කෘමි සතුන් අප නොසිතූ තරම් විකිරණවලට සංවේදී විය හැකියි

Posted by

කෘමි සතුන් අප නොසිතූ තරම් විකිරණවලට සංවේදී විය හැකියි

චර් නොබිල් ව්‍යසනය සිදු වූ ප්‍රදේශයේ පවතින අගයන්ට සමාන විකිරණ තත්වයකට නිරාවරණය වූ බඹර මැස්සන් යොදාගෙන සිදුකළ පර්යේෂණයකින් විකිරණ හේතුවෙන් කෘමීන්ගේ ප්‍රජනනය අඩාල විය හැකි බව හෙළි වෙනවා.

මීට අවුරුදු කිහිපයකට ඉස්සර, ඇය චර්නොබිල් වෙත චාරිකා කළ මුල්ම වාර අතරින් එකකදී, කැතරින් රෙයින්ස් 1986 න්‍යෂ්ටික අනතුර නිසා දැවී ගිය පයින් වනයක් වන රෙඩ් ෆොරස්ට් වෙත ගියා. ඒ ප්‍රදේශයේ මී මැස්සන් සිටිනවාද කියා දැනන්න ඇය කුතුහලයකින් පසු වුණා. දීර්ඝ කාලයක් තිස්සේ අයනීකාරක විකිරණවලට නිරාවරණය වීම කෘමි සතුන්ට ඇතිකරන බලපෑම් පිළිබඳව කෙරුණු අධ්‍යයනයන් ප්‍රමාණය සීමිතයි. ඒවායේ සොයාගැනීම් අතරින් සමහරක් විවාදාපන්නයි. නමුත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් බොහෝ දෙනෙක් දරන්නේ මී මැසි පවුලේ සාමාජිකයන් සහ සෙසු අපෘෂ්ඨවංශිකයන් සාපේක්ෂ වශයෙන් විකිරණ ආතතියට (radioactive stress) ඔරොත්තු දෙන බවයි.

Chernobyl disaster facts and information
Chernobyl disaster

ස්කොට්ලන්තයේ  ස්ටර්ලින්ග් විශ්ව විද්‍යාලයේ පාරිසරික විකිරණවේදී රෙයින්ස් වැඩි වෙලාවක් වනාන්තරයේ රැඳුණේ නැහැ. එහි එක්තරා ස්ථානයකදී ඇය සතු විකිරණශීලීත්වය මනින මතාමානයෙන් (dosimter) දැක්වුණු අයනීකරන විකිරණ අගය පැයට මයික්‍රො සීවට් 200ක් (microsieverts (µSv)); තව පැය කිහිපයක් ඊට නිරාවරණය වීම ඇයට පිළිකාවක් වැළඳීමේ අවධානම ඉහළ යවන්න පුළුවන්. නමුත් ඇය එහි ගත කල කෙටි කාලය තුළදීත් ඇය මී මැස්සන්ව දැක්කා. උන් එහිම පදිංචි වී සිටිනවාද, නැත්නම් ඇවිත් යන්න ආවාද කියා නම් නිගමනය කිරීම අසීරු බව රේන්ස් කියා සිටිනවා.

Insects Might Be More Sensitive to Radiation than Thought | The Scientist  Magazine®

