එන්නත් අපට ගෙන එන වාසි
එන්නත් මගින් වලක්වා ගත හැකි බොහෝ රෝග එක්සත් ජනපදයේ දැන් විරල හෙයින්, ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා ගැනීම අවශ්‍ය දැයි සමහරු කල්පනා කරති. පිළිතුර ඔව් යන්නයි. බෝවන රෝග බොහොමයක් එක්සත් ජනපදයෙන් මුළුමනින්ම පාහේ අතුරුදන්ව ඇතත් ඉක්මනින් නැවත මතු විය හැකිය. රෝග ඇති කරන විෂබීජ තවමත් පවතින අතර එන්නත මගින් ආරක්ෂාව නොලබන පුද්ගලයින්ට ඒවා ආසාදනය විය හැකිය.
සංචාරකයින්, එක් රටක සිට තවත් රටකට නොදැනුවත්වම රෝග ගෙන යන බැවින්, එක්සත් ජනපදයේ අළුතෙන් රෝග ව්‍යාප්තියක් තවත් එක ගුවන් ගමනකින් පමණක් පසුව හට ගත හැකිය. (රෝගයක්) රටට ඇතුල්වන තනි පිවිසුම් ස්ථානයක සිට බෝවීමට පටන් ගන්නා රෝගයක් , රටේ අනාරක්ෂිත පුද්ගලයින් අතර ඉක්මනින් පැතිර යා හැකිය.
රෝග මගින් දිගින් දිගටම ඇතිවන තර්ජනය, මහජන සෞඛ්‍ය නිලධාරීන් එන්නත් කිරීම නිර්දේශ කිරීමට එක් හේතුවක් පමණි. එන්නත් මගින් පුද්ගලයන්ට, ප්‍රජාවන්ට සහ ලෝක ජනගහනයට ප්‍රතිලාභ රැසක් ලබා දේ.
ආරක්ෂාව පිළිබඳව
එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව ගැන බොහෝ දෙනෙකුට ප්රශ්න සහ සැලකිල්ලක් ඇත. සුලභව ඇති භීතියක් නම් එන්නත් මගින් බරපතල අතුරු ආබාධ ඇති විය හැකිය හෝ රෝග ඇති විය හැකිය යන්නය. ඇත්ත වශයෙන්ම, එන්නත් අතිශයින්ම ආරක්ෂිතයි. ඒවා භාවිතා කිරීමට පෙර, එ. ජ. ආහාර හා ඖෂධ පරිපාලනය (Food and DRug Administration – FDA) විසින් නියම කර ඇති දැඩි ආරක්ෂක ප්රමිතීන් සපුරාලිය යුතුය. මෙම ප්රමිතීන් සපුරාලීම සඳහා අවුරුදු 3 ක් දක්වා දීර්ඝ සංවර්ධන ක්රියාවලියක් අවශ්ය වන අතර ඉන් අනතුරුව අදියර තුනක සායනික අත්හදා බැලීම් අවශ්‍ය වේ.
බලපත්ර හිමිකරගෙන එන්නත් සාමාන්ය ජනතාව වෙත ලබා දීමෙන් පසු, FDA සහ රෝග පාලන හා වැළැක්වීමේ මධ්යස්ථාන (Centers for Disease Control and Prevention = CDC) ඒවායේ(එන්නත්වල) ආරක්ෂාව නිරන්තරයෙන් නිරීක්ෂණය කරයි. එපමණක් ද නොව, එන්නත් වෛද්යවරුන්, විද්යාඥයන් සහ මහජන සෞඛ්ය නිලධාරීන්ගේ අඛණ්ඩ පර්යේෂණ, සමාලෝචන හා ප්‍රසාදන හෙවත් පැහැදුම්වලට භාජනය වේ.
රෝගයක් වළක්වා ගැනීම සඳහා භාවිතා කරන එන්නතකින් ඔබට හානියක් වීමේ සම්භාවිතාවට වඩා රෝගයකින් හානියට පත්වීමේ සම්භාවිතාව බෙහෙවින් වැඩිය.

ඵලදායක බව
එන්නත් ඉතා ඵලදායී වේ. ළමා අවධියේ ලබා දෙන එන්නත් බොහොමයක් ළමුන්ගෙන් සියයට 85 ත් 99 ත් අතර ප්රමාණයකට ඵලදායීව ආරක්ෂාව සපයයි. සමහර අවස්ථාවල එන්නතක් ලබා දෙන්නේ අර්ධ ප්රතිශක්තියක් පමණි. එය රෝගය වළක්වන්නේ නැත, නමුත් එය බොහෝ විට රෝගය පවතින කාලසීමාව සහ රෝග ලක්ෂණ වල බරපතලකම අඩු කරයි.

