පරිණාමය ගැන කුරු ජීවීන් අපට පවසන දේ
මැඩගස්කරයේ “කුරු” (ක්ෂුද්‍රරූපී) ජීවීහු බොහෝ සිටිති. මොවුන් අතරේ මෑතකදී සොයාගත් (ක්ෂුද්‍ර බවට පත් වූ = miniaturised) ගෙම්බන් සමූහයක් මෙන්ම මේ වසර මුලදී සොයා ගනු ලැබූ කඩදාසි ඇමුණුමක(paper clip) ප්‍රමාණයේ Brookesia nana නොහොත් නැනෝ-බෝදිලිමන් ය. මැඩගස්කරය කෙරෙහි අවධානය යොමු කරන උභයජීවී හා උරග විශේෂඥ මාක් ඩී. ෂර්ස් (Dr. Mark D. Scherz) මෙම සතුන් ක්ෂුද්‍ර බවට පත්වීමට හේතු මොනවාදැයි මෙම ලිපියෙන් පැහැදිලි කරයි.

මෑතකදී සොයාගෙන ඇති ක්ෂුද්‍ර බවට පත් විශේෂ මොනවාද?
මැඩගස්කරය කුඩා සතුන් සඳහා ප්‍රකටය; නිදසුනක් ලෙස, පෘථිවියේ කුඩාම ප්‍රයිමේට් වන මූසික උණහපුල්වා(mouse lemurs) බොහෝ ප්‍රසිද්ධ විශේෂයෙකි.. මැඩගස්කරයේ විවිධාකාර වූ සුවිශේෂී ක්ෂුද්‍ර සතුන් — විශේෂයෙන් උණහපුලුවන් හා ගෙම්බන් — සිටිනා බවට ලැබෙන තොරතුරු වැඩිවෙමින් පවතී. එම මාදිලි තුළ පර්යේෂකයන් විසින් මෑත වසරවලදී කුඩා විශේෂ විශාල ප්‍රමාණයක් සොයාගනු ලැබ ඇත.
2017 දී පර්යේෂකයන් විසින්, වැඩිහිටි සතෙකුගේ ශරීර ප්රමාණය පවා සෙන්ටිමීටර 1ක් වත් දිග නැති ගෙම්බන් කණ්ඩායමක් වන Stumpffia විශේෂ 26 ක් ගැන විස්තර ඉදිරි පත් කෙරිණ. mei ගෙම්බෝ ලෝකයේ කුඩාම ගෙම්බන් අතුරෙන් එකකි.
ඉන්පසුව, 2019 දී, මගේ සගයන් හා එක්ව මා පෙන්වා දුන්නේ මැඩගස්කරයේ පමණක් දක්නට ලැබෙන පටු මුඛ සහිත ගෙම්බන් සමූහයක් වන cophyline microhylids කාණ්ඩ කිහිපයක් හුදකලාව ක්ෂුද්‍ර බවට පත්ව ඇති බවයි. මෙයින් එක් කණ්ඩායමක් මුළුමනින්ම නව ප්රභේදයකි. අපි ඔවුන්ගේ නමට යෝග්‍ය “mini යන්න එක් කළෙමු: Mini mum, Mini scule, සහ Mini ature යන විශේෂ වශයෙනි.
ඉතා ක්ෂුද්‍ර නව බෝදිලිමන් සමහරක් සොයාගැනීමට ද අපි සමත් වුනෙමු. මුළු දිග මිලිමීටර් 32 ක් පමණක් දක්වා වැඩෙන බෝදිලිමෙකු — එනම්, Brookesia tedi ගැන 2019 දී අපි විස්තර කළෙමු. ඉන් අනතුරුව, 2021 මුල් භාගයේ දී, අප විස්තර කළ Brookesia nana වැඩිහිට් පිරිමි සතෙකු දිගින් හුදෙක් මිමි. 21.6 ක් සහ වැඩිහිටි ගැහැණු සතෙකු මිමි.28.9ක් තරම් ක්ෂුද්‍ර, බෝදිලිමන් අතර කුඩාම බෝදිලිමාය.