එක්සත් රාජධානියට නැවත පැමිණි රේන්ස් සහ ඇගේ වෘත්තීය සගයන් විශේෂයෙන් තැනූ පරිසරයක ඒ පරිමාණයේ විකිරණශීලීත්වයක් නිර්මාණය කළා. රැජිනක්, වැඩකාර(සේවක) මැස්සියන් සහ කීටයන් සහිත මී මැසි පෙට්ටි විකිරණ නිකුත් කරන මූලාශ්‍රයක සිට එකිනෙකට වෙනස් පරතරයන් සහිතව, සෑම පෙට්ටියකටම පැයට මයික්‍රො ග්‍රේ (micrograys (µGy)) 20ත් 3000ත් අතර පරාසයක විකිරණ මාත්‍රාවක් අඛණ්ඩව ලැබෙන ලෙස  ස්ථාපනය කළා. (සීවර්ට් සහ ග්‍රේ(sieverts and grays) කියන්නේ විකිරණවලට නිරාවරණය වූ පරිමාණය මැනීම සඳහා යොදාගන්නා ඒකක දෙකක්: සීවර්ට් ඒකකය යොදාගන්නා තැන්වලදී විකිරණ වර්ගය සහ විකිරණවලට නිරාවරණය වූ පටකයේ සංවේදීතිවය සැලකිල්ලට ගැනෙනවා. රෙඩ් ෆොරස්ට් වනාන්තරයේ රේන්ස් ගැවසුණු කොටසේදී බඹරුන් පැයට  200 µGy ක පමණ විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වෙනවා. බඹරුන් සති හතරක් පමණ උන්ගේ කෘත්‍රිම වාසස්ථාන වල රැඳී  සිටීමෙන් පසුව විශ්ව විද්‍යාලයේ එළිමහන් උද්‍යානවලට මාරු කෙරුණා. මාසයක පමණ කාලයක් ඇතුළත බඹර රැජින මිය ගොස් වැඩකාර මැස්සියන් අතළොස්සක් පමණක් ඉතිරි වී බඹර ජනපද සියල්ලම ඉදිරි පැවැත්මක් නැති තැනට පත්වුණා.

මීට පෙර වෙනත් කණ්ඩායම් මේ විෂය සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණාගාරවලට සීමා වුණු අධ්‍යයනවලින් පෙන්නුම් කළේ  පැයට 400µGy ට අඩු විකිරණ පරිමාණයකින් මී මැස්සන්ට සහ වෙනත් කෘමී සතුන්ට හානිකර නොවන බවයි. එම නිසාම ඊට බෙහෙවින්ම අඩු විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වූ රංචු පවා විකිරණවල අහිතකර බලපෑම්, විශේෂයෙන්ම ප්‍රජනනය ආශ්‍රිත ගැටලුවලට මුහුණ පාන බව නිරීක්ෂණය කළ විට තමා කම්පනයට පත් වූ බව රේන්ස් කියා සිටිනවා. පැයට 100 µGy විකිරණවලට නිරාවරණය වුණු බඹර මැසි ජනපදවල රැජිනියන් බිහිවීම හරි අඩකින් අඩු වීමෙන් නව ජනපද සාර්ථකව ඇතිවීමේ ඉඩ ව්‍යසනකාරී අයුරින් අඩාල වීම උදාහරණයක් වශයෙන් දක්වන්න පුළුවන්. මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කරන ආකාරයට මෙහි සමස්ත බලපෑම, ජනප්‍රිය පළිභෝධ නාශකයක් නිසා ඇතිවන ජනපදයක සමස්ත මැසි ගහණය හතරින් එකකින් අඩු වීමටත් වඩා බරපතලයි.

මේ අධ්‍යයනය දීර්ඝ කාලීනව සුළු පරිමාණයෙන් විකිරණවලට නිරාවරණය වීම ආදර්ශ නොවන සත්ව විශේෂයන්ට බලපාන ආකාරය සහ ස්වාභාවික පරිසරයට එහි ඇති අදාලත්වය පිළිබඳව නවමු දැනුමක් ලබාදෙන බව මේ පර්යේෂණයට දායක නොවූ, දකුණු කැරොලිනා විශ්ව විද්‍යාලයේ පාරිසරික ජානවිද්‍යාඥ තිමොති මූසෝ (Timothy Mousseau) කියා සිටිනවා. නමුත් කෘත්‍රිමව නිර්මාණය කළ පරිසරයක් තුළදී පර්යේෂණාත්මක මැදිහත්වීම හරහා ලබාගත් සමහර ප්‍රතිඵල කර්නොබිල්වලදී මෙම පරාගකයන් සැබැවින්ම මුහුණ පා සිටින තත්වයට ගැලැප්පීම අසීරු බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා.

