ගෝලීය COVID-19 එන්නත් ප්රයත්නයන් සඳහා මාර්ගෝපදේශයක්
ඉතිහාසයේ වඩාත්ම බලවත් අභියෝගයක් හා ව්යසනයක් බවට පත්ව ඇති Covid-19 ගෝලිය වසංගතය මර්ධනය කිරීමෙහි ලා ප්රධාන ක්රියා මාර්ගයක් වන්නේ එන්නත්කරණයයි. එන්නත් ගැන වැදගත්ම කරුණු එක තැනකින් දැන ගත හැකි මේ ලිපිය කොටස් දෙකකින් යුක්තයි.
නව්ය කොරෝනා වෛරසය හට ගෙන යාම්තම් වසරක් ගතවෙත්ම, එයින් ආරක්ෂා වීමට පළමු එන්නත් ලබාදීම් ආරම්භ කරනු ලැබ තිබේ. එසේ වී නමුත් (එන්නත්)නිෂ්පාදන අභියෝග, එන්නත් ජාතිකවාදය සහ නව වෛරස් මාදිලි යන සියල්ල මගින් එන්නත් ප්රයත්නයන්ට බාධක ඉදිරිපත් වේ.
සාරාංශය
● රජයන්, බහුපාර්ශ්වීය සංවිධාන සහ පෞද්ගලික සමාගම් වසරක් තුළ නව කොරෝනා වෛරසයට ඵලදායී එන්නත් නිපදවීම පිණිස ඩොලර් බිලියන ගණනක් වියදම් කර ඇත.
● ෆයිසර් සහ බයෝ එන්ටෙක්, මෝඩර්නා සහ සීනෝෆාර්ම් ඇතුළුව එන්නත් දුසිමකට ආසන්න ප්රමාණයක් මේ වන විටත් බෙදා හැර ඇති අතර මේ වන විට මිලියන සිය ගණනක් ජනතාව එන්නත් කර ඇත.
● එන්නත් මහජන භාවිතය සඳහා අනුමත කිරීමට පෙර ආරක්ෂාව සහ ඵලදායීතාවය සඳහා දැඩි පරීක්ෂාවකට භාජනය වේ. මෙම ක්රියාවලිය වෙනුවෙන්සාමාන්යයෙන් වසර ගණනාවක් ගත වේ.
හැඳින්වීම
COVID-19 කොරෝනා වයිරස් රෝගයේ වසංගතයට වසරක් ගත වන විට, ඵලදායී එන්නතක් සංවර්ධනය කිරීම හා බෙදා හැරීම සඳහා වන ගෝලීය උත්සාහය දැනටමත් හොඳ විකල්ප කිහිපයක් ඉදිරිපත් කිරීමට සමත්ව ඇත. එන්නත් ගණානාවක්ම වැඩිදියුණු කිරීම වේගවත් කිරීම පෙර නොවූ විරූ ය; එන්නත් වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට සාමාන්‍යයෙන් අවුරුදු අටක් පහළොවක් ගතවේ.
ගෝලීය වසංගතය පාලනය කර ගැනීම සඳහා ලෝක ජනගහනයෙන් අවම කොටසක්(critical mass) ප්‍රතිශක්තිකරණය කළ යුතුවේ. දැන් මෙම කාර්යය නව අභියෝග රැසකට මුහුණ පා සිටියි. වෛරසයේ භයානක නව මාදිලි, සැපයීමට ඇති එන්නත් සීමිත මාත්‍රාව සම්බන්ධයෙන් පවතින ගෝලීය තරඟකාරිත්වය සහ එන්නත් ලබාගැනීම පිළිබඳව මහජනයා අතර ඇති පැකිලීම මේ අභියෝග අතරවේ.
COVID-19 එන්නත බෙදා හැරීම සම්බන්ධ තත්ත්වය කුමක්ද?
