පාංශුගෝලය සහ තීරණාත්මක කලාපය

Posted by

පෘථිවියේ ජීවයට පස ඉතා වැදගත් වේ. වර්තමානයේ පවතින පසෙහි ගුණාත්මක භාවය ශාක පරිසර පද්ධතිවල ස්වභාවය සහ සත්ව ජීවිතයට හා සමාජයට ආධාර කිරීමට භූමියේ ධාරිතාව තීරණය කරයි. වර්තමාන පාරිසරික අභියෝග බොහොමයක පාංශු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ජල දූෂණය හා දේශගුණික විපර්යාසයේ සිට ජෛව විවිධත්ව හානිය සහ මිනිස් ආහාර සැපයුම දක්වා ලෝකයේ පරිසර පද්ධති කෙරෙහි  පස සම්බන්ධයෙන් සිදු කෙරෙන ක්‍රියා බලපායි. මානව සමාජ වඩ වඩාත් නාගරීකරණය වන විට, අඩු පිරිසකට පස සමඟ සමීප සම්බන්ධතා ඇති අතර, පුද්ගලයන්ගේ සමෘද්ධිය සහ පැවැත්ම සඳහා පස මත යැපෙන බොහෝ ක්‍රම පිළිබඳ අවබෝධය නැති වී යයි. ඇත්ත වශයෙන්ම, අප පස මත යැපෙන ප්‍රමාණය අනාගතයේ දී තව තවත් වැඩි වෙනවා විනා අඩුවීමක් නම් සිදු වන්නේ නැත.

අපගේ පැවැත්මට සහ මෙම පෘථිවිය අප සමඟ බෙදා හදාගන්නා අනෙකුත් ජීවීන් සඳහා ප්රමාණවත් වාසස්ථාන නඩත්තු කිරීමටකෙටියෙන් කිවහොත්පාංශු විද්යාව පිළිබඳ අධ්යයනය වෙනකවර දාකටත් වඩා අද දින අතිශය වැදගත් කාරනාවක් බවට පත්ව තිබේ.

මෙම පසුබිම තුල පස ගැන විද්‍යාත්මක දැනුමක් ඇතිකර ගැනීම අප කාටත් වැදගත්ය. thathu.com ගෙන එන මෙම ලිපි මාලාවේ අරමුණ එම විද්යාත්මක දනුම කාටත් තේරෙණ ආකාරයට ඉදිරිපත් කිරීමයි — සංස්කාරක

Earth's Spheres

පාංශුගෝලය සහ තීරණාත්මක කලාපය

උසැති තුරු මුදුන් සහ ගංගාවලට දියවර සපයන භූගත ජල මාර්ග අතර රැඳුණු පෘථිවියේ පිටත ස්ථර විද්‍යාඥයන් හඳුන්වන්නේ “තීරණාත්මක කලාපය” (The Critical Zone) නමින්. ද්‍රව්‍ය සහ ශක්තිය ගලනයට සහ ක්‍රියාකාරීව චක්‍රීකරණයට ලක්කරමින් පෘථිවියේ ජීවයේ පැවැත්මට උපකාරී වෙන මේ කලාපයට පරිසරය පිළිබඳ පර්යේෂණවලදී වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. මේ තීරණාත්මක කලාපය තුළ පස සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනවා. පසේ වැදගත්කමට මූලිකවම දායක වන්නේ පාෂාණ (ශිලාගෝලය), වාතය (වායුගෝලය), ජලය (ජලගෝලය) සහ ජීවීන් (ජෛවගෝලය) අතර අතුරුමුහුණතක් ලෙස එය ඉටුකරන කාර්යභාරයයි. ලෝකයේ සංකීර්ණම සහ ඵලදායීම පරිසර පද්ධති බිහිවන්නේ ඉහත සඳහන් අංග හතරම එකිනෙක හා සම්බන්ධ වන තැන්වලදි. නොගැඹුරු ජලය පොළොව හා වාතය සමග ගැටෙන ගං මෝය එවැනි පරිසරයකට එක් උදාහරණයක්. පස, නැතිනම් පාංශුගෝලය තවත් එක උදාහරණයක්. (1.12 රූපය බලන්න)