දුක් විඳීම හා ආබාධිතභාවය අඩුවීමක්
මාරාන්තික වීමට අති ඉඩ කඩට අමතරව, බොහෝ බෝවන රෝග නිත්‍ය හානියක් ගෙන දිය හැකිය. පෝලියෝව හේතුවෙන් අංශභාගය ඇති විය හැක. මෙනින්ජයිටිස්(මෂ්තිෂ්ක ප්‍රදාහය) බිහිරි භාවයට හේතු විය හැක. සරම්ප මගින් මොළයට හානි හා මරණය සිදුවිය හැකිය. හෙපටයිටිස් අක්මාවට හානි කළ හැකිය. එන්නත් මගින් මෙම බරපතල සංකූලතා වළක්වනු ලබේ.
උදාහරණයක් ලෙස, Haemophilus influenzae වර්ගයේ b (Hib) එන්නත ගන්න. එන්නත කරණයට පෙර, මෙම බැක්ටීරියාව මගින් සෑම වසරකම ඇමරිකානු ළදරුවන් හා ළමුන් තුළ 2O, OOO අතරේ බරපතල ආසාදන ඇති විය. Hib මෙනින්ජයිටිස් හේතුවෙන් වාර්ෂිකව ළමුන් 6OO ක් මිය යන අතර දිවි ගලවා ගත් බොහෝ දෙනෙකුට බිහිරි බව, ග්‍රස්ථය හෝ මානසික ආබාධ ඇතිවිය. ප්රතිශක්තිකරණය මගින් Hib රෝගය වැළඳීමේ ප්රතිශතය සියයට 99 කින් පමණ අඩු වී තිබේ.
ප්‍රජා සෞඛ්‍යය
ප්‍රතිශක්තිකරණය ඔබේ ප්‍රජාවේ සෞඛ්යය ද ආරක්ෂා කරයි. ඕනෑම ප්‍රජාවක, එන්නත ලබා නොදිය යුතු, නොගත යුතු සුළු පිරිසක් සොයා ගත හැකිය. ඇත – නිදසුනක් වශයෙන්, එන්නතක අඩංගු ද්රව්යයකට ආසාත්මිකතාවක් දක්වන හෝ ඇතැම් එන්නත් බලරහිත කරන, වළක්වාලන තත්ත්වයන් සහිත පුද්ගලයින් දැක්විය හැකියි. තමන්ට රෝගය බෝ නොවීම ගැන විශ්වාශය තැබීමට මෙම පුද්ගලයින්ට සිදුව ඇත්තේ අන් අයගෙන් බෝ නොවෙතැයි යන කාරණාව මතයි.

ප්‍රජාවක සිටින පුද්ගලයින්ගෙන් සියයට 95 ක් ප්‍රතිශක්තිකරණයට ලක්වුවහොත්, අනාරක්ෂිත පුද්ගලයින් විෂබීජයට නිරාවරණය වීමේ ඉඩකඩ අඩුය, එබැවින් ඔවුන්ට ආසාදනය වීමේ අවදානම අඩුය. මෙය සමූහ ( herd immunity) ප්‍රතිශක්තිය ලෙස හැඳින්වේ.
ලොව පුරා රෝග තුරන් කිරීම
ප්‍රතිශක්තිකරණය එක් නගරයකට, එක් රටකට සහ එක් පරම්පරාවකට වඩා වැඩිය්න් ආරක්ෂා කරයි. එහි ප්‍රතිලාභ ලොව පුරාවට, අනාගතය දක්වා ව්‍යාප්ත විය හැකිය. ප්‍රතිශක්තිකරණ වැඩසටහනක දිගුකාලීන ඉලක්කය වන්නේ රෝගයක් මුළුමනින්ම තුරන් කිරීමයි. අවම වශයෙන්, එක් අවස්ථාවකදී හෝ මෙම ඉලක්කය යථාර්ථයක් බවට පත්ව ඇත. වසූරිය ලොව පුරා තුරන් කිරීම නූතන වෛද්‍ය විද්‍යාවේ(එන්නත් වැඩ සටහනෙහි) සාර්ථක බව දැක්වෙන කතාවකි.
වසූරිය සියවස් ගණනාවක් තිස්සේ මිනිස් වර්ගයාට ව්‍යසනකාරී විය. එය ගෝලීය මහා වසංගත(pandemics) ලෙස පැතිර ඇති අතර එයට ගොදුරු වූවන්ගෙන් සියයට 3O ක් පමණ මිය ගියේය. මෙම රෝගය දරුණු හිසරදය, උණ සහ රතු පැහැයෙන් යුත් විසප්පු බිබිලි සහිත දද ඇති කළ අතර එමඟින් දිවි ගලවා ගත් අයගේ සිරුරී අශෝභන කැළැල් ඇති විය. රෝගයෙන් තුනෙන් එකක් පමණ කුණීත ආසාදනයෙන් අන්ධ විය.

ගව වසූරිය(cowpox) – වසූරිය හා සමාන නමුත් සාමාන්යයෙන් හානිකර නොවන වෛරසයක් වන ගව වසූරිය වෛරසය පුද්ගලයන්ට එන්නත් කිරීමෙන් වසූරිය වැළඳීමෙන් වලක්වන බව 18 වන ශතවර්ෂයේ අවසානයේදී, ඉංග්රීසි වෛද්යවරයකු වන එඩ්වඩ් ජෙනර්, සොයා ගත්තේය. වසූරිය වැළැක්වීම සඳහා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ව්යාපාර දියත් කරන ලදී. වසූරිය තුරන් කිරීම සඳහා 1967 දී ලෝක සෞඛ්ය සංවිධානය (WHO) ගෝලීය ව්යාපාරයක් දියත් කළේය. අවසන් වරට රෝගාතුරයෙකු ගැන වාර්තා වූයේ 1977 දීය. එය ඉතිහාසයේ මාරාන්තික හා වඩාත්ම බියකරු වූ රෝග වලින් එකක අවසානය සනිටුහන් කළේය. වසූරිය එන්නත තවදුරටත් අවශ්ය වන්නේ නැති නමුත් වසූරිය වෛරසය නැවත මතුවුවහොත් ප්‍රයෝජනයට ගනු වස් එක්සත් ජනපදයේ යම්කිසි එන්නත් ප්‍රමාණයක් ගබඩා කර ඇත.
MAYO CLINIC Family Health (2018) ග්‍රන්ථයේ පළවන Vaccinations and Screenings නම් කොටස ඇසුරෙනි