චීනය, රුසියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල සාමාන්‍ය හෝ හදිසි භාවිතය සඳහා එන්නත් කිහිපයක් අනුමත කර ඇත. 2021 පෙබරවාරි වන විට ලොව පුරා මාත්‍රාවන් මිලියන දෙසියයකට අධික ප්‍රමාණයක් ලබා දී තිබේ. ඊස්රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් කිහිපයක් ඔවුන්ගේ පුරවැසියන්ට ප්‍රතිශක්තිකරණය ලබා දීමේ දී වේගවත් ප්‍රගතියක් ලබා ඇති නමුත් රටවල් අතිමහත් බහුතරය එක්කෝ එන්නත් ලබා දී ඇත්තේ ඔවුන්ගේ ජනගහනයෙන් සුළු කොටසක් පමණි; නැතිනම් එන්නත්කරණය තවම පටන් ගෙනවත් නැත.
එන්නතක් ක්‍රියා කරන්නේ කෙසේද?
සාම්ප්‍රදායිකව ගතහොත් එන්නත් යනු මියගිය හෝ ප්‍රතිදේහජනක ලෙස හැඳින්වෙන දුර්වල වූ වෛරස් අණුය. මේවා, වෛරසයට බන්ධනය වී එය උදාසීන කරවන ප්‍රතිදේහ නිපදවනු වස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආරක්ෂිත සුදු රුධිරාණු පූරණය කරයි.
සාම්ප්‍රදායික එන්නත් වල ප්‍රධාන වර්ග හතරක් ඇත:
● සජීවී එන්නත් මගින් ප්‍රතිදේහ සෑදීම සඳහා වෛරසයේම දුර්වල ස්වරූපයක් භාවිතා කරයි;
● අක්‍රිය කෙරුණු එන්නත් මඟින් වෛරසයේ මළ අනුවාදයක් භාවිතා කරයි;
● ධූලකාභ හෙවත් විෂාභ එන්නත්(toxoid vaccines) රෝග හටගන්වනු ලබන වෛරසයේ කොටසට ප්‍රතිශක්තිය නිපදවීම පිණිස විෂාභ එන්නත් වෛරසය මගින් සාදනු ලබන විෂ ද්‍රව්‍ය භාවිතා කරයි.
● අනු ඒකක, ප්‍රතිසංයෝජක, පොලිසැකරයිඩ සහ සංයුක්ත එන්නත් මඟින් වෛරසයේ ප්‍රෝටීන හෝ වෙනත් කොටස් භාවිතා කරයි.
ශරීරයේ ප්‍රතිදේහ සෑදීමට පොළඹවා ගැනීම සඳහා වෛරසයේ ජානමය ද්‍රව්‍ය වන DNA හෝ RNA භාවිතා කරන නව එන්නත් වර්ග කිහිපයක් ද තිබේ. සායනික අත්හදා බැලීම් අවධියට පිවිස ඇති COVID-19 එන්නත් ලෙස භාවිතයට ගැනීමේ අපේක්ෂක එන්නත් දුසිමකට වඩා වැඩි සංඛ්‍යාවක් ජාන පදනම් කරගත් ඒවාය. මේවා අතර එක්සත් ජනපදයේ දැවැන්ත ඖෂධ සමාගමක් වන ෆයිසර් සහ (එහි)හවුල්කාර ජර්මානු සමාගමක් වන බයෝටෙක් (Pfizer and BioNTech) සහ එක්සත් ජනපදය පදනම් කරගත් මොඩර්නා (Moderna) ද වේ. COVID-19 ගෝලීය වසංගතයට පෙර මෙවැනි කිසිදු එන්නතක් මිනිසුන් අතර වාණිජමය භාවිතය සඳහා අනුමත කර නොමැත.
ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් එන්නත් කිරීමෙන් පසුව සහ යම් රෝගයකට ප්‍රතිශක්තීකරණයක් ඇති විට, ප්‍රතිශක්තිකරණයක් නොමැති අය පවා ආරක්ෂිත යැයි සලකනු ලබන්නේ එකවර වේගයෙන් පැතිරීමේ සම්භාවිතාව කුඩා නිසාය. මෙය සමූහ ප්‍රතිශක්තිය(herd immunity) ලෙස හැඳින්වේ. පැපොල, සරම්ප, කම්මුල්ගාය සහ පෝලියෝ යන සියල්ලම එන්නත් හේතුවෙන් එක්සත් ජනපදය තුළ සමූහ ප්‍රතිශක්තිය ලබා ඇති රෝග සඳහා උදාහරණ වේ. නව වසංගතයක් පැතිර යාම වැළැක්වීම සඳහා ජනගහනයෙන් කොපමණ ප්‍රමාණයක් COVID-19 ප්‍රතිදේහ අත්පත් කරගෙන තිබිය යුතුද යන්න පිළිබඳව විද්‍යා ඥයන් අතර අදහස් එකඟත්වයක් නොමැත. ඇස්තමේන්තු ගත පරාසය ජනගනයෙන් අඩකට අඩු මට්ටමේ සිට සියයට 80 ඉක්මවන ප්‍රමාණයක් දක්වායි
එන්නත් වැඩිදියුණු කිරීමට සම්බන්ධ වන්නේ කවුද?
එන්නත් යනු සමාජයේ විවිධ අංශ අතර නිරන්තරයෙන් සහයෝගීතාවයෙන් සිදුකෙරෙන වෑයමක් වන අතර එහි දී පුද්ගලික ඖෂධ සමාගම්, මහජන සෞඛ්‍ය ආයතන හෝ විශ්ව විද්‍යාල විද්‍යාගාර සමඟ එක්වෙයි.
රජයන්. COVID-19 එන්නත් සංවර්ධනය කිරීම සඳහා අරමුදල් සැපයීමේදී මහජන සෞඛ්‍ය ආයතන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ඵලදායී එන්නතක් වැඩිදියුණු කොට ඇමරිකානුවන් මිලියන තුන්සියයක් සඳහා ප්‍රමාණවත් මාත්‍රාවක් නිෂ්පාදනය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් වන Operation Warp Speed(උපරිම වේග මෙහෙයුම)දියත් කෙරිණ. පිළිගැනීමට අපේක්ෂිත එන්නත් වැඩිදියුණු කරමින් සිටින සමාගම්වලට ඩොලර් බිලියන ගණනක් ලබාදීමට ප්‍රතිඥා දී තිබූ මෙම උත්සාහයට, සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව තුළ (රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන(Centers for Disease Control and Prevention – CDCs), ජාතික සෞඛ්‍ය ආයතන (National Institutes of Health – NIH) සහ ආහාර හා ඖෂධ පරිපාලනය (Food and Drug Administration – FDA) යන ආයතන ද ඇතුළත් නියෝජිතායතන සහ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළත නියෝජිතායතන ද කිහිපයක් එකට එක් විය. යුරෝපීය කොමිසම අපේක්ෂිත එන්නත් කිහිපයක් සංවර්ධනය සඳහා අරමුදල් සපයා ඇත; යුරෝපීය සංගමය විසින් සංවිධානය කරන ලද 2020 මැයි මාසයේ පැවති අතථ්‍ය)virtual( සමුළුවකදී ලෝක නායකයින්, සංවිධාන සහ බැංකු එන්නත් පර්යේෂණ සඳහා ඩොලර් බිලියන 8 ක් ලබාදීමට පොරොන්දු විය. චීනය ද, සිය දේශ සිමා ඇතුළත එන්නත් වැඩිදියුණු කිරීමේ ප්‍රයත්න රජය මගින් සමීපව අධීක්ෂණය කෙරිණ එ රටේ එන්නත් කර්මාන්තයෙන් පහෙන් දෙකක පමණ ප්‍රමාණයක් සීනෝෆාර්ම් වැනි රජයට අයත් සමාගම් විසින් මෙහෙයවනු ලැබේ.
