සොබාදහම තුළ මානව වර්ගයාට හිමි ස්ථානය
පරිණාමය යනු ජීව විද්‍යාව සඳහා වන මහා එක්සත් කිරීමේ න්‍යායයි. එය තරම්, ජීව විද්‍යාව පිළිබඳ කිසිදු අදහසක් විද්‍යාත්මක වශයෙන් වඩා බලවත් වී නැත. පරිණාමය අතීතයේ සිට අද දක්වාම පාෂාණීය ධාතු විද්‍යාව, අණුක ජීව විද්‍යාව, කළල විද්‍යාව, පරිසර විද්‍යාව, මානව චර්‍යාව සහ වෛද්‍ය විද්‍යාව ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පර්යේෂණ වැඩසටහනක් සපයයි. පරිගණක සජීවිකරණ මෘදුකාංග නිර්මාණයේ සිට ආර්ථික න්‍යාය දක්වා එය වෙනත් ක්ෂේත්‍රයන්ට ද බලපා ඇත. මේ හේතුව නිසා මානව සමාජය අවබෝධ කර ගැනීම සඳහා පරිණාමය වඩ වඩාත් අදාළ වේ.

අප පැමිණියේ කොහෙන්ද?
මෙය, අපේ මුතුන් මිත්තන්ට එවැනි ප්‍රශ්න ගැන සිතා බැලීමට තරම් විශාල මොළයක් තිබූ කාලයේ සිටම මානව වර්ගයා ඉදිරියේ ඇති ප්‍රශ්නයකි. (චාල්ස්) ඩාවින්ගේ කාලයේ සිට වර්තමානය දක්වා පරිණාමවාදී න්‍යාය මැදිවී ඇත්තේ බොහෝ මතභේද වටකොට ගෙනය. ඒවා අතුරෙන් වඩාත්ම අවධානය යොමු කර ගැනු ලැබීමට සමත්ව ඇත්තේ, මිනිසුන් සම්බන්ධයෙන්, විශේෂයෙන් අපේ ස්වභාවය පිළිබඳව පවතින ගැටලු මගිනි. මිනිසුන්, පරිණාම නීතියට ඇති ව්‍යතිරේකයක් යැයි ඩාවින් සිතුවේ නැත. එහෙත් ඔහුගේ න්‍යාය මිනිසුන්ට අදාළ වන ආකාරය විස්තර කිරීමට ඔහු මුලින් අකමැති විය. මානව පරිණාමය පිළිබඳ ඕනෑම සාකච්ඡාවක් චිත්තවේගීය වශයෙන් අවුලුවනසුළු හා අතිශයින් දේශපාලනීකරණය වන්නක් බව ඔහු දැන සිටියේය. මෙය වික්ටෝරියානු යුගයේ දී අත්දුටු සත්‍යයක් වූ අතර අදටත් එසේම පවතී.

විසිවන සියවස පුරාම තව තවත් පොසිල සොයා ගනු ලැබීය. කාලයා හා සලකද්දී, මෙය මානවයන්ගෙ සම්භවය සිදුවූ අවධිය තව දුරටත් පසුපසට තල්ලු කළේය. එපමණක් නොව, එය මානවයන් ඩාවින්ගේ න්‍යායට ව්‍යතිරේකයක් නොවන බව ලේඛනගත කිරීමකි. මිනිස් රුකෙහි පැතිරුණු අතු සම්පූර්ණ කිරීමට තරම් පොහොසත් පොහොසත් පොසිල වාර්තාවක් දැන් අප සතුව ඇත. අද, අණුක ජාන විද්‍යාවේ දියුණුව, ව්‍යුහ විද්‍යාත්මක වශයෙන් නූතන මිනිසුන්ගේ පරම්පරාව ඉතා විස්තරාත්මකව සොයා ගැනීමට අපට ඉඩ සලසයි. නියැන්ඩර්තාල් අස්ථි වලින් පවා ඩීඑන්ඒ(DNA) ලබාගෙන ඇත. සත්ව චර්යාවන් පිළිබඳ පර්යේෂණ මගින් සත්ව හා මිනිස් මනස අතර අඛණ්ඩතාව පෙන්නුම් කරනු ලබේ.

