පස ශාකවල වර්ධනයට උපකාරී වෙන්නේ කොහොමද? II
පෘථිවියේ ජීවයට පස ඉතා වැදගත් වේ. වර්තමානයේ පවතින පසෙහි ගුණාත්මක භාවය ශාක පරිසර පද්ධතිවල ස්වභාවය සහ සත්ව ජීවිතයට හා සමාජයට ආධාර කිරීමට භූමියේ ධාරිතාව තීරණය කරයි. වර්තමාන පාරිසරික අභියෝග බොහොමයක පාංශු ප්රධාන කාර්යභාරයක් ඉටු කරයි. ජල දූෂණය හා දේශගුණික විපර්යාසයේ සිට ජෛව විවිධත්ව හානිය සහ මිනිස් ආහාර සැපයුම දක්වා ලෝකයේ පරිසර පද්ධති කෙරෙහි පස සම්බන්ධයෙන් සිදු කෙරෙන ක්රියා බලපායි. මානව සමාජ වඩ වඩාත් නාගරීකරණය වන විට, අඩු පිරිසකට පස සමඟ සමීප සම්බන්ධතා ඇති අතර, පුද්ගලයන්ගේ සමෘද්ධිය සහ පැවැත්ම සඳහා පස මත යැපෙන බොහෝ ක්රම පිළිබඳ අවබෝධය නැති වී යයි. ඇත්ත වශයෙන්ම, අප පස මත යැපෙන ප්රමාණය අනාගතයේ දී තව තවත් වැඩි වෙනවා විනා අඩුවීමක් නම් සිදු වන්නේ නැත.
අපගේ පැවැත්මට සහ මෙම පෘථිවිය අප සමඟ බෙදා හදාගන්නා අනෙකුත් ජීවීන් සඳහා ප්රමාණවත් වාසස්ථාන නඩත්තු කිරීමට. කෙටියෙන් කිවහොත්, පාංශු විද්යාව පිළිබඳ අධ්යයනය වෙනකවර දාකටත් වඩා අද දින අතිශය වැදගත් කාරනාවක් බවට පත්ව තිබේ.
මෙම පසුබිම තුල පස ගැන විද්‍යාත්මක දැනුමක් ඇතිකර ගැනීම අප කාටත් වැදගත්ය. thathu.com ගෙන එන මෙම ලිපි මාලාවේ අරමුණ එම විද්යාත්මක දනුම කාටත් තේරෙණ ආකාරයට ඉදිරිපත් කිරීමයි — සංස්කාරක

ශාක වර්ධනයේ දී පසෙන් ඉටුවන කාර්යභාරය ගැන අපි ගිය සතියේ සාකච්ඡා කරද්දී අපි ශාකයක මූල පද්ධතිය වැඩෙන පසෙන් එය උකහාගන්නා දේවල් ලැයිස්තුගත කරලා ඒවා එකින් එක කෙටියෙන් සාකච්ඡා කරන්න පටන් ගත්තෙමු. භෞතික ආධාරකයක් ලෙස, වාතය, ජලය, සහ උෂ්ණත්ව පාලනය ගැන සඳහන් කළ අතර අද එතන් සිට සලකාබලමු.
විෂ ද්‍රව්‍යවලින් ආරක්ෂා කිරීම
(රසායන ද්‍රව්‍ය ඉහිරීම, වල් නාශක යෙදීම) වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසාත්, ශාකවල මුල්වලින්, ක්ෂුද්‍ර ජීවීන්ගෙන් හෝ ස්වාභාවික රසායනික ප්‍රතික්‍රියා මගින් ශාකවලට අහිතකර විෂ රසායන පසට මුසු වෙන්න පුළුවන්. වාතය සැපයීමෙන්, දිරාපත්වීමට සැලැස්වීමෙන්, කාබනික විෂ අධිශෝෂණය (adsorb) කරගැනීමෙන් හෝ විෂ ද්‍රව්‍ය නිශ්පාදනය කරන ජීවීන් මර්ධනය කිරීම මගින්, ශාක එවැනි විෂ සහිත ද්‍රව්‍යවලින් ආරක්ෂා කරගැනීම යහපත් පසකින් ඉටුවිය යුතු කාර්යයක් බවට පාංශු කළමනාකරුවන් පොදුවේ පිළිගන්නවා. ඊට සමාන්තරවම පස තුළ වාසය කරන සමහර ක්ෂුද්‍ර ජීවීන් ශාකවල වැඩීම ප්‍රවර්ධනය කරන කාබනික ද්‍රව්‍ය ස්‍රාවය කරනවා. ඒ ස්‍රාවයන් සුළු පරිමාණයෙන් උරාගත් විට ශාකයේ ජවය (vigour) ඉහළ යා හැකියි.

