රාත්‍රි කාලයේ කාන්තාරවල මෙතරම් සීතලක් දැනෙන්නේ ඇයි?
අප ජීවත් වන ග්‍රහලෝකය අපූරු ස්ථානයකි. එසේ නමුත් මේ ආකාර දේ සිදුවන්නේ කෙසේද හෝ මන්ද කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? පෘථිවිය සෑදූණු ආකාරය? අපි කාලගුණය ගැන පුරෝකථනය කිරීම හෙවත් අනාවැකි පළ කිරීම කරන්නේ කෙසේද? පොසිල සෑදෙන්නේ කෙසේද? භූමිකම්පා ඇතිවීමට හේතුව කුමක් ද හෝ අඳුරේ දිලිසෙන සතුන් කව් ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමට වගේම අපගේ ලෝකය ගැන ඔබ දැනගත යුතු සෑම දෙයක්ම හරහා සිත් ඇදගන්නාසුළු ගමනක් යාමට අපේ “පුදුමාකාර පෘථිවිය” මග පාදයි.

උතුරු අප්‍රිකාවේ සහරා හි උෂ්ණත්වය එක රැයකින් සාමාන්‍යයෙන් ෆැරන්හයිට් අංශක 75 ක් (සෙල්සියස් අංශක 42) පහත වැටිය හැකිය. ඉතින්, සහරාවේ ඔබ සංචාරය කරන්නේ නම් සහ එහි රාත්‍රිය ගත කිරීමට සැලසුම් කරන්නේ නම්, එවිට ඔබ හුරුබුහුටි නිදන බෑගයක් ගෙන ඒම හොඳය.
එයට හේතුව නාසා ආයතනයට අනුව සහරා හි උෂ්ණත්වය දිවා කාලයේදී සාමාන්‍යයෙන් ෆැරනහයිට් අංශක 100 (සෙල්සියස් අංශක 380 දක්වා ඉහළ අගයක් ගත්තත් හිරු බැස ගිය පසු රාත්‍රියේ සාමාන්‍යය ෆැරනහයිට් අංශක 25 (සෙල්සියස් අංශක සෘණ 4) තරම් පහත වැටිය හැකිය.
ඉතින්, සහරාව වැනි ශුෂ්ක කාන්තාරවල මෙම විශ්මයාකාර උෂ්ණත්ව මාරුව සිදුවන්නේ ඇයි? ස්වදේශික සතුන් සහ ශාක එවැනි අන්ත උෂ්ණත්වන් සමඟ කටයුතු කරන්නේ කෙසේද? අපි බලමු.
තාපය හා ආර්ද්‍රතාවය
ශුෂ්ක කාන්තාර(එනම්, පෘථිවියේ භූමියෙන් 35% ක් පමණ්වන වියළි ප්‍රදේශ ) එතර්ම රත් වීමට නැතහොත් එතරම් උණුසුම් වන්නටත්, පසුව ඒ තරමට සීතල වීමටත් ප්‍රධාන සාධක දෙකක එකතුව බලපායි: වැලි සහ ආර්ද්‍රතාවය.
ෆ්ලාස්කුවක් මෙන් නොව වැලි, තාපය හොඳින් රඳවා නොගනී. සූර්යයාගේ තාපය හා ආලෝකය වැලි කාන්තාරයකට වදින විට, කාන්තාරයේ ඉහළ ස්ථරයේ ඇති වැලි කැට අවශෝෂණය කර තාපය නැවත වාතයට මුදා හරිනු බව කැලිෆෝනියාවේ පසදෙනා හී නාසා ජෙට් ප්‍රවාලන පර්යේෂණාගාරය(NASA’s Jet Propulsion Laboratory) 2008 දී නිකුත් කළ වාර්තාවක දැක්වේ. සූර්යයාගේ සූර්ය ශක්තිය දිවා කාලයේදී වැලි මගින් විකිරණය කිරීමෙන් වාතය සුපිරි ලෙස තාපනය වන අතර උෂ්ණත්වය ඉහළ යාමට මග පෑදෙයි. එහෙත් රාත්‍රියේදී වැල්ලේ රැඳි තාපයෙන් බොහොමයක් ඉක්මනින් වාතයට විකිරණය වන අතර එය නැවත රත් කිරීමට හිරු එළියක් නොමැති හෙයින් වැලි සහ අවට පරිසරය පෙරට වඩා සිසිල් වේ.
කෙසේ වෙතත්, මෙම සංසිද්ධිය පමණක් උෂ්ණත්වයෙහි මෙතරම් විශාල පහත වැටීමකට හේතු නොවේ. හිරු බැස ගිය පසු නිවර්තන වෙරළ තීරයක පසුවන ඔබට ශීත සෘතුවේ දී පළඳින කබායක් පැළඳීමට අවශ්‍ය වන්නේ නැහැනේ..
