ඉන්දියාවේ දිල්ලියේ, 13 හැවිරිදි සතරාක් Curious Kids(The Conversation) වෙත යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ
එක්සත් රාජධානියේ, සතැම්ප්ටන් හී සොලෙන්ට් විශ්ව විද්‍යාලයේ, සෞඛ්‍ය හා සමාජ විද්‍යා අංශයේ, ක්‍රීඩා පාසලෙ හි සහකාර මහාචාර්ය ඇඩම් හෝකි (Adam Hawkey) ය.
අපට අඟහරු ග්‍රහයා මත මිනිසුන් රැඳවිය නොහැක්කේ ඇයි?
අපි තවම අඟහරු ග්‍රහයා මතට මිනිසුන් යවා නැතත්, අනාගතයේදී අපට එය කළ හැකිවීමට ඉඩ තිබේ.. මිනිසුන් විසින් සිදු කරනු ලබන ප්‍රධාන පෙළේ ඕනෑම ගවේෂණයක දී මෙන් — එවරස්ට් කන්ද තරණය කළාක් මෙන්, සාගරයේ ගැඹුරුම ස්ථානයට ගමන් කළාක් මෙන් — අපි අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යවන විට (යවා ඔවුන්ව නැවත පෘථිවිය වෙත ගෙන්වා ගන්නා විට) අපට ජය ගැනීමට බාධක ගණනාවක් ඇත.
පළමුව, අඟහරු වෙත කාර්ය මණ්ඩලයක් රැගෙන යා හැකි අභ්‍යවකාශ යානයක් තැනීම අභියෝගයක් වනු ඇත. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (International Space Station (ISS)) රැඳී සිටින ගගනගාමීන්ට ආහාර, ජලය සහ වෙනත් සැපයුම් ලබා ගත හැක්කේ එය පෘථිවියට ආසන්න බැවිනි. නමුත් අඟහරු ග්‍රහයා වෙත යන ගමන, ග්‍රහ ලෝක දෙක ඒ අවස්ථාවේ පිහිටීම අනුව, මාස හයේ සිට නවය දක්වා කාලයක් ගත වන්නකි. ගමන සඳහා යොදා ගන්නා අභ්‍යවකාශ යානය ස්වයංපෝෂිත විය යුතුය, එයින් අදහස් කරන්නේ ගමනට අවශ්‍ය සියලු සැපයුම් එම යානයේ රැගෙන යාමට හෝ ඒවා යානය තුළම නිපදවීමට හැකි වනු ඇති බවයි.


අභ්‍යවකාශ යානයේ ගමන් ගන්නා කාර්ය මණ්ඩලයට ආරක්ෂාව සැපයීමට ද අවශ්‍ය වනු ඇත. පෘථිවියේ දී අප සූර්යයාගෙන් චුම්භක ක්ෂේත්‍රයක් මාර්ගයෙන් ආරක්ෂාව සපයා ගන්නා නමුත් අභ්‍යවකාශයේ දී අප සූර්ය හා අන්තරීක්ෂ(කොස්මික්) විකිරණවලට නිරාවරණය විය හැකිය. ඒවා සෛල වලට හානි කරන අතර පිළිකා අවදානම වැඩි කරයි.
අඟහරු වෙත යාම සඳහා දැරිය යුතු කැපවීම
මිනිසුන් යොදා ගනිමින් අඟහරු ග්‍රහයා වෙත සිදු කරන මෙහෙයුමක ඇති ලොකුම අභියෝගය වනුයේ කාර්ය මණ්ඩලය නිරෝගීව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමයි. දීර්ඝ කාලයක් ස්භ්‍යවකාශයේ ගත කිරීම හේතුවෙන් මිනිස් සිරුරට අමුතු, අමුතු දේවල් රාශියක් සිදුවිය හැකිය. අප අභ්‍යවකාශයේ ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ පරිසරයට ඇතුළු වන විට (ගගනගාමීන්ට පාවී යා හැකි වන ආකාරයේ) සිදු වන පළමු දෙය නම් පෘථිවියේ දී පාදවලට “ඇදී” යන ශරීර තරල, අඩු වී ගොස් (ඒවා) හිස සහ පපුව දෙසට ගමන් කිරීමයි. ගගනගාමීන්ට “ඉදිමී ගිය හිස, කෝටු වැල්ව ගිය කකුල්”( “puffy head, chicken legs”( යනුවෙන් ඇතැමුන් දක්වන අවථාව අත්විඳීමට මෙය හේතු වේ.

