පෘථිවියේ ජීවයට පස ඉතා වැදගත් වේ. වර්තමානයේ පවතින පසෙහි ගුණාත්මක භාවය ශාක පරිසර පද්ධතිවල ස්වභාවය සහ සත්ව ජීවිතයට හා සමාජයට ආධාර කිරීමට භූමියේ ධාරිතාව තීරණය කරයි. වර්තමාන පාරිසරික අභියෝග බොහොමයක පාංශු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ජල දූෂණය හා දේශගුණික විපර්යාසයේ සිට ජෛව විවිධත්ව හානිය සහ මිනිස් ආහාර සැපයුම දක්වා ලෝකයේ පරිසර පද්ධති කෙරෙහි පස සම්බන්ධයෙන් සිදු කෙරෙන ක්‍රියා බලපායි. මානව සමාජ වඩ වඩාත් නාගරීකරණය වන විට, අඩු පිරිසකට පස සමඟ සමීප සම්බන්ධතා ඇති අතර, පුද්ගලයන්ගේ සමෘද්ධිය සහ පැවැත්ම සඳහා පස මත යැපෙන බොහෝ ක්‍රම පිළිබඳ අවබෝධය නැති වී යයි. ඇත්ත වශයෙන්ම, අප පස මත යැපෙන ප්‍රමාණය අනාගතයේ දී තව තවත් වැඩි වෙනවා විනා අඩුවීමක් නම් සිදු වන්නේ නැත.
21 වන ශතවර්ෂයේ එක් යථාර්ථයක් වන්නේ ජනගහනය බිලියන කිහිපයකින් ඉහළ යනු ඇති බවයි (ජනගහනය මෙම සියවස අවසානයේ බිලියන 9 සිට 10 දක්වා ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ). අවාසනාවකට මෙන්, මේවා සපුරාලීම සඳහා ඇති පස් ප්රමාණය කිසිසේත් වැඩි නොවේ. ඇත්ත වශයෙන්ම, පාංශු හායනය හා නාගරීකරණය හේතුවෙන් පාංශු සම්පත් පදනම සැබවින්ම හැකිලෙමින් තිබේ. පාංශු සම්පත වඩා හොඳින් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම අත්යවශ්ය වේ
අපගේ පැවැත්මට සහ මෙම පෘථිවිය අප සමඟ බෙදා හදාගන්නා අනෙකුත් ජීවීන් සඳහා ප්රමාණවත් වාසස්ථාන නඩත්තු කිරීමට. කෙටියෙන් කිවහොත්, පාංශු විද්යාව පිළිබඳ අධ්යයනය වෙනකවර දාකටත් වඩා අද දින අතිශය වැදගත් කාරනාවක් බවට පත්ව තිබේ.
මෙම පසුබිම තුල පස ගැන විද්‍යාත්මක දැනුමක් ඇතිකර ගැනීම අප කාටත් වැදගත්ය. thathu.com ගෙන එන මෙම ලිපි මාලාවේ අරමුණ එම විද්යාත්මක දනුම කාටත් තේරෙණ ආකාරයට ඉදිරිපත් කිරීමයි — සංස්කාරක

පස, ශාකවල වර්ධනයට උපකාරී වෙන්නේ කොහොමද?