උෂ්ණත්වය වෙනස් වීමට ප්‍රධාන හේතුව වන්නේ, කාන්තාර වාතය අතිශයින් වියලි වීමයි. සහරා සහ චිලියේ අටකාමා වැනි ශූෂ්ක කාන්තාර වල ආර්ද්‍රතාවය(ඒ කියන්නේ වාතයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය) දළ වශෙය්න් ශුන්‍ය වන අතර වැලි මෙන් නොව ජලය තාපය ගබඩා කිරීමට සමත් විශාල ධාරිතාවකින් යුක්තය.
World Atlas දක්වන අන්දමට වාතයේ ඇති ජල වාෂ්ප යෝධ අදෘශ්‍යමාන බ්ලැන්කට්ටුවක් මෙන් පොළවට සමීප තාපය හසු කරගෙන එය වායුගෝලයට විසුරුවා හැරීම වළක්වයි. අධික ආර්ද්‍රතාවයක් සහිත වාතය උණුසුම් කිරීමට වැඩි ශක්තියක් ද අවශ්‍ය වේ, එයින් අදහස් වන්නේ එම ශක්තිය විසුරුවා හැර වටපිටාව සිසිල් කිරීමට වැඩි කාලයක් ගත වන බවයි. එම නිසා කාන්තාරවල ආර්ද්‍රතාවය නොමැතිකම මෙම ශුෂ්ක ස්ථාන ඉක්මනින් රත් වීමට මෙන්ම වේගයෙන් සිසිල් වීමට ඉඩ සලසයි.

ආන්තික උෂ්ණත්වයට අනුවර්තනය වීම
මෙම සීමාන්තික උෂ්ණත්ව වෙනස්වීම් තිබියදී වුව, කාන්තාරයේ සත්තු අධික උෂ්ණත්ව වෙනස්වීම් සඳහා හොඳින් අනුගතව සිටිති. කාන්තාර සතුන් පිළිබඳ විශේෂඥයෙකු වන ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පාරිසරික කායික විද්‍යාඥ ඩේල් ඩෙනාර්ඩෝ පවසන්නේ “එය ඔවුන්ට(කාන්තාර සතුන්ට) සාපේක්ෂව සුළු ගැටලුවක් වෙන්න පුළුවන්. ඔවුන්ගේ විශාලතම අභියෝගය වන්නේ දිවි රැක ගෙන පැවතීමට අවශ්‍ය තරම් ආහාර හා ජලය ලබා ගැනීමයි.” යනුවෙනි.
කාන්තාරයේ බහුල එමෙන්ම විවිධාකාරත්වයක් ඇති සත්ව කාණ්ඩයක් වන්නේ උරගයින්ය. ඔවුන් සීමාන්තික උෂ්ණත්ව වෙනස්වීම් වලට හොඳින් අනුවර්තනය වී ඇත්තේ ඔවුන් සීතල රුධිරය සහිත හෝ චලතාපී නිසාය.
එයින් අදහස් කරන්නේ නිරන්තර ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීම සඳහා ශක්තිය ආයෝජනය කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන බවයි. වෙනත් වචන වලින් කිවහොත්, උරගයින්ට දඩයම් කිරීම වැනි වෙනත් කාර්යයන් සඳහා මෙම ශක්තිය භාවිතා කළ හැකිය. බොහෝ උරගයින් කුඩා වීමෙන් ද ප්‍රයෝජන ලබන අතර, දිවා කාලයේ සෙවන සහිත මුල්ලකට රිංගා ගැනීමට හෝ රාත්‍රියේ උණුසුම් ගල් සොයා ගැනීමට එම කුඩාබව ඉඩ සලසයි. ” විශේෂයෙන් ප්‍රමාණයෙන් කුඩා වන විට උණුසුම්ව හෝ සිසිල්ව ගත කිරීමට විවිධ ස්ථාන රාශියක්ම ඇතැ” යි ඩෙනාර්ඩෝ පෙන්වාදෙයි.

කෙසේ වෙතත්, ඔටුවන් වැනි උණුසුම් රුධිරය සහිත හෝ අචලතාපී විශාල ක්ෂීරපායින් සතුන් සූර්යයාගෙන් සැඟවීමට නොහැකි තරම් ප්‍රමාණයෙන් විශාල වන අතර ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පහත වැටීමටත් ඉඩ දිය නොහැක. එහෙයින්, උණුසුම්වේවා සීතලවේවා නිරන්තරයෙන් ස්ථායී ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීමෙන් ඔටුවන් නොනැසී පවතී. ඔවුන් මෙය කරන්නේ මේදය හා ඝන ලොම් ස්වරූපයෙන් බොහෝ සේ පරිවරණය කිරීමෙනුයි. එමඟින් දිවා කාලයේදී අධික තාපයක් ලැබීම සහ රාත්‍රියේදී තාපය අධික ලෙස අහිමි වී යාම වළක්වනවා” යි ඩෙනාර්ඩෝ පවසයි.