Maps of Chernobyl — Young Pioneer Tours

මූසෝ සහ ඔහුගේ වෘත්තීය සගයෙකු වන (වර්තමානයේදී ප්‍රංශයේ ජාතික විද්‍යා පර්යේෂණායතනයේ සේවය කරන) ඇන්ඩර්ස් පේප් මොලර් (Anders Pape Møller) චර්නොබිල් හුදෙකලා කලාපය (Chernobyl Exclusion Zone) ලෙස හැඳින්වෙන, කර්නොබිල් බලාගාරය වටා වර්ග කිලෝමීටර 2,600ක වපසරිය තුළ වනජීවී ගහණය පිළිබඳව ක්ෂේත්‍ර අධ්‍යයනයන් පවත්වන්නේ 2000 වසරේ සිටයි. ඔවුන්ගේ පර්යේෂණවල ප්‍රතිඵල කලාපය තුළ තැනින් තැනට වෙනස් අගයන් ගන්නා විකිරණ මට්ටම් සහ වනජීවී ගහණයන් අතර  ඍණාත්මක සහසම්බන්දයක් තිබෙන බව පෙන්නුම් කළා. මේ තත්වය කෘමි සතුන්ටත් පොදුයි: වැඩි වශයෙන් විකිරණවලට නිරාවරණය වූ තැන්වල බඹරුන් ගැවසුණේ ඉතාම අඩුවෙන් බව පර්යේෂණ කණ්ඩායම නිරීක්ෂණය කළා. මේ සබඳතාව (මයික්‍රො ග්‍රේ 0.01 සිට 1 දක්වා) ඉතාමත් සුළු විකිරණ මට්ටම්වලටත් අදාලයි.

මෙම පර්යේෂණ, විශේෂයෙන්ම හානිකර විකිරණ මට්ටම් ගැන ඔවුන්ගේ තක්සේරුව, විවේචනවලට ලක්වී තිබෙනවා. මූසෝ සහ මොලර් ඒ විවේචකයන් අතරින් කිහිපදෙනෙකු දායක කරගෙන එවුන්ගේ දත්ත නැවත විශ්ලේෂණය කරමින් විකිරණ හේතුවෙන් වනජීවී ගහණයේ අඩු වීමක් සිදු වන බව නැවත තහවුරු කළා. නමුත් මේ අධ්‍යනයන් පිළිබඳව සැක පලකරන විද්‍යාඥයන් කිහිප දෙනා අතරින් කෙනෙක් වන එක්සත් රාජධානියේ පෝට් මවුත් විශ්වවිද්‍යාලයේ පරිසරවිද්‍යාඥ ජිම් ස්මිත් අප වෙත අදහස් දක්වමින් කියාසිටියේ මේ අධ්‍යයනයේ නිරීක්ෂණ ප්‍රදේශයේ සිදුකෙරුණු සමීක්ෂණවල ප්‍රතිඵල සමග නොපෑහෙන බවයි. උදාහරණයක් ලෙස 1990 සිට වරින් වර චර්නොබිල් වෙත ගියත්, මූසෝගේ හෝ රේන්ස්ගේ අධ්‍යයන සමග සම්බන්ධ නොවූ ස්මිත් 2011 වසරේදී තම වෘත්තීය සගයන් සමග කර්නොබිල් හුදෙකලා කලාපයෙහි පිහිටි ස්වාභාවික විල් අටක් විශ්ලේෂණය කළා.ඒ ප්‍රදේශවලින් පැයට µGy0.1ත් 30ත් අතර විකිරණ මාත්‍රාවන් වාර්තා වුණත්, ඉන් එකකවත් ජලජ කෘමීන්ගේ හෝ සාර්ව අපෘෂ්ඨවාංශිකයන්ගේ ගහණයේ අඩුවක් නම් නිරීක්ෂණය වුණේ නැහැ.