පස අන්තර් මුහුණතක් ලෙස හඳුන්වද්දී පරිමාණය අනුව එයින් හැඟවෙන අදහස වෙනස් වෙනවා. පරිමාව කිලෝමීටර ගණනින් සලකද්දී (1.12A රූපය බලන්න) පස් වැසි ජලය ගංගාවලට යොමු කරන අතර යටි පාෂාණවල අඩංගු ඛනිජ මූලද්‍රව්‍ය සාගර වෙත ප්‍රවාහනය කරනවා. ඒවා ගෝලීය පරිමාණයෙන් වායුගෝලයේ සමතුළිතතාවය පවත්වාගෙන යාමට සැලකිය යුතු මට්ටමින් දායක වෙනවා.. මීටර කිහිපයක පරිමාණය සැලකීමේදී (1.12B රූපය බලන්න)පස ඝණ පාෂාණ සහ වාතය අතර සංක්‍රාන්ති කලාපයක් ගොඩනගමින් ශාක මුල්වලට අවශ්‍ය ද්‍රවමය ජලය සහ ඔක්සිජන් වායුව රඳවා තබාගන්නවා.

පෘථිවියේ කබොළේ අඩංගු  ඛනිජ මූලද්‍රව්‍ය වෘක්ෂළතා වෙත ප්‍රවාහනය කරනවා. එය භෞමික ශාක සහ සත්ව මළ සිරුරුවලින් ඉතිරි වුණු කාබනික කොටස් සැකසුමට හෝ රඳවා තබාගැනීමටත් දායක වෙනවා. මිලිමීටර ගණනක පරිමාණයකදී (1.12C රූපය බලන්න) වායු ස්වසනයේ යෙදෙන ජීවීන්ට සහ ජලජ ජීවීන්ට විවිධාකාර ක්ෂුද්‍ර වාසස්ථාන සැපයීම, ශාක මුල්වලට ජලය සහ පෝෂක සපයන සැපයුම් මාර්ගයක් ලෙස කටයුතු කිරීම, ජෛවරසායනික ප්‍රතික්‍රියා දහස් ගණනකට පෘෂ්ඨයක් සහ ද්‍රාවන බඳුන් සැපයීම පසේ කාර්යයන් අතරට අයත්.  අවසන් වශයෙන් මයික්‍රොමීටර හෝ නැනෝමීටර කිහිපයක පරිමාව තුළදී (1.12D රූපය බලන්න) පස රසායනික ප්‍රතික්‍රියා සඳහා අච්චුවක් ලෙස ක්‍රියාකරමින් ජලය සහ ද්‍රාව්‍යයන් සමග අන්තර්ක්‍රියා කරන, විධිමත්, සංකීර්ණ කාබනික සහ ඛනිජමය පෘෂ්ට සපයනවා. එහි පවතින ක්ෂුද්‍ර ඛනිජ අංශු බැක්ටීරියාවක සෛල බිත්තියේ සිට ප්‍රෝටීන සහ සම්පිණ්ඩිත ජල අණු දක්වා දේ ආකර්ශනය කරගන්නා විද්‍යුත් චුම්භක ආරෝපිත කලාප ලෙස ක්‍රියාකරනවා.