සාක්ෂි අර්ථ නිරූපණය
මානව පරිණාමයට පක්ෂව ඇති සාක්ෂි අතිමහත් ය. කෙසේ වෙතත්, සාක්ෂි අර්ථ නිරූපණය කළ යුතුය. නෂ්ටාවශේෂ කාල නිර්ණය බොහෝ විට ගැටළු සහගත වන අතර සම්පූර්ණ ඇටසැකිල්ලක් තබා ඊට ආසන්න දෙයක් පවා හමුවන්නේ කලාතුරකිනි. ඇතැම් ෆොසිල විවිධ විශේෂ දෙකක් නියෝජනය කරන්නේද, ඒවා විවිධ ප්‍රභේද දෙකක් ලෙස වර්ග කළ යුතුද, නැතහොත් හුදෙක් එක් විශේෂයක් තුළ ලිංගික ද්විමානකරණය නියෝජනය කරන්නේද යන්න පිළිබඳව විශේෂ ඥයන් අතර එකඟත්වයක් නොමැත. අතීතය නැවත ප්‍රතිනිර්මාණය කර අපට අත්හදා බැලීම් කළ නොහැක. බාගදා වඩාත්ම වැදගත් කාරණාව වන්නේ හැසිරීම පොසිලගත නොවන්නේය යන්නයි.
මානව ස්වභාවය පිළිබඳ පරිණාමවාදී න්‍යායක් ගොඩනැගීමට ගත් උත්සාහය මානව පරිණාමයේ “කරුණු(facts)” තීරණය කිරීමේදී අර්ථ නිරූපණය ඉටු කරන විශාල කාර්යභාරය මනාව විදහා දක්වයි. කරුණු වලට අර්ථයක් ඇත්තේ න්‍යායාත්මක රාමුවක් තුළ පමණි. තවද ගොඩනගා ඇති විවිධ න්‍යායන් පර්යේෂකයන්ගේ සංස්කෘතික වටිනාකම්වලින් පුරවා ඇත. සියලුම විද්‍යාවන් සම්බන්ධයෙන් මෙය සත්‍යයකි. එහෙත් එය විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය සහ ජාතිකවාදය යන න්‍යායක් ගොඩනැගීමට සැලකිය යුතු ලෙස බලපෑම්කෙරණ මානව සම්භවය පිළිබඳ ක්ෂේත්‍රය පුරා හොල්මන් කරයි.. මෙම ගැටළු නිසා මානව සම්භවය පිළිබඳ න්‍යායන් හුදු ‘කථා’ ලෙස හැඳින්වීම නුසුදුසු ය. මෙය අදහස් කෙරෙන්නේ අවමානාත්මක අර්ථයකින් නොවේ. අණුක ජීව විද්‍යාවේ සිට පුරාවිද්‍යාවේ සිට ප්‍රාථමික විද්‍යාව දක්වා විවිධ අංශයන්හි සිදු කර ඇති අතිවිශාල කාර්යයන් අව තක්සේරු කිරීමට එය උත්සාහ නොකරයි.
කථාන්දර යථාවාදී ලෙස ගොඩ නැගීම
මානව සම්භවය පිළිබඳ මෙම කථා අංගය වඩා හොඳ ක්‍රමවේදයක් මගින් –එනම් වඩා හොඳ ප්‍රමාණාත්මක විශ්ලේෂණයකින් හෝ ක්ෂේත්‍ර කටයුතු සඳහා ඉහළ ප්‍රමිතීන් මගින් ඉවත් කරණු ලැබීමට හැකි දෙයක් නොවේ. නිසැකවම, වැඩිදියුණු කළ ක්‍රම කිසි විටෙකත් කිසිදු උත්සාහයකට හානියක් නොකරයි. නමුත් මානව පරිණාමවාදී සිද්ධාන්තයේ ප්‍රධාන අංගයක් වී ඇත්තේ හොඳ කථාන්දර යථාවාදී ලෙස ගොඩ නැගීමයි. සෑම කතන්දරයක්ම එක හා සමානව යහපත් නොවන අතර කියනු ලබන කථා අසනු ලබන, නගනු ලබන ප්‍රශ්න සමඟ සමීපව බැඳී ඇත. තවද ඒවා(ප්‍රශ්න) බලයේ ප්‍රභවයන් වන, ලිංගිකත්වය, ජාතිය සහ පර්යේෂකයන්ගේ පංතිය හා ක්ෂේත්‍ර කටයුතු සිදු කරන රටවල්වල අන්තර් සම්බන්ධතාවයන් පිළිබිඹු කරයි.