රේන්ස් මෙන්ම එක්සත් රාජධානියේ පරිසර අධිකාරියෙන් අර්ධ වශයෙන් මූල්‍යමය දායකත්වය සැපයෙන අද්‍යයන ව්‍යාපෘතියකට දායකත්වය සපයන, එහි විකිරණගීලී කසල කළමණාකරණ විශය පිළිබඳව ආරක්ෂිතව කසල බැහැරකිරීමේ නිළධාරියා වශයෙන් කටයුතු කරන ස්මිත්, රේන්සගේ අධ්‍යයනය “මීට පෙර අධ්‍යයනයට ලක් නොවූ සහ අප සිතුවාට වඩා විකිරණශීලීත්වයට සංවේදී සත්ව විශේෂ ගැන, කුතුහලය උපදවන, නවතම දත්ත සපයන බව කියා සිටිනවා. නමුත් ස්වාභාවික පරිසරයේදී මේ මට්ටමින් විකිරණවල බලපෑම ඇතිවන්නේ ඉතාමත් කලාතුරකින් නිසා ඒ ගැන වැඩිදුරටත් අධ්‍යයනය කිරීම කොතෙක් දුරට ඵලදායකද යන්න ගැන ඔහු සැක පලකරනවා. චර්නොබිල්හි ඉහළ විකිරණ මට්ටම්වලට හේතු වී ඇත්තේ “ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික අනතුර” බව ඔහු පෙන්වා දෙනවා. චර්නොබිල් හුදෙකලා කලාපය තුළ පවා මෙම අධ්‍යයන වාර්තාවේ දැක්වෙන තරම් ඉහළ විකිරණ අගයන් පෙන්නුම් කරන්නේ සීමිත ස්ථාන කිහිපයක් පමණයි.

පැයකට 50 µGyවලට අඩු විකිරණ මට්ටම්වල නිරාවරණය වූ ජනපදවලින් කිසිදු අහිතකර බලපෑමක් නිරීක්ෂණය කිරීමට තමා අපොහොසත් වුණත්(මේ අගය සාමාන්‍ය විකිරණ මූලාශ්‍රයකින් මිනිසෙකු අත්දකින විකිරණ ප්‍රමාණය මෙන් 200ගුණයකට ආසන්නයි), බඹරුන්ට කිසිදු අහිතකර බලපෑමක් නොවන බවට නිගමනය කරන්න තරම් ප්‍රාමාණවත් බඹර ජනපද ප්‍රමාණයක් තමන් සතුව නොතිබූ බව රේන්ස් කියා සිටිනවා. ඇය සහ ඇගේ කණ්ඩායම අඩු විකිරණ මට්ටම්වල බලපෑම ගැන අධ්‍යයනය කිරීමට හැකි වන ආකාරයෙන් පරීක්ෂණය සැලසුම් නොකළේ  පැයට 400 µGyට අඩු විකිරණ මට්ටම්වලදී කිසිවක් නිරීක්ෂණය නොවනු ඇත යන උපකල්පනය මත පදනම් වෙමින්. “මට අඩු විකිරණ මාත්‍රාවන් යටතේ වැඩි ජනපද ප්‍රමාණයක් තියන්න තිබුණා,” ඇය කියා සිටියා.  එක්සත් රාජධානිය ආශ්‍රිත ඇතැම් ප්‍රදේශවල රෝහල් වල විකිරණශීලී සායනික අපද්‍රව්‍යවලින් නිකුත් වන පැයට මයික්‍රො ග්‍රේ 5ත් 10ත් අතර අගයක් ගත හැකි විකිරණ වනජීවීන්ට එල්ල කරන බලපෑම කවරාකාරද යන්න අවබෝධ කරගැනීමට තමාට අවශ්‍ය බව රේන්ස් පවසනවා. “ ඉතාම අවම අගයන් වුණත් ස්වාභාවික පර්සරයේ පැවතිය හැකි මට්ටමට වැඩි විකිරණශීලීත්වයකින් ඇති විය හැකි බලපෑම අතිශයින්ම තීරණාත්මකයි.”