(අභ්යවකාශයේ දී ශරීරයට සිදුවන දෑ දැක්වෙන වීඩියොවක් මෙතනින් නරඹන්න)
අනෙක් බරපතල බලපෑම් අතර අස්ථි හා මාංශ පේශි වල ඇතිවෙන වෙනස්වීම දැක්විය හැකිවේ. අභ්‍යවකාශයේදී මසකට අස්ථි ඝනත්වය 1% ක අනුපාතයකින් සහ මාංශ පේශි 3% ක අනුපාතයකින් අඩු වේ. මෙය පෘථිවියේ වයස්ගත පුද්ගලයින් සඳහා වයස්ගත වීමේ ක්‍රියාවලියේදී වසරක් තුළ අහිමි වූ මට්ටමට සමානය.
මෙම ප්‍රමාණවලින් අස්ථි හා මාංශ පේශි අහිමි වීම අභ්‍යවකාශයේ දී එතරම් ගැටළුවක් බවක් නොපෙනේ. මන්ද එවිට අත්විඳින “බර රහිත”(“weightless”) තත්වයන් තුළ ගගනගාමියෙකුට තමා විසින් තනිව චන්ද්‍රිකාවක් ස්ථානගත කිරීම වැනි අධිමානුෂික ශක්තියක් අවශ්‍ය වැඩ එම තත්ත්වයේ දී මිනිසුන්ට කළ හැකි බැවිනි. කෙසේ වෙතත්, ගුරුත්වාකර්ෂණ පරිසරයකට නැවත ඇතුළු වන විට, මාංශ පේශි හා අස්ථි ‘අහිමිවීම’ ශාරීරික ක්‍රියාකාරිත්වය අඩු කරන අතර අස්ථි බිඳීමේ අවස්ථාව බෙහෙවින් වැඩි කරයි.

වර්තමානයේදී අපට මෙම බලපෑම් වලට එරෙහිව ක්‍රියා කිරීමට ඇති හොඳම විසඳුම ව්‍යායාමයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ හි ගගනගාමීහු හෘද වාහිනී (බයිසිකල් පැදීම, දිවීම) සහ ප්‍රතිරෝධ හෝ බර පුහුණුව ඇතුළුව දිනකට පැය 2.5 ක් පමණ මිශ්‍රව්‍යායාම කරමින් කරති. කෙසේ වෙතත්, මෙම ව්‍යායාම ප්‍රමාණය සමඟ වුවද, ගගනගාමීන්ගේ යෝග්‍යතාවය මාස හයක් තුළ 25% කින් පහත වැටේ, එබැවින් කාර්ය මණ්ඩලය අඟහරු ග්‍රහයා මතට පැමිණෙන්නේ දුර්වල හා භංගුර තත්වයක ය.
ආපසු නො එන ගමනක්?
අඟහරු ග්‍රහයා මතට පැමිණි පසු, කාර්ය මණ්ඩලය නැවත ගුරුත්වාකර්ෂණයට නිරාවරණය වනු ඇත. නමුත් අඟහරු ග්‍රහයාගේ ගුරුත්වාකර්ෂණය ග්‍රෑම් 0.38 ක් පමණි (පෘථිවියේ තුනෙන් එකක් පමණ). මෙයින් අදහස් කරන්නේ අඟහරු ග්‍රහයා වෙත පැමිණෙන ඕනෑම අමුත්තෙකුට එහි මතුපිට (ආරක්ෂිත අවකාශ ඇඳුම් පැළඳ සිටියේ වුවද) ඇවිදීම පෘථිවිය මත ඇවිදිනවාට වඩා පහසු වනු ඇති බවයි. එනමුත් කලින් ද දැක්වූ පරිදි පෘථිවියේ සිට පැමිණෙන අභ්‍යවකාෂ යානා කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ගමනේදී අහිමි වූ මාංශ පේශි සහ අස්ථි යළි යථා තත්ත්වයට පත්කර ගත නොහැකි විය හැකිය. අඟහරු ග්‍රහයා මත ගත කරන විට (බොහෝ විට අවුරුද්දක් පමණ කාලයක්) මෙම මාංශ පේශි සහ අස්ථිය ප්‍රතිස්ථාපනය කිරීමට ඔවුන්ට නොහැකි නම් ඔවුන් ආපසු මහ පොළව වෙත පැමිණීමට නොහැකි වනු ඇත යන්න දැඩි අවධානයට යොමු වී ඇත්තකි.

එබැවින් විද්‍යාඥයෝ අඟහරු ග්‍රහයා වෙත මෙහෙයුම් ද ඇතුළුව දිගු කාලයක් තිස්සේ අභ්‍යවකාශ ගවේෂණයේ යෙදෙන ගගනගාමීන් නිරෝගීව තබා ගැනීම පිණිස ක්‍රම රාශියක් සොයා බලමින් සිටිති. ඔවුන් උත්සාහ කරන්නේ කෘතිම ගුරුත්වාකර්ෂණ උපකරණ නිර්මාණය කිරීම තුළින් ගගනගාමීන්ට පෘථිවිය මත පවතින පරිසර තත්ත්වයෙන් කොටසක් ඔවුන් සමඟ අඟහරු වෙත ගෙන යා හඉ දැයි සොයා බැලීමටය. වයසට යාමේදී අස්ථි හා මාංශ පේශි පුනර්ජනනය කිරීමට උපකාර පිණිස දනට පෘථිවියේ භාවිතා වන මාදිලියේ ‘කම්පන වේදිකා’ මේ සඳහා තවත් යෝජනාවක් විය හකිය.
මේ උපක්‍රම සියල්ලෙහි අපේක්ෂාව, අඟහරු ග්‍රහයා වෙත ගොස් ආපසු ඒම සඳහා වැයවන වසර දෙකක ගමනක් විඳදරාගැනීමටත්, වෙනත් ග්‍රහලෝකයක් වෙත අපගේ පළමු ගමන ‘ආපසු නො එන ගමනක් නොවන බවටත් සහතික වීමය.