ජාත්‍යන්තර ආයතන. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ලෝක බැංකුව වැනි අනෙකුත් බහුපාර්ශ්වීය ආයතන ගෝලීය භාවිතය සඳහා COVID-19 එන්නත් සඳහා මුදල් යෙදවීම සහ නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙහි අරමුණ විශේෂයෙන්ම එන්නත ලෝක ප්‍රජාව අතරේ සාධාරණව බෙදී යාම සහතික කිරීමයි. ගෝලීය සන්ධානයක් වන වසංගත සූදනම්වීමේ නවෝත්පාදන සඳහා වන සන්ධානය (Coalition for Epidemic Preparedness Innovations – CEPI) මෙකී බහුපාර්ශ්වීය ප්‍රයත්නයන්හි පෙරමුණ ගෙන සිටියි. මෙය, නෝවේ රාජ්‍යය, ඉන්දියාව, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මෙන්ම එක්සත් රාජධානිය පාදක කරගත් වෙල්කම් ට්‍රස්ට් සහ ලෝක ආර්ථික සංසදය ) Welcome Trust, and the World Economic Forum( මගින් සැපයුණු අරමුදල් යොදා ගනිමින් ආරම්භ කරන ලද්දකි. – ගේට්ස් පදනම විසින්ම අරමුදල් සපයන ලද Gavi නම් එන්නත් සන්ධානය අඩු ආදායම්ලාභී රටවල් සඳහා එන්නත් සැපයීමේ හැකියාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයකි. 2020 ජුනි මාසයේදී WHO, CEPI සහ Gavi විසින් COVAX නම් ගෝලීය වැඩසටහනක් දියත් කරන ලද අතර ඊළඟ වසර අවසාන වන විට එන්නත් මාත්‍රාව බිලියන දෙකක් බෙදා හැරීම අරමුණු කර ගෙන ඇත. 2021 පෙබරවාරි වන විට, කොවාක්ස් සිය බෙදාහැරීම් ආරම්භ කර ඇති අතර, පළමු මාත්‍රා දැනටමත් බටහිර අප්‍රිකාවට යවා ඇත.
පෞද්ගලික අංශය. මෙම ප්‍රයත්න වල දී ඖෂධ කර්මාන්තය විශාල ‘තල්ලුවක්’ ලබා දී ඇත. ජෛව තාක්‍ෂණික ආරම්භක සමාගම් වල සිට සිට එක්සත් ජනපදය පදනම් කරගත් ජොන්සන් සහ ජොන්සන් වැනි දැවැන්තයින් දක්වා වූ සමාගම් COVID-19 කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා සිය පර්යේෂණ හා සංවර්ධන උත්සාහයන් අනෙක් ප්‍රයත්නයන් වෙතින් ඒ වෙත යොමු කළහ. එක්සත් ජනපදයේ නම් එන්නත් අපේක්ෂකයෙකු පිළිබඳ මුල් කාලීන පර්යේෂණයන් සඳහා සාමාන්‍යයෙන් NIH ප්‍රදාන වැනි රජයේ අරමුදල් ලැබෙන අතර, සායනික සංවර්ධනය සඳහා විශාල වශයෙන් අරමුදල් ලැබෙන්නේ සාමාන්‍යයෙන් පුද්ගලික ප්‍රභවයන්ගෙනි.
පර්යේෂණ ආයතන සහ ලාභ නොලබන ආයතන. COVID-19 එන්නත අපේක්ෂකයින්ගෙන් බොහෝ දෙනෙක් පූර්ව සායනික පර්යේෂණ හෝ සායනික අත්හදා බැලීම් සඳහා සහාය වන විශ්ව විද්‍යාලයකට හෝ කොලීජියකට සම්බන්ධ වී සිටියි. ඔක්ස්ෆර්ඩ් සරසවියේ අපේක්ෂිත එන්නත සම්බන්ධයෙන් ගත් කල, පර්යේෂණ කණ්ඩායම ගෝලීය වසංගතයක් ඇතිකළ හැකි නාඳුනන රෝගයක් සඳහා ලබා දිය හැකි එන්නතක ගැන ඒ වනවිටත් ක්‍රියා කරමින් සිටියහ. ඉන්පසු 2020 ජනවාරි මාසයේදී පර්යේෂණ කණ්ඩායම . COVID-19 මත නාභිගත විය. COVID-19 එන්නත් ප්‍රයත්න සඳහා ලාභ නොතකා අරමුදල් සපයන ප්‍රමුඛතමයා වන්නේ ගේට්ස් පදනම(The Gates Foundation) .