පෝෂක මූලද්‍රව්‍ය
සාරවත් පසකින් ශාක වර්ධනයට අවශ්‍ය ඛනිජ පෝෂක ද්‍රව්‍ය ද්‍රාවණයන් ලෙස, සුදුසු පරිමාණයන්ගෙන්, සුදුසු අනුපාතයට, අඛණ්ඩව සැපයෙනවා. පොටෑසියම්, කැල්සියම්,සකඩ සහ තඹ වැනි ලෝහමය මූලද්‍රව්‍යත්, නයිට්‍රජන්, සල්ෆර්, පොස්පරස් සහ බෝරෝන් වැනි අලෝහමය ඛනිජ ද්‍රව්‍යත් මේ පෝෂකවල අඩංගුයි.ශාකවල මුල් මේ මූලද්‍රව්‍ය පාංශු සාන්ද්‍රණයෙන් උරාගන්නා අතර ශාකය ඒවා පටක නිර්මිත කාබනික සංයෝගවල ගබඩා කරනවා. සත්තු සාමාන්‍යයෙන් ශාක අනුභව කිරීමෙන් ඛනිජ පෝෂක පසෙන් වක්‍රාකාරව ලබාගන්නවා. සමහර අවස්ථාවලදී සත්තු (මිනිසුන්ද ඇතුළුව) ඛනිජ අවශ්‍යතාව සපුරාගන්නේ පස් ඍජුවම ආහාරයට ගැනීමෙන්. ශාකවලට අවශ්‍ය නොවන අමතර මූල ද්‍රව්‍ය කිහිපයක්ම සතුන්ට අවශ්‍ය වන නිසා, ශාක ඒවා භාවිතයට නොගන්නා මූලද්‍රව්‍ය පවා උරාගැනීම වාසිදායකයි.
ස්වාභාවිකව හටගන්නා මූල්‍රව්‍ය 92 අතරින් 17ක් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ලෙස හඳුනාගෙන තිබෙනවා. එයින් අදහස් වෙන්නේ ශාකයකට ඒවා නොමැතිව ජීවන චක්‍රය සම්පූර්ණ කරගත නොහැකි බවයි. 1.1 අංක දරන වගුවේ මේ මූලද්‍රව්‍ය 17ට අමතරව අර්ධ- අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය (ශාක විශේෂ කිහිපයකට පමණක් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය) කිහිපයක් ඇතුළත්. ශාක මහා පරිමාණයෙන් භාවිතා කරන මූලද්‍රව්‍ය සාර්ව පෝෂක වශයෙනුත්, සුළු පරිමාණයයෙන් භාවිතා කරන මූලද්‍රව්‍ය ක්ෂුද්‍ර පෝෂක නමිනුත් හැඳින්වෙනවා. අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 17 මතකයේ රඳවාගන්න පහත සඳහන් වගන්තිය කටපාඩම් කරගන්න:
C.B. HOPKiNS CaFé—
Closed Monday Morning and Night—
See You Zoon, the Mg
මූලද්‍රව්‍යවලට අදාල සංඛේත තද කළු පැහැයෙන් දැක්වෙනවා; තඹ (Cu) සහ සින්ක් (Zn) සොයාගන්න නම් ඔබ නිර්මාණශීලී විය යුතුයි.
ඉහත සඳහන් ඛනිජ පෝෂකවලට අමතරව, ශාක විසින් පසෙහි පවතින කාබනික සංයෝගත් ඉතාමත් සුළු වශයෙන් උරාගැනීමේ ඉඩක් පවතිනවා. නමුත් මේ ද්‍රව්‍ය පස තුළින් ලබාගැනීම ශාක වර්ධනයට අත්‍යවශ්‍ය කරුණක් නොවෙයි. ශාකයක වියළි ද්‍රව්‍ය සැදුම්ලත් ව්‍යුහාත්මක සංයෝග,කාබනික පරිවෘත්තීය ද්‍රව්‍ය, එන්සයිම, ආදියෙහි මූලිකවම අඩංගුවෙන කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වැනි මූලද්‍රව්‍ය ශාක මූලිකවම ලබාගන්නේ ප්‍රභාසංස්ලේෂණය හරහා, වාතය සහ ජලය තුළින් මිස, පස හරහා නොවෙයි.
රෑට කන්න පස්?