Soils and Humans | SpringerLink

පසෙන් හටගන්නා බෝවන රෝග

පසෙහි වාසය කරන මිලියන ගණනක ජීවීන් අතරින් සුළුතරයකට මිනිසා රෝගී කරන්නත්, මරණය පවා අත්කර දෙන්නත් හැකියාව පවතිනවා. ඒ අතරින් දරුණුම රෝගකාරක බැක්ටීරියා ලෙස පිටගැස්ම ඇතිකරන Clostridium tetani බැක්ටීරියාවත් ඇන්ත්‍රැක්ස් රෝගය ඇතිකරන Bacillus anthracis බැක්ටීරියාවත් හඳුන්වන්න පුළුවන්. Bacillus anthracis බැක්ටීරියාවේ බීජාණුවලට දශක ගණනක් වුණත් පස තුළ නිරුපද්‍රිතව පැවතීමේ හැකියාව තිබෙනවා.  පසෙහි වෙසෙන මෙවන් රෝගකාරක බැක්ටීරියා, අවම සනීපාරක්ෂක තත්වයන් යටතේ සිදුවන දරු උපත් නිසා ඇතිවන මාතෘ සහ ළදරු මරණද ඇතුළුව, වාර්ෂිකව මිලියන ගණනකට මරු කැඳවනවා. ඒ තරම්ම සුලබ නොවුණත්, පසෙහි වෙසෙන Blastomyces ගණයට අයත් දිලීරයක් සමේ සීරීමකට ආසාදනය  වීමෙන්  හෝ ස්වසනය හරහා පෙනහළු තුළට ඇතුළු වීමත් මාරාන්තික රෝගයකට හේතු වෙනවා. බ්ලැක්ටොමයිකොසිස් (Blastomycosis) රෝගය වැළඳීමට බොහෝවිට හේතු වන්නේ අවට පරිසරයේ පසෙහි තත්වය වුණත් එහි රෝග ලක්ෂණ වන (නියුමෝනියාවට සමාන) පෙනහළු ආසාදනත්, සමෙහි හටගන්නා තුවාලත් මතු වීමට  රෝගකාරකයට නිරාවරණය වූ දිනයේ සිට මාස ගණනාවක් ගතවිය හැකි නිසා රෝග නිධානය හඳුනාගැනීම අසීරුයි. ක්‍රිප්ටොකොකෝසිස් කියන, මොළයට හා (නියුමෝනියාවට සමානව) පෙනහළුවලට හානි කරන අතිශයින්ම විරල රෝගය හටගන්නේ Cryptococcus කියන පසෙහි වසන දිලීරයේ බීජාණු ආඝ්‍රාණය වීමෙන්. වට පනුවන්, කොකු පනුවන් වැනි පසෙහි වසන කුඩා සතුන් සහ ඒක සෛලික ජීවීන් නිසාත් මිනිසාට විවිධ රෝගාබාධ හටගන්නවා. Cryptosporidium කියන ඒකසෛලික ජීවියා ව්‍යාප්ත වුණු පස හෝ ගොම පොහොර පානීය ජලයට මුසු වීමෙන් නගරවාසීන් දහස් ගණනින් රෝගී වෙන්නත්,  ඉතාමත් කලාතුරකින් මරණයට පත් වීමටත් ඉඩ තිබෙනවා. කාන්තාර හරහා හමා යන වියළි සුළඟට ගසා ගෙන ගොස් ලොව පුරාම පැතිරෙන සියුම් දූවිලි අංශු නිසා ඇතිවන රෝගාබාධවලටත් නිසි අවධානයක් යොමු වී නැහැ. වාතය හරහා සංසරණය වන දූවිලි අංශු පෙනහළුවල පටකවල සීරීම් ඇති කරමින් පිළිකා වැළඳීමේ අවධානම වැඩි කරනවාට අමතරව  මහද්වීප අතර ගමන් කරද්දී පවා සජීවීව පැවතිය හැකි රෝගකාරක විෂබීජත් ප්‍රවාහනය කරනවා.

පසෙහි රෝග සුව කිරීමේ හැකියාව

අපි රබර් අත්වැසුම් පළඳින්නේ නැතිව ගෙවත්තේ හෝ වන ලැහැබවල්වල ගැවසීමෙන් වැළකිය යුතු බවක් ඉහත විස්තරයෙන් කොහෙත්ම අදහස් වෙන්නේ නැහැ (නමුත් ඔබේ අතේ විවෘත තුවාලයක් තිබෙනවා නම් අත්වැසුම් පැළඳීම ඉතාම උචිතයි.) සැබවින්ම, බහුතරයක් පස්වර්ගවල පවතින සමබරතාවය  මානව යහපැවැත්ම වෙනුවෙන් අත්‍යවශ්‍ය පාරිසරික සේවාවන් ඉටුකරන ජීවීන්ගේ පැවැත්මට වාසිදායකයි. උදාහරණයක් දක්වනවා නම් Paramecium නමින් හැදින්වෙන ඒකසෛලික ජීවියා ඉහත විස්තර කළ Cryptococcus ජීවීන්ව මහත් ගිජුකමින් ගිලදමනවා. සත්‍ය වශයෙන්ම පස අපට රෝග ඇතිකිරීමට වඩා රෝග සුව කිරීම අතින් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනවා.