COVID-19 එන්නත් ප්‍රමුඛව නිපදවන්නන් කවුද?
අවම වශයෙන් සීමිත භාවිතය සඳහා අනුමත කරන ලද එන්නත් බොහොමයක් චීනය, රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ සමාගම් සහ පර්යේෂණ කණ්ඩායම් විසින් සංවර්ධනය කරනු ලැබ ඇත. මිනිසුන් යොදවා සිදුකෙරෙන එක්සත් ජනපදයේ ප්‍රථම අත්හදා බැලීම 2020 මාර්තු මාසයේදී සියැටල්හිදී Moderna Inc (මෝඩර්නා ඉන්කෝපරේෂන්) විසින් වැඩි දියුණු කරන ලද එන්නතක් මගින් ආරම්භ කරන ලදී. විශාල පරිමාණයේ පරීක්ෂණ වලදී බෙහෙවින් ඵලදායී බව පෙණී ගියෙන් එම එන්නත එක්සත් ජනපදයේ, යුරෝපීය සංගමයේ සාමාජිකයින් සහ තවත් රටවල් කිහිපයක හදිසි භාවිතය සඳහා අනුමත කරන ලදී. ෆයිසර් සහ බයෝ එන්ටෙක් විසින් වැඩිදියුණු කෙරුණු එන්නතක් ද බලාපොරොත්තු තැබිය හැකි ප්‍රතිඵල පෙන්නුම් කිරීමෙන් අනතුරුව රටවල් ගනනාවක නියාමන ආයතන විසින් අනුමත කෙරින. එක්සත් ජනපද වෙළඳපොළට ඇතුළු වීමට ජොන්සන් ඇන්ඩ් ජොන්සන්ගේ එන්නතයි ඊළඟට පැමිණියේ 2021 පෙබරවාරි මස අගදී හදිසි අවසරය ලබා ගනිමිනි. මේ අතර, බීජිනය සිය අපේක්ෂක එන්නත් හතරක් අනුමත කර ඇති අතර, ඒ සියල්ලම වෙනත් රටවල් විසින් භාවිතා කරනු ලැබේ. විශාල පරිමාණ පරීක්ෂණ වලට පෙර රුසියාව එන්නත් දෙකක අනුමැතිය දුන්නේයට; මෙයින් එකක් තවත් රටවල් ගණනාවක බෙදා හරිනු ලැබේ.
මීට අමතරව, ලොව පුරා රටවල් එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ බ්‍රිතාන්‍ය-ස්වීඩන් සමාගමක් වන ඇස්ට්‍රාසෙනෙකා විසින් එන්නතක් අනුමත කර ඇති අතර එය අනෙක් ඒවාට වඩා ලාභදායී හා ගබඩා කිරීමට හා ප්‍රවාහනය කිරීමට පහසුය.
තවත් COVID-19 අපේක්ෂක එන්නත් දුසිම් ගණනක් මහා පරිමාණ සායනික අත්හදා බැලීම්වලට ලක්ව ඇති අතර භාවිතයට ගැනීමේ විභවයක් සහිත එන්නත් 180 ක් පමණ සමාගම්, අධ්‍යයන ආයතන සහ රාජ්‍ය ආයතන විසින් පූර්ව සායනික සංවර්ධනය සඳහා යොදවා තිබේ.
එන්නතක් නිපදවන්නේ කෙසේද?
මූලික ශාස්ත්‍රාලීය පර්යේෂණයේ සිට රෝහල් සහ වෛද්‍යවරුන් වෙත බෙදා හැරීම දක්වා එන්නතක් සංවර්ධනය කිරීම හා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අදියර ගණනාවක් තිබේ.