නිදසුනක් වශයෙන්, 1912 දී ආධුනික භූ විද්‍යාඥ චාල්ස් ඩෝසන් විසින් එංගලන්තයේ සසෙක්ස් හි දී සොයා ගන්නා ලද කුප්‍රකට ‘පිල්ට්ඩවුන් මානවයා’ අපේ පැරණිතම මුතුන් මිත්තෙකු ලෙස අඩ සියවසකට ආසන්න කාලයක් සැලකිණ. එම අවශේෂයන් මිනිස් හිස්කබලක්(කපාලයක්) සහ ඔරං-උටාන් හනුවක් බව නිසැකව ම 1953 දී කෙනත් ඕක්ලි විසින් පෙන්වා දෙනු ලැබීමෙන් එය ප්‍රෝඩාවක් ලෙස හෙළි විය. අවයව දෙකම කෘතිමව පාටකර කර තිබිණ. මෙම ප්‍රෝඩාව පර්යේෂකයන්ගේ පූර්ව නිගමනවලට(මත නැඹුරුවලට) අනුකූල වූ නිසා කාලයත් සමඟ එය දිගටම පැවතුනි. මෙම අගතීන් හෙවත් පක්ෂග්‍රාහීත්වය ඔවුන්ගේ(පර්යේෂකයන්ගේ) ජාතිය හා උපන් රට වෙනුවෙන් ඇති නැඹුරුව පිළිබිඹු කරයි. ‘පිල්ට්ඩවුන් මිනිසා විශාල මොළයක් සහිත මානවයකි. එම මානවයා සොයාගත්තේ අප්‍රිකාවේ, “ම්ලේච්ඡයන්ගේ” වාසභූමි වලින් හෝ අඩුම තරමේ හෝ ආසියාවෙන් පවා වත් නොව (පර්යේෂකයන්ගේ මව් බිම වන ) එංගලන්තයෙනි. පිල්ට්ඩවුන් මිනිසා ආසියාවේ සහ අප්‍රිකාවේ සොයා ගන්නා ලද අනෙකුත් ෆොසිල වලට සාපේක්ෂව වඩාත් විෂම ලක්ෂණ සහිත ෆොසිලයක වීම යන කාරනය අවසානයේ වංචාව හෙළිදරව්කර ගැනීම සඳහා සැලකිය යුතු ලෙස දායක වූ බව හඳුනා ගැනීම වැදගත්ය.
සාක්ෂි ඇත්තටම වැදගත්ය. අඛණ්ඩව සිදුකෙරෙන පර්යේෂණයන් අපගේ මූලාරම්භය පිළිබඳ වඩා හොඳ, වඩා සංගත(coherent), පරිපූර්ණ කතාවක් සඳහා දායක වී ඇති අතර, එයින් අදහස් කරන්නේ මනුෂ්‍යයෙකු හෝ සත්වයෙකු වීමෙන් තේරුම්යන්නේ කුමක් ද යන්නයි. මිනිසුන් සහ වානරයන් හා වඳුරන්ගෙන් අප වෙනස් වන්නේ කෙසේද යන්න පිළිබඳව වඩාත් නිවැරදි විස්තරයක් එය අපට ලබා දී ඇත. පරිණාමය සඳහා තිබෙන සාක්ෂි දුර්වල යැයි මානව පරිණාමය වටා ඇති මතභේදයන් ගෙන් අදහස් නොකෙරේ, ඒ වෙනුවට ඉන් දැක්වෙන්නේ විද්‍යාවේ ක්‍රියාවලිය ඒ ආකාරයටම ක්‍රියාත්මක විය යුතු යන්නය.

EVOLUTION: The Basics(Routledge,2011) නම් ග්‍රන්ථය ඇසුරෙනි