“රෑට කන්නෙ පස්? ඊයා!” ඔබට එහෙම හිතෙන්න ඇති. කුරුල්ලන්, උරගයන් සහ ක්ෂීරපායීන් වරින් වර පස ලොවින බව අපි කවුරුත් දන්නවා. මිනිස්සු (විශේෂයෙන්ම දරුවන්) අත් වැරදීමෙන් පස් ගිලදැමීම පරිසරයේ තිබෙන විෂවලට ඔවුන් නිරාවරණය කරන මාර්ගයක් බව අනාවරණය වී තිබියදීත් බහුතරයක් දෙනා (මානව විද්‍යාඥයන් සහ පෝෂණවේදීන් පවා) මිනිස්සු හිතාමතාම පස් අනුභව කරනු ඇතැයි සිතන්න මැලි වෙනවා. නමුත් මිනිස්සු පුරුද්දක් වශයෙන් පස් අනුභව කරන බවත්, ඒ ප්‍රමාණය දෛනිකව ග්‍රෑම් 20ත් 100ත් (රාත්තල් කාලක්) අතර අගයක් ගන්නා බවත් පර්යේෂණ මගින් හෙළිදරව් වී තිබෙනවා. භූභක්ෂණය (සිතා මතාම පස් අනුභව කිරීම) තායිලන්තය, තුර්කිය, ඇලබාමාවේ ගම්බද ප්‍රදේශ සහ ටැන්සානියාවේ නාගරික ප්‍රදේශ වැනි එකිනෙකට ඉඳුරාම වෙනස් ප්‍රදේශවල පවතින සමාජයන් තුළ සිරිතක් වශයෙන් අනුගමනය කෙරෙනවා. පස් අනුභව කිරීමේ පුරුද්ද සංක්‍රමණිකයන් හරහා ලන්ඩන්, නිව් යෝක් වැනි නගරවලටත් ව්‍යාප්ත වී තිබෙනවා. කොටින්ම ඒ පිළිබඳව හදාරන විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ භූභක්ෂණය සුලබව ව්‍යාප්ත වුණු සාමාන්‍ය මිනිස් චර්යාවක් බවයි. දරුවන් සහ කාන්තාවන් (විශේෂයෙන්ම ගර්භණී සමයේදී) පුරුෂ පාර්ශවයට වඩා භූභක්ෂණයට නැඹුරුවක් දක්වනවා.

පස රහිතව පෝෂක අඩංගු ද්‍රාවණයන්වල පැළ රෝපණය කිරීමේ හැකියාව පැවතුණත්, (ඒ ක්‍රමවේදය ජලජ රෝපණය නමින් හැඳින්වෙනවා) ඒසේ කිරීමට නම්, පසෙන් ශාකයකට සැපයෙන භෞතික සහය ලබාදීමට පද්ධතියේ ව්‍යුහය සැලසුම් කිරීමත්, කාලය, බල ශක්තිය, සහ කළමනාකාරීත්වය අතින් විශාල පිරිවරයක් දරමින් පද්ධතිය නඩත්තු කිරීමත් අවශ්‍ය වෙනවා. බිලියන හතක ජන ගහණයකට අවශ්‍ය ආහාර ජලජ රෝපණ ක්‍රමවේදය අනුගමනය කරන හරිතාගාරයක වගා කිරීමට දැරිය යුතු පිරිවැය ගැන කල්පනා කළොත් පරිසර පද්ධතියට ආහාර සැපයීමට පසෙන් හිමිවන දායකත්වයේ ආර්ථික වටිනාකම ඔබට අවබෝධ කරගන්න පහසුවේවි.

අ වගුවේ සඳහන් මූලද්‍රව්‍ය හැර වෙනත් මූලද්‍රව්‍යත් ශාක පසෙන් උරාගත්තත්, ඒවා ශාක වර්ධනයට අත්‍යවශ්‍ය නැහැ. ඒ අතරින් කිහිපයක් (අයඩින්, ෆ්ලෝරීන්,බේරියම් සහ ස්ට්‍රොන්ටියම්) සමහර ශාකවල වර්ධන වේගය වැඩි කළත්, වගුවේ දක්වා ඇති මූලද්‍රව්‍ය විස්ස වගේ ශාක වර්ධනයට අත්‍යඅවශ්‍ය බවක් පෙන්වන්නේ නැහැ. තවත් සමහර මූලද්‍රව්‍ය (ක්‍රෝමියම්, සෙලනියම්, ටින් සහ වැනේඩියම්) මිනිස් හා සත්ව පරිභෝජනය සඳහා ශාක පටකවල ගබඩා කරගන්නවා මිස ශාකයේ වැඩීමට අවශ්‍ය වන බවක් පෙනෙන්නේ නැහැ.
ආ (*) ලකුණෙන් දැක්වෙන්නේ සමහර ශාකවලට පමණක් අත්‍යවශ්‍ය වන “අර්ධ අත්‍යවශ්‍ය” මූලද්‍රව්‍ය. සිලිකන් ශාක තුළ විවිධ ක්‍රියාවලීන් සඳහා විශාල පරිමාණයන්ගෙන් යොදාගැනෙන නිසා ශාක හිතකාමී මූලද්‍රව්‍යයක් ලෙස පිලිගැනෙනවා. නමුත් එය අත්‍යවශ්‍ය වෙන්නේ ඉක්විසෙටාසියේ (Equisetaceae) කුලයේ ශාක සහ ඩයටමවලට (ඒකසෛලික ජලශාක) පමණයි. කොබෝල්ට් අත්‍යවශ්‍ය වෙන්නේ නයිට්‍රජන් තිරකරන බැක්ටීරියා සමග සහජීවී සබඳතා පවත්වන රනිල කුලයේ ශාකවලට පමණයි. C4 ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ යෙදෙන ශාකවලට (ප්‍රධාන වශයෙන් නිවර්තන තෘණ වර්ග) සෝඩියම් සුළු පරිමාණයෙන් අවශ්‍ය වෙනවා.
පරිවර්තනය කොට සකස්කළේ: අරුන්දි ජයසෙකර
The Nature and Properties Of Soils Fifteenth Edition නම් ප්‍රකට පෙළපොත ඇසුරෙනි