ඔවුන් එතරම් ක්ෂුද්‍ර ආකාරයට පරිණාමය වී ඇත්තේ ඇයි?
මෙම සතුන් මෙතරම් කුඩා අන්දමට පරිණාමය වීමට විවිධ හේතු ගණනාවක්ම තිබිය හැකිය. නිදසුනක් වශයෙන්, ඔවුන්ට කලින් ලබාගැනීමට නොහැකිව තිබූ නව සම්පත් රිසි සේ බුක්ති විඳීමට ඔවුන්ට හැකිවනවා විය හැකිය. මෙම සම්පත් නව ආහාර මූලයන් විය හැකිය, නො එසේ නම් විශාල සතුන්ට ප්‍රවේශ විය නොහැකි කොළ සහ ගස් මුල් අතර ඇති කුඩා අවකාශය ගවේෂණය කිරීමට ඇති හැකියාව විය හැකියි..
වෙනත්, එක සමාන විශේෂයන් සමඟ තරඟකාරිත්වය හේතුවෙන් ද මෙයට මුල පිරෙනවා විය හැකිය. විශේෂයන්, විවිධ ප්‍රමාණවල ප්‍රවර්ග අනුව බෙදී සිය සම්පත් කොටස් කර බෙදා හදාගෙන පරිභෝජනය කිරීමෙන් සෘජු තරඟකාරිත්වය වළක්වා ගත හැකිය.
මෙලෙස කුඩා බවට පත් කිරීම සඳහා කිසිසේත්ම ප්‍රබල බලවේගයක් හෝ තනි වරණීය බලයක් නොතිබිය හැකි නමුත්, ඒ වෙනුවට එය හුදෙක් ගහනයේ අහඹු ලෙස වෙනස් වීමේ ක්‍රියාවලියක් විය හැකිය. තවද, එය කාලයත් සමඟ සියලු ජීවීන් අතරේ සිදු වේ. කුඩා සතුන් කුඩා වන්නට වන්නට වෙනත් ගහනයන්ගෙන් කැපීයාම නිසා ගහන අවරෝධක මගින් මෙය තවදුරටත් ප්‍රේරණය වේ.

මේ සතුන් ක්ෂුද්‍ර ආකාරයට පරිණාමය වී ඇත්තේ ඇයි? යන ප්‍රශ්නයට සරලම පිළිතුර නම්, කිසිම හේතුවක්, සාධකයක් ගැන අප තවම හරිහැටි නොදන්නා අතර බොහෝ විට එය සාධකවල එකතුවක් විය හැකිය යන්නය. හේතු දක්වනවාට වඩා කුඩාකරණයේ සහසම්බන්ධතා මොනවාදැයි කීම අපට වඩා පහසුය — එම සම්බන්ධතා, කුඩාකරණයට සහගාමීව ඇති ගතිලක්ෂණ, හැසිරීම් සහ පරිසර විද්යාත්මක සාධකයන්ගේ එකතුවකි.
මැඩගස්කරයේ කුඩා ජීවීන් අසාමාන්ය ලෙස විශාල සංඛ්යාවක් සිටීද?
උරගයින් සහ උභයජීවීන් ගැන පමණක් කථා කරනවා නම් (ඉහත ප්‍රශ්නයට) පිළිතුර සමහර විට ‘විය හකිය’ යන්න වුවත්, නිශ්චිතවම පැවසීම දුෂ්කර ය. නිදසුනක් ලෙස අග්නිදිග ආසියාවේ කුඩා ගෙම්බන්ගේ විශාල විවිධත්වයක් ඇත, නමුත් කුඩා බවට පත් කිරීමෙ ප්රධාන සිදුවීම් ගණන එම කලාපයේ මැඩගස්කරයට වඩා වැඩි හෝ අඩු ද යන්න නිශ්චිතවම පැවසීම දුෂ්කර ය.
සලමන්දරාවන්(salamanders), ගෙම්බන්, සහ කටුස්සන් ඇතුළු කුඩා උභයජීවීන් සහ උරගයින් බහුලව සිටින මධ්‍යම හා දකුණු ඇමරිකාවටද එය එසේම වේ.
අවසාන වශයෙන්, කුඩා උරගයින් සහ උභයජීවීන් සංඛ්යාව අනුව මැඩගස්කරයට ලෝකයේ ඉහළම තැන හිමි නොවිය හැකි වුවත්, මා නම් සිතන්නේ එය කුඩා උරගයින් සහ උභයජීවීන්ගේ පරිණාමය අධ්යයනය කිරීම සඳහා සුවිශේෂී ,ආකරෂණීය ස්ථානයක් ලෙස කැපී පෙනෙන අතර එවැනි අධ්‍යයන සම්බන්ධයෙන් අප තවමත් ඉන්නේ ආරම්භකා අවස්ථාවක බවයි.
පරිණාමීය ක්‍රියාවලීන් ගැන මෙම සතුන්ගේ කුඩා බව අපට පවසන්නේ කුමක්ද?
මෙය මගේ සිත වඩාත් ඇදගන්නා සුලු ප්‍රශ්නයකි. කුඩාකරණයෙන් අපට කායික විද්‍යාව, පරිණාමය, සහ ජෛව යාන්ත්‍ර විද්‍යාව(එනම් ජීවීන්ගේ චලනය හා ක්‍රියා කරන ආකාරය) පිළිබඳ සියලු ආකාරයේ රසවත් දේවල් ඉගෙන ගත හැකිය.
නිදසුනක් ලෙස, කුඩාකරණයේ පරිණාමය පරිසර විද්‍යාවේ වෙනස්කම් සමඟ සම්බන්ධ වන රටාවක් ඇති බවක් පෙනී යයි. ඔවුන්ගේ මුතුන් මිත්තන් භූමිවාසීන් ද, රුක්වාසීන් ද යන්න නොසලකා මැඩගස්කරයේ සිටින කුඩාකරණය වූ ගෙම්බන් සියල්ලම පාහේ භෞමිකය(භූමිවාසීන්ය).
කුඩා බවට පත් ගෙම්බන්, කුඩාකරණ ක්‍රියාවලිය පුරාවටම රුක්වාසීව පැවතීමට බලපෑ එකම අවස්ථාව වන්නේ Pandanus වැනි ඇතැම් ශාක පත්‍රවල පාමුල තිබෙන ජල කුහරවල ප්‍රජනනය කිරීමෙ අවස්ථාවයි. මැඩගස්කරයේ පටු මුඛ(microhylid) ගෙම්බන් බොහෝ දුරට කුඩාකරණය වී ඇත්තේ ශිශුකෲපීතාව (ළදරුකරණය=paedomorphosis) ලෙස දක්වෙන යෞවනය සමාන ලක්ෂණ රඳවා තබා ගැනීමෙන් බව අපි ඉගෙන ගෙන ඇත්තෙමු. නිදසුනක් වශයෙන් දක්වතොත්, ඔවුන් සියල්ලන්ටම ඔවුන්ගේ ශරීර ප්‍රමාණයන් හා සාපේක්ෂව විශාල හිස් සහ ඇස් ඇත.