අපි අප අවට තිබෙන වනාන්තර, තණ බිම්, උද්‍යාන හා කෙත් වතු ගැන කල්පනා කරද්දී, ශාකවල ප්‍රරෝහ (කොළ, මල්, කඳන් සහ අතු වැනි පොළොව මතුපිට වැඩෙන ශාක කොටස්) පමණක් හිතේ මවාගන්නේ ශාක ලෝකයෙන් අර්ධයක් නියෝජනය කරන මූල පද්ධතිය වැඩෙන්නේ පොළොව යට බව මොහොතකට අමතක කරමින්. ශාකවල මුල් බොහෝවිට අපේ ඇසට නොපෙනෙන මානයේ පිහිටන නිසාත්, (ඒ නිසාම)හදාරන්න අපහසු නිසාත්, අපි පොළොව මතුපිට සිදුවන ශාක සහ පරිසරය අතර අන්තර්ක්‍රියා ගැන තරම් පොළොව යට සිදුවන අන්තර්ක්‍රියා ගැන දැනුවත් නැහැ. නමුත් පොළොව මතුපිට අන්තර්ක්‍රියා නිසි ආකාරයෙන් අවබෝධ කරගැනීමට පොළොව යට සිදුවන අන්තර්ක්‍රියා ගැන දැනුවත් වීමත්, පොළොව යට සිදුවන අන්තර්ක්‍රියා අවබෝධ කරගැනීමට පොළොව මතුපිට සිදුවන අන්තර්ක්‍රියා අවබෝධ කරගැනීමත් එකසේ වැදගත්. අපි ශාකයක මූල පද්ධතිය වැඩෙන පසෙන් එය උකහාගන්නා දේවල් ලැයිස්තුගත කරලා ඒවා එකින් එක කෙටියෙන් සාකච්ඡා කරමු.
• භෞතික ආධාරකයක් ලෙස
• වාතය
• ජලය
• උෂ්ණත්ව පාලනය
• විෂ ද්‍රව්‍යවලින් ආරක්ෂා කිරීම
• පෝෂක මූලද්‍රව්‍ය
ශාකය කඩා වැටීම හෝ සුළඟට ගසාගෙන යාම වලක්වමින් ශාකයේ මුල්පද්ධතිය තුළ නැංගුරමක් ලෙස ක්‍රියාකරමින් පාංශු ස්කන්ධය භෞතික ආධාරකය සපනයවා. කෙසේවෙතත්, ඝනකමින් අඩු පාංශු ස්ථරයක් හෝ ශාක වැඩීමට අනුබල නොදෙන පසක් ඇති ස්ථානවල වැඩුණු ගස් තද සුළං හෝ දැඩි හිම පතනයන් හමුවේ කඩා වැටෙන අවස්ථා නැතුවාම නොවෙයි.

සංවාතනය
අපේ ස්වසන ක්‍රියාවලියේදී සිදුවනවා වගේම, මූල ශ්වසනයත් ඔක්සිජන් වායුව භාවිතා කරමින් කාබන් ඩයොක්සයිඩ් නිපදවන නිසා, සංවාතනය(ventilation) (මූල කලාපයෙන් කාබන් ඩයොක්සයිඩ් බැහැර වීමටත්, නැවුම් ඔක්සිජන් වායුව මූල කලාපයට ඇතුළු වීමටත් ඉඩ සලසමින් වාතයේ පරිමාව සහ ගුණාත්මක භාවය රඳවාගැනීම) පසෙහි මූලික කාර්යයක්. මේ වාතන ක්‍රියාවලිය ඉටුවන්නේ පසෙහි පවතින සිදුරුවලින් සැදුම්ලත් ජාලයක් හරහායි.
ජලය රඳවා තබාගනීම
ජලය අවශෝෂණය කර ගෙන ශාකයේ මුල්වලින් උරාගත හැකි ආකාරයට ජලය රඳවා තබාගැනීමත් පසෙහි සිදුරුවලින් ඉටුවන ඒ හා සමානවම වැදගත් තවත් සේවයක්. ශාක පත්‍ර සූර්ය රශ්මියට නිරාවරණය වී තිබෙන තාක්, ශාකය සිසිලනයට, පෝෂක ප්‍රවාහනයට, ශූනතාව (ශාක සෛලයක් තුළට ජලය ගලා ඊම නිසා ප්‍රාක් ප්ලාස්මය මගින් සෛල බිත්තියටනොහොත් පිටතට ඇතිකරන පීඩනය) පවත්වාගෙන යාමට(turgor maintenance) සහ ප්‍රභාසංස්ලේෂණයට ශාකය තුළ අඛණ්ඩ ජල කඳක් පැවතිය යුතුයි. ඓතින් ශාක අඛණ්ඩවම ජලය භාවිතා කළත්, බොහෝ ප්‍රදේශවලට වර්ෂාපතනය ඇතිවන්නේ කඩින් කඩ නිසා, පසෙහි ජලය රඳවාතබාගැනීමේ හැකියාව ශාකවල පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයක්. ඝනකමින් වැඩි පසක නම් ශාකවලට දීර්ඝ නියං සමයකදී පවා නොනැසී පැවතීමට අවශ්‍ය ජල පරිමාණය රඳවාගන්න පුළුවන්.

