරට ඉරි සහිත දිවියන්ගේ හා පැල්ලම් සහිත කොටින්ගේ සුන්දරත්වය විඳීමට හැකියාව ලැබෙන්නට පුළුවන.
New Scientist හී පලවූ මෙම තීරු ලිපිය ගැන ප්‍රසංශාත්මකව අදහස් දක්වන ඩේවිඩ් එස්. රූබින් පෙන්වාදෙන්නේ කොටියා විශාල ඉරි සහිත එකම බළලා විය හැකි නමුත් කුඩා ඉරි සහිත වල් බළලුන් ගණනාවක් ඇති බවයි. යුරෝපීය වල් බළලා (Felix Silvestris) සහ එහි උප විශේෂයන් ඉරි සහිත ය. වැලි බළලා (Felis Margarita) ඉරි සහිත වන අතර, ධීවර බළලාට (Prionailurus viverrinus) ඒ ඒ තනි සතා මත පදනම්ව කැපීපෙණීමේ වෙනස් මට්ටම් සහිත ඉරි සහ ලප යන දෙකම ඇත.
කොටින්ගේ ඉරිවලට කෙළින්ම සම්බන්ධ නැතත් මේ ලිපිය කියවන්නන්ට ප්‍රයෝජනවත් තොරතුරු කිහිපයක් මෙහි දක්වමු:
පෘථිවියේ බළලුන් විශේෂ 38 ක් ඇත. ටෙක්සාස් සිට බ්‍රසීලය දක්වා දක්නට ඇති, තිත් සහිත කුඩා බළල් විශේයක් වන මාගේ(margay) වැනි බොහෝමයක්, සාපේක්ෂව කුඩා ය. නමුත් සමහරක් – සිංහයා, කොටියා, දිවියා, හිම දිවියා, ‘වලාකුළු’ දිවියා, ජගුවර්, ලිංන්ක්ස්(lynx) සහ චීටා වැනි විශේෂ, විශාලයි. මෙම විශාල බළලුන් පෘථිවියේ වඩාත්ම ආදරයට පාත්‍ර හා පහසුවෙන් හඳුනාගත හැකි සතුන් අතර වේ.
බොහෝ විශාල බළලුන් පැන්තෙරා ගණයට(genus Panthera) අයත් සාමාජිකයෝ වෙති. ගෘහස්ථ බළලුන් ඇතුළු කුඩා හා මධ්‍යම ප්‍රමාඅණයේ බළලුන් ෆෙලිස් ගනයේ(genus Felis) සාමාජිකයෝ වෙති. ආපසු ඇද ගත හැකි නියපොතු නොමැති චීටාඅයත්වන්නේ ඔවුනටම ආවේනික ගනයක් වන ඇසිනොනික්ස් (Acinonyx) ලෙස හැඳින්වෙන ගනයටයි. ඉන්දියාවේ කඩොලාන වගුරුබිම් වල සිට බටහිර එක්සත් ජනපදයේ වනාන්තර දක්වා වූ ලොව පුරා විව්ධත්වකින් යුතු වාසස්ථානවල විශාල බළලුන් දක්නට ලැබේ.
හඬෙහි වෙනස
විශාල බළලුන් සහ ඔවුන්ගේ ඥාති සොහොයුරන් අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ ඔවුන් නගන ශබ්දයි. කුඩා බළල්ලු පුරු පුරු ගාති; (චීටා, ලිංන්ක්ස් සහ හිම දිවියන් හැර) විශාල බළල්ලු ගොරවති.

පවුල් දිවිය
කණ්ඩායම් වශයෙන් ජීවත් වන එකම විශාල බළලුන් වන්නේ සිංහයන් ය. සිංහ ධේනු, එකට එක්ව දඩයම් කරමින් (නැමුණු අංසහිත විශාල ඇන්ටිලොප් මුව විශේෂයක් වන) ග්නූ සහ සීබ්‍රා වැනි විශාල ගොදුරු පවුලේ අය වෙත රැගෙන එති. මව්සතුන් සහ පැටවුන් හැරුණු විට අනෙකුත් සියලුම විශාල බළල්ලු හුදකලා ජීවිත ගත කරති. හිම දිවියා මෙන් සමහරක් විශාල බළල් විශේෂයන් වැඩි පුර එළිපහලියට නො එන අතර දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි.
New Scientist සහ National Geographic හී පළවූ ලිපි ඇසුරෙනි