කෙසේනමුත්, Rhombophryne proportionalis නම් එක් විශේෂයක් සමානුපාතික වාමනභාවයෙන් කුඩා වී ඇත. එම විශේෂයට, දළ වශයෙන් කුඩා බවට පත් නොවූ Rhombophryne විශේෂයට ආසන්න අනුපාතයන් ඇත. එබැවින්, මැඩගස්කර ගෙම්බන් කුඩාකරණය වීමේ සාමාන්‍ය ක්‍රමය වාමනභාවයවිය හැකි නමුත්, එය කිසිසේත් ඔවුන් කුඩාකරණය කළ හැකි එකම ක්‍රමය නොවේ.
තවත් සිත්ගන්නාසුලු සොයාගැනීමක් නම්, කුඩාකරණය විවිධ පරම්පරා තුළ නැවත නැවතත් පරිණාමය වී ඇති බවයි. ගෝලීය පරිමාණයෙන් ගත් කල ගෙම්බන් තුළ මෙය දැනටමත් පැහැදිලිව පෙනෙන්නට තිබුණි (නිවර්තන කලාපය පුරාවට කුඩාකරණය වූ ගෙම්බන් පෙළපත් ඇත). නමුත් මැඩගස්කරයේ එක් ගෙම්බන් කණ්ඩායමක් අතරේ මෙය පස් වතාවක් හෝ වැඩි ගණනක් හුදකලාව සිදුවී ඇත. කුඩාකරණයේ පරිණාමය නිතර, නිතර සිදුවිය හැකි අතර ඇතැම් තත්වයන් යටතේ වාසිදායක විය හැකි බව මෙයින් අපට දැක්වේ.

කුඩාකරණය වූ බෝදිලිමන් පිළිබඳ අපගේ හැදෑරීම් වලදී පෙණී ගියේ, මෙම කටුස්සන් හැකිලෙන විට, ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය සාපේක්ෂ ප්‍රමාණයෙන් වැඩි වන බවයි. අපි හිතන්නේ මෙයට හේතුව ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා විශාල වීමයි. සාර්ථක ප්‍රජනනය සඳහා පිරිමි ලිංගේන්ද්‍රිය ගැහැනු සතා සමඟ ඈඳිය යුතු නිසාත්, ගැහැනු සතා පිරිමිසතා තරම් කුඩා නොවන නිසාත්, සිය ශරීර ප්‍රමාණය කුඩාවෙමින් පරිණාමය වූයේ නමුත් පිරිමි සතුන්ගේ ලිංගේන්ද්‍රිය ගැහැනු සතාගේ ප්‍රමාණයට සමානුපාතිකව සිටීමට හැකි වන සේ (කුඩාවීම) සීමා වී ඇත.
කුඩා පෘෂ්ඨවංශී අධ්‍යයන ක්ෂේත්‍රයේ විවෘත ප්‍රශ්න සිය ගණනක් ඇත. මෙම ගති ලක්ෂණය කෙතරම් පුළුල් හා පොදුද, විශේෂ කීයක් තුළ එය සිදුවී ඇත්ද, සහ කුඩාකරණය වූ විශේෂ කීයක්ද යන්න තවමත් විස්තර කර නොමැති ද යන්න වටහා ගැනීම අප ආරම්භ කළා පමණකි. . මෙම කුඩා පෘෂ්ඨවංශීන් අතර සිත්ගන්නාසුලු පර්යේෂණ සඳහා සලකිය යුතු අවකාශයක් ඇති අතර, ඊළඟට අප සොයා ගන්නේ කුමක් දැයි දැකීමට මම පුල පුලා බලා සිටිමි.
The Conversation(Global Perspectives) හි පළ වූ What Madagascar’s amazing mini creatures tell us about evolution යන ලිපිය ඇසුරෙනි