ශීඝ්‍රයෙන් පැතිර යමින් අපේ ආදි මුතුන්මිත්තන්ට මරු කැදවූ රෝගාබාධ රැසක් වළක්වාගැනීමට, මැඩ පැවැත්වීමට හෝ සුවපත් කිරීමට උපකාරී වෙන්නේ පස මත වැඩෙන ශාක බව සමාජයේ බහුතරයක් දෙනා දැනුවත් නැහැ. ටැක්සොල් (පැක්ලිටැක්සෙල්) ඖෂධයේ කතාවෙන් ඒ බව මනාව පැහැදිලි වෙනවා. මේ මිළ අධික පිළිකානාශක ඖෂධය මුල්ම වරට සොයාගැනුණේ ඔරිගන් සහ වොෂින්ටන් ප්‍රාන්තවල වෙරළබඩ පසෙහි වැඩෙන දුලබ ගණයේ යූ ගසක පොත්තෙන්. මේ ඖෂධයට තිබුණු අධික ඉල්ලුම නිසාම, විද්‍යාඥයන් අනුක මාධ්‍යයක ජාන තාක්ෂණය ඔස්සේ වෙනත් ජීවීන් යොදාගෙන එය නිපදවන ක්‍රමයක් සොයාගන්නා තුරුම,  වර්ගයේ යූ ගස් මිලියණ ගණනින් කපා දැමුණා.

පසෙහි වසන ක්ෂුද්‍ර ජීවීන් ඍජුවමත් පෙනිසිලින්, සිප්‍රොෆ්ලැක්සින්, නියොමයිසින් වැනි අප දිවි රකින ප්‍රතිජීවක ඖෂධ සපයන්න දායක වෙනවා. පාංශු බැක්ටීරියා (උදා: Streptomyces) සහ දිළීර (උදා:Penicillium) ඔවුන් සමග තරඟ කරන ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව සටන් කිරීමේ උපක්‍රමයක් ලෙස මෙවැනි සංයෝග නිපදවනවා. පසෙහි මැටිවලින් අඹරාගත් ආලේපන ඉපැරණි වෛද්‍යවිද්‍යාවේදී චර්ම රෝග සුව කිරීමටත්, ආසාදනවලට එරෙහිව සටන් කිරීමටත් සාර්ථකව යොදාගැනුණේ කලක සිටයි. සෞඛ්‍යාරක්ෂිත පස් වර්ග සමග නිරතුරුව ගැටීමත් (උද්‍යාන පාලකයන් මොන තරම් සෞඛ්‍යසම්පන්නද කියා සිතා බලන්න) පසෙහි වසන හිතකර ක්ෂුද්‍ර ජීවීන් හෝ වාෂ්පශීල සංයෝග ආඝ්‍රාණය කිරීම මිනිස් මොළයේ රසායන සමග අන්තර්ක්‍රියා කිරීමෙන් තෘප්තිමත් බවක් දනවන බව පර්යේෂණ මගින් පෙන්නුම් කොට තිබෙනවා. (පසෙහි වසන Mycobacterium vaccae බැක්ටීරියාවට දක්වන ප්‍රතිචාරයක් ලෙස මොළයේ සෛල වලින් නිකුත් කෙරෙන සෙරොටොනින් ප්‍රමාණයේ සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරන බව පර්යේෂණ වාර්තා ගණනාවක සඳහන් වී තිබෙනවා.) අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිවල ක්‍රියාකාරීත්වයටත්, අපේ යහපැවැත්ම වෙනුවෙනුත් පසෙහි වෙසෙන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සැපයෙන දායකත්වයත් පරිසර පද්ධතියකට පසෙන් සැපයෙන සේවාවන් ලෙස සැලකිය යුතු වෙනවා.


පරිවර්තනය කොට සකස්කළේ: අරුන්දි ජයසෙකර

The Nature and Properties Of Soils Fifteenth Edition නම් ප්‍රකට පෙළපොත ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.