උෂ්ණත්ව පාලනය
පස උෂ්ණත්වයේ වෙනස්වීම් පාලනය කරන්නත් දායක වෙනවා. ගිම්හානයේ හවසක ගෙවත්තේ පස හෝ මුහුදු වෙරලේ වැල්ල කනිද්දී, පස මතුපිට බෙහෙවින්ම රත්වී තිබුණත් ඊට සෙන්ටිමීටර කිහිපයක් පහළින් පස මොනතරම් සිසිල්ද කියා ඔබ නිරීක්ෂණය කළ අවස්ථා ඔබට මතක ඇති. පසෙහි තාපය පරිවරණය කිරීමේ ගුණාංග, පස මතුපිට නිරන්තරයෙන් ඇතිවන උෂ්ණත්වයේ වෙනස්වීම්වල බලපෑමෙන් මූල පද්ධතියේ අග කොටස් ආරක්ෂා කරනවා. උදාහරණයක් දක්වනවා නම් මද්දහනේදී නිරාවරණය වූ පසක මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක හතලිහ දක්වා ඉහළ යාම සුලබව සිදුවනවා. එය බොහෝ ශාකවල මුල්වලට දැරිය නොහැකි උෂ්ණත්වයක්. නමුත් ඊට සෙන්ටිමීටර කිහිපයක් පහළින් පසෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක දහයකින් පමණ පහත බසිමින් මුල්වලට සාමාන්‍ය ලෙස වැඩීමට අවශ්‍ය පාරිසරික තත්වය සලසා දෙනවා.

(රසායන ද්‍රව්‍ය ඉහිරීම, වල් නාශක යෙදීම) වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසාත්, ශාකවල මුල්වලින්, ක්ෂුද්‍ර ජීවීන්ගෙන් හෝ ස්වාභාවික රසායනික ප්‍රතික්‍රියා මගින් ශාකවලට අහිතකර විෂ රසායන පසට මුසු වෙන්න පුළුවන්. වාතය සැපයීමෙන්, දිරාපත්වීමට සැලැස්වීමෙන්, කාබනික විෂ අධිශෝෂණය (adsorb) කරගැනීමෙන් හෝ විෂ ද්‍රව්‍ය නිශ්පාදනය කරන ජීවීන් මර්ධනය කිරීම මගින්, ශාක එවැනි විෂ සහිත ද්‍රව්‍යවලින් ආරක්ෂා කරගැනීම යහපත් පසකින් ඉටුවිය යුතු කාර්යයක් බවට පාංශු කළමනාකරුවන් පොදුවේ පිළිගන්නවා. ඊට සමාන්තරවම පස තුළ වාසය කරන සමහර ක්ෂුද්‍ර ජීවීන් ශාකවල වැඩීම ප්‍රවර්ධනය කරන කාබනික ද්‍රව්‍ය ස්‍රාවය කරනවා. ඒ ස්‍රාවයන් සුළු පරිමාණයෙන් උරාගත් විට ශාකයේ ජවය (vigour) ඉහළ යා හැකියි.
පරිවර්තනය කොට සකස්කළේ: අරුන්දි ජයසෙකර
The Nature and Properties Of Soils Fifteenth Edition නම් ප්‍රකට පෙළපොත ඇසුරෙනි