Radiation exposure: a quick guide to what each level means | World news |  theguardian.com

The Scientist වෙත අදහස් දැක්වූ  පර්යේෂකයන්,  බඹරුන්ට විකිරණ නිසා සිදුවන අහිතකර බලපෑම ගැන නිසි නිගමනයකට එළඹීමට නම් අධ්‍යයනය ඉදිරියට ගෙනයාම අවශ්‍ය බවට පිළිගන්නවා. “ විකිරණ වන ජීවීන් කෙරෙහි ඇති කරන බලපෑම් ගැන විශ්වාසනීය තොරතුරු හිඟයි එම නිසාම මේ විශය ක්ෂේත්‍රය පිළබඳව අපගේ දැනුවත්භාවය වැඩදියුණු කරගැනීමට නම් මෙ වැනි පරීක්ෂණ පැවැත්විය යුතුමයි.” මේ  පර්යේෂණයට දායක නොවූ, ප්‍රංශයේ විකිරණ ආරක්ෂාව සහ න්‍යෂ්ටික සුරක්ෂිතතාව පිළිබඳ ආයතනයේ (Institute for Radiological Protection and Nuclear Safety) පාරිසරික ජෛව විෂවේදී (ecotoxicologist) බියට්‍රිස් ගැඤ්ඤෙයර් The Scientist  වෙත විද්‍යුත් ලිපියක් යොමු කරමින් කියා සිටියා. “මගේ මතය අනුව මෙවැනි පර්යේෂණ නැවත වරක් ඒ ආකාරයෙන්ම සිදුකිරීමෙන් අනතුරුව, ක්ෂේත්‍රයේ විශේෂඥයන්ට දත්තවල නිරවද්‍යාතාවය ගැන එකඟතාවයකට පැමිණිය හැකි නම්, ඒ විෂයට අදාලව මෙතෙක් කල් පවත්වාගෙන ආ නිර්ණායක ඒ අනුව සංශෝදනය කළ යතුයි.” උදාහරණයක් දක්වනවා නම් විකිරණ ආරක්ෂාව පිළිබඳව ලොවටම බලපාන නිර්ණායකයන් නිර්මාණය කරන උපදේශක කාරක සභාවක් වන විකිරණ ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර කොමිසම වැනි ආයතනවලට ඒ සම්බන්ධයෙන් මැදිහත් විය හැකියි.

මේ වන විට රේන්ස් පර්යේෂණයේ ඉදිරි කටයුතු සඳහා දත්ත රැස් කරමින් සිටිනවා.  පර්යේෂණයේ මීළඟ අධියරේදී ඇය ආයු කාලය  අඩු කිරීමට හේතුවන තනි ධාරකයෙකු මත වසන පළිබෝධකයන් සංඛ්‍යාව සහ විකිරණවල බලපෑම නිසා සාමූහිකව ඇතිවන බලපෑම, පර්යේෂණාගාරය ආශ්‍රිතව ඇති දැඩි කරන මී මැස්සන් සහ ඇය කර්නොබිල් ආශ්‍රිත පාලු වූ වගාබිමකින් අල්ලාගත් මී මැස්සන් යන දෙවර්ගයම යොදාගෙන අධ්‍යයනය කිරීමට අපේක්ෂා කරනවා. පර්යේෂණාගාර ආශ්‍රිත දත්ත සහ ක්ෂේත්‍රයෙන් ලබාගත් දත්ත සංසන්ධනය කිරීම උචිත වනු ඇති බව ඇය පවසනවා.

පරිවර්තනය කොට සකස්කළේ: අරුන්දි ජයසේකර

The Scientist(February 2021) හී පළවන Insects Might Be More Sensitive to Radiation than Thought යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.