සායනික අත්හදා බැලීම් යනු එන්නතක් ඵලදායීද යන්න පිළිබඳ තීරණාත්මක දර්ශකයකි. වෙනත් ඖෂධ මෙන් විභවයක් සහිත එන්නත්, පළමුව සතුන් යොදා ගෙන බහුලව පරීක්ෂා කරනු ලැබේ. මානව අත්හදා බැලීම් අදියර තුනකට බෙදා ඇති අතර එය ක්‍රමයෙන් ස්වේච්ඡා සේවකයන්ගේ සංඛ්‍යාව වැඩි කෙරෙන ආකාරයට සිදු කෙරේ. අපේක්ෂක එන්නතක් අකාර්යක්ෂම යැයි පෙණී යන්නේ නම්, හානිකර අතුරු ආබාධ ඇති වේ නම් හෝ පවතින එන්නත් වගේම නම්, එය ඉදිරියට නොයනු ඇත. අත්හදා බැලීම් බොහෝ විට “අන්ධ” පරීක්ෂන ලෙස සැලකෙන අතර සමහර කණ්ඩායම්වලට එන්නත ලබා දෙන අතර සමහරුන්ට ප්ලේසෙබෝ හෙවත් ව්‍යාජ එන්නත් ලබා දේ. (අන්ධ පරීක්ෂාව[blind test] යනු සහභාගිවන්නන් අත්හදා බැලීමේ හෝ පාලන කණ්ඩායමේ සිටිනවාද නැද්ද යන්න පිළිබඳව “නොදැන” කෙරෙන අත්හදා බැලීමකි).
අපේක්ෂක එන්නතක් මානව අත්හදා බැලීම් වලදී සාර්ථක යැයි සලකන්නේ නම්, එන්නත් සංවර්ධකයින්ට FDA හෝ යුරෝපීය ඖෂධ ඒජන්සිය(European Medicines Agency) වැනි ජාතික හෝ කලාපීය නියාමන ආයතනයක අනුමැතිය ලබා ගත හැකිය. එක්සත් ජනපදයේ, සායනික අත්හදා බැලීම්වලට භාජනය වන සියලුම ඖෂධවලින් සියයට 10 කටත් වඩා අඩු ප්‍රමාණයක් මෙම ක්‍රියාවලියේ මෙකී කොටස පසු කර ඇත. අනුමත කිරීමට පෙර, එන්නත් සාදන්නෙකුට FDA වෙතින් හදිසි භාවිත අවසරයක් ඉල්ලා සිටිය හැකි ය. අනුමත නොකළ වෛද්‍ය නිෂ්පාදන විකිණීමට ඉඩ සලසන්නේ එමගිනි. ෆයිසර් සහ බයෝ එන්ටෙක් ආයතනයට ඔවුන්ගේ එන්නත සඳහා දෙසැම්බර් 11 වන දින යුරෝපා සංගමයක් හදිසි භාවිත අවසරය ලබා දුන් අතර සතියකට පසුව මෝඩරනා එන්නතට ද එම අවසරය ලැබිණ.
මීට අමතරව, ලෝක සෞඛ්‍ය සංවිධානය ඖෂධ අනුමත නොකරන අතර, එන්නත සාදන්නාට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පූර්ව සුදුසුකම් ඉල්ලා සිටිය හැකිය. පූර් ව සුදුසුකම් යනු එන්නතක තත්ත්වය සහතික කෙරෙන්නේ ක්‍රියාදමයකි.බොහෝ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් ඖෂධ මිලදී ගැනීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පූර් ව සුදුසුකම් මත රැඳී ක්‍රියා කරයි. අවසාන වශයෙන්, එන්නත විදේශයන්හි බෙදා හැරීම සඳහා වෙනත් රටවල ජාතික නියාමකයින් විසින් අනුමත කළ යුතුය. අනුමැතිය ලැබීමෙන් පසු, එන්නත පුළුල් භාවිතය සඳහා නිෂ්පාදනය කළ හැකිය.
එන්නත නිෂ්පාදන ක්‍රියාවලිය, එන්නත් මගින් වසංගතය අවසන් කළ හැකිද? යන්න ද ඇතුළුව ලිපියේ ඉතිරි කොටස නොවැරදී කියවන්න.
The Council on Foreign Relations(March 25th, 2021) වෙබ් අඩවියෙ හී පළ වූ A Guide to Global COVID-19 Vaccine Efforts යන ලිපිය ඇසුරෙනි