ඊට හාත්පසින්ම වෙනස්ව, කාන්තාර කුරුල්ලන් භාවිතා කරන්නේ වාෂ්පීකරණ සිසිලනය යි. – එහිදී ඔවුහු, මිනිසුන් වන අප දහඩිය දැමීම හා බල්ලන් හති දැමීම කරන ආකාරය වැනි සිය ශරීරයෙන් තාපය මාරු කිරීමට ජලය භාවිතා කරති. මෙය විවිධ ක්‍රම හරහා සිදු කෙරේ. නිදසුනකට සමහර උකුස්සෝ සිසිල් වීම පිණිස සිය පාද මත මුත්‍රා කරගනිති. නමුත් ජල ප්‍රභවයන් සොයා මෙන්ම ආහාර සොයා ගැනීම පිණිස හෝ දිගු දුරක් පියාසර කිරීමට ඔවුන්ට ඇති හැකියාව තිබීමෙන් අදහස් කරන්නේ වෙනත් කාන්තාර සතුන් මෙන් ජලය සංරක්ෂණය කිරීම ගැන ඔවුන් එතරම් කරදර විය යුතු නැති බවයි. “මම නම් ඒක හඳුන්වන්නේ වංචාවක් හැටියටයි. මොකද, කාන්තාරයක ජීවත් වෙද්දී තිබෙන් සීමාවන් ඔවුන් සැබවින්ම අත්විඳින්නේ නැති නිසා” යැයි ඩෙනාර්ඩෝ පෙන්වාදෙයි.

අනෙක් අතට, ශාක ගතහොත් ඒවා අධික උෂ්ණත්වයට ගොදුරුවීමේ අවදානම වැඩි වේ. “වඩා විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවන්නේ ශාක වලටයි. මන්ද ඒවාට එහා මෙහා චලනය වීමට නොහැකි නිසා” යැයි ඩෙනාර්ඩෝ පෙන්වාදෙයි. ඒක නිසා තමයි තමන් සතු වටිනා ජලය විලෝපිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පතොක් වැනි කාන්තාර සංකේතවත් කරවන ශාක, කටු සහ විෂ වැනි ආරක්ෂක අංග පරාසයක්ම වර්ධනය කර ඇත්තේ. කෙසේ වෙතත්, කාන්තාරවල රාත්‍රියේදී පවතින අධික ශීතල ශාකවලට මාරාන්තික විය හැකියි. මන්ද, ඒවායේ පටක තුළ ඇති ජලය මිදී පටක තුළ ප්‍රසාරණය වීම මඟින් ආපසු හැරවිය නොහැකි මාදිලියේ හානියක් සිදුවිය හැකි නිසාය. එමනිසා, කාන්තාර ඇතුළත ශාක වර්ධනය වන්නේ සෑම රාත්‍රියකම පැය දෙකකට වඩා වැඩි කාලයක් වාතයෙහි උෂ්ණත්වය හිමාංකයට වඩා පහත වැටෙන්නේ නැති ප්‍රදේශවල පමණි.
වෙනස්වන දේශගුණය
ශුෂ්ක ස්ථාන හා ඒවායේ ජීවීන්ට දේශගුණ විපර්යාස බලපාන්නේ කෙසේද යන්න පර්යේෂකයන් තවමත් හරිහැටි අවබෝධකරගෙන නැති නමුත් “අපිට අනිවාර්යයෙන්ම විපර්යාසයන්ට මුහුණදෙන්න සිද්ධවෙනවා” ඩෙනාර්ඩෝ පවසයි, “බොහෝ කාන්තාර සඳහා, ෆැරන්හයිට් අංශක 3 සිට 4 [සෙන්ටිග්‍රේඩ් අංශක 1.7 සිට 2.2].” දක්වා උෂ්ණත්වය සාමාන්‍යය ඉහළ යනු ඇතැයි අපි පුරෝකථනය කරමු”.
කෙසේ වෙතත්, පර්යේෂණ වලින් පෙනී යන්නේ “රාත්‍රී කාල්වේලාවන් වඩාත් උණුසුම් වනු ඇති නමුත් එය දවාල උණුසුම් වීම තරම් නරක නැත” යනුවෙන් බව ඩෙනාර්ඩෝ සඳහන් කරයි.
ඒ වෙනුවට, සැබෑ ගැටළුව වන්නේ කාන්තාර ජීවීන් විශ්වාසය තබා සිටින වාර්ෂික වර්ෂාපතනයේ ප්‍රමාණය කෙරෙහි දේශගුණික විපර්යාස බලපෑම් කිරීමයි. ” වර්ෂාපතනය ඇතිවීමේ සංගතභාවය අඩු වී ගොස් සාපේක්ෂව තෙත් වසරවල් හා සාපේක්ෂව වියළි වසරවල් පවතිනු ඇත,” ඩෙනාර්ඩෝ පෙන්වාදේ, “නමුත් බොහෝමයක් වසරවල් තෙත්ව තිබුණත්, විශාල ගැටළු ඇතිවීමට එක් වියළි වසරක් පමණක් ප්‍රමාණවත්.”
Live Science හී පළවී ඇති Why do deserts get so cold at night? යන ලිපිය